×

F1 තරඟාවලිය සවුදියේ: “සමරිසි විරෝධී රටක තරඟ කරන්නේ සතුටින් නෙමෙයි” ධාවන ශූරී ලුවිස් හැමිල්ටන් ගෙන් කනේ පහරක්!

ෆෝර්මියුලා වන් (F1) මෝටර් රථ ධාවන තරඟාවලිය පළමු වරට සවුදි අරාබියේ පැවැත්වේ. කෙසේවෙතත්, මේ පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ වන විටත් දැඩි විරෝධයක් එල්ල කිරීම ආරම්භ වී තිබේ.


ඊට හේතුව නම් සවුදි අරාබියේ පවතින කාන්තාවන් හා විවිධ හේතු මත ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් ආශ්‍රිත සිදුවීම් ය.

මේ අතර, බ්‍රිතාන්‍ය ජාතික ෆෝර්මියුලා වන් මෝටර් රථ ධාවන ශූරී ලුවිස් හැමිල්ටන් එල්ජීබීටී+ අනන්‍යතා දරන ප්‍රජාවන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන රටක තරඟ කිරීම තමාට සතුටුදායක කරුණක් නොවන බව පවසා තිබේ.

ලුවිස් සවුදි අරාබියේ F1 තරඟාවලිය පැවැත්වීමට ප්‍රථමව කටාර් රාජ්‍යයේ පැවති තරඟාවලියේදී දේදුනු ධජය රැගත් හෙල්මටයක් පැළඳ තරඟාවලියට සහභාගී වී තිබිණ. ඒ එල්ජීබීටී+ ප්‍රජාවට තමා දක්වන සහාය ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීම සඳහා ය.

ඔහු සවුදි අරාබිය තුළ දී ද මෙම සහාය ප්‍රදර්ශනය කිරීමට සූදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන් ට එරෙහිව සවුදි අරාබිය තුළ ක්‍රියාත්මක වන නීති බියගන්වන සුළු බව ලුවිස් මාධ්‍ය වෙත පවසා ඇත.

කටාර් හිදී දේදුනු ධජය රැගත් හෙල්මටයකින් එල්ජීබීටී+ ප්‍රජාවන්ට සහාය පෙන්වන ලුවිස් – GETTY IMAGES

ෆෝර්මියුලා වන් යනු ලොව නන්දෙස මිලියන සංඛ්‍යාත රසිකයින් පිරිසකගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ මෝටර් රථ තරඟාවලියකි. මෙහි ජනප්‍රියත්වය කොපමණ ද කිවතොතත් එම නමින් නෙට්ෆ්ලික්ස් නාලිකාවේ ටෙලිනාට්‍ය මාලාවක් ද තිරගත වෙයි.

කටාර් රාජ්‍යය හා සවුදි අරාබිය තුළ මෙම තරඟාවලිය පැවැත්වීම පිළිබඳව වාර්තා පළවූ මුල්ම අවස්ථාවේදී පටන්ම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් ඇතුළු බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යාපාර මීට දැඩි විරෝධය පෑම ආරම්භ වී තිබිණි.

මේ අනුව, මානව හිමිකම් උල්ලංඝනය කරන රාජ්‍යයන් තුළ තරඟ පැවැත්වීම හරහා තම ආයතනයේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට ෆෝර්මියුලා වන් කටයුතු කරන බවට චෝදනා නඟමින් එකී සංවිධාන ෆෝර්මියුලා වන් වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකොට තිබේ.

මේ අතර ෆෝර්මියුලා වන් තරඟාවලියේ තරඟ කරන ක්‍රීඩකයින් ගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා සිටින්නේ එල්ජීබීටී+ ප්‍රජාවන් ඇතුළු ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් මෙම රටවල මුහුණ පාන කටුක අත්දැකීම් වෙනුවෙන් හඬනඟන ලෙසයි.

මෙවන් වාතාවරණයක් තුළයි මෝටර් රථ ධාවන ශූරී ලුවිස් ඉහත කරුණු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

තම රාජ්‍යය වෙත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි ආකර්ෂණය කරවා ගැනීමට විශාල ධනස්කන්ධයක් වැය කරන සවුදි අරාබිය හා කටාර් රාජ්‍යය වෙත සෘජුව එල්ල කළ කනේ පහරක් ලෙස ලුවිස් ගේ ප්‍රකාශය හැඳින්විය හැකිය.

සවුදි අරාබිය තුළ එල්ජීබීටී+ අනන්‍යතා දැරීම නීතිවිරෝධී වන අතර, එය සිරගත කිරීමක් හෝ කසපහර ලැබීම වැනි දඬුවමකට යටත් විය හැකි වරදකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි