×

කොරෝනාවෛරසය ‘මිනිසා නිෂ්පාදනය කළ‘ එකක්දැයි නැවත දැඩි සැකයක්. බයිඩන් නව වාර්තාවක් ඉල්ලද්දී ෆේස්බුක් තහනමත් ඉවතට

කොරෝනා වෛරසය මිනිසා විසින් නිර්මාණය හෝ නිෂ්පාදනය කළ එනම් ‘මෑන් මේඩ්‘ විෂබීජයක් ය යන මතය පළ වූ හැම අවස්ථාවකදීම මෙතෙක් ෆේස්බුක් වෙබ් අඩවිය එවැනි පෝස්ටු ගළවා ඉවත් කළේ සාවද්‍ය ප්‍රකාශ හෙවත් "false claims" යටතේ ය.


නමුත් “man-made or manufactured‘‘ යන වචන ඇති හෝ එම අදහස ඇති පෝස්ටු ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය ෆේස්බුක් විසින් වහාම වෙනස් කර තිබේ.

ඒ, ඇමරිකාවේ මේ සම්බන්ධයෙන් ඇති වූ නවතම වර්ධනයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ප්‍රධාන පෙළේ සෞඛ්‍ය ආයතන සමග කළ සාකච්ඡාවලින් පසුව ය.

ඇත්තටම කොරෝනා වෛරසය හැදුවේ චීන ජාතිකයන්ද?

මෙම වෛරසය චීනයේ වුහාන් පලාතේ විද්‍යාගාරයක නිපදවූ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර නිතර පැවසුවත්, එයට කිසිදු සාක්ෂියක් ඔහු ඉදිරිපත් කළේ නැත. පෙනෙන්නට තිබුණේ ඔහු තමන්ගේ හිතට එන තවත් හිතලුවක් ලෙස මෙසේ පවසන බවයි. නමුත් පසුගිය සතිය තුළ තත්වය වෙනස් වී තිබේ.

විද්‍යාගාරයක නිෂ්පාදනය කළ කතාව කෙසේ වුවත්, වෝල් ස්ට්‍රීට් ජර්නලය මේ සතියේ පළ කළ වාර්තාවක දැක්වෙන්නේ චීනයේ වෛරස් විද්‍යාව පිළිබඳ වුහාන් විද්‍යාගාරයේ (Wuhan Institute of Virology) සේවය කළ පර්යේෂකයන් 2019 නොවැම්බර් මාසයේදී අනපේක්ෂිත රෝගයක් හේතුවෙන් රෝහල්ගත කළ බව ය. ABC News පුවත් සේවය මගින් ද මේ බව පළ කර තිබිණි.

මේ සමග ජනපති ජෝ බයිඩන් පසුගිය සතියේ බදාදා දිනයේ ඇමරිකානු බුද්ධි අංශවලට දැනුම් දුන්නේ ‘චීනය පිළිබඳ සුවිශේෂී ප්‍රශ්න‘වලට පිළිතුරු ඇතුළත්ව තමන්ට දින 90 ක් ඇතුළත අලුත් වාර්තාවක් අවශ්‍ය බව ය. ඒ, වෛරසයේ සම්භවය පිළිබඳව ය. තවද මෙම වාර්තාව සැකසීමේදී වෛරසයේ සම්භවය සොයාගැනීමට මෙතෙක් දැරූ උත්සාහයන් දෙගුණ කරන ලෙස ද ඔහු දැනුම් දී තිබේ. ඇමරිකානුවන් ලක්ෂ 6 කට ආසන්න සංඛ්‍යාවක් සහ ලෝක ජනගහනයෙන් මිලියන 3.5 ක් මරා දැමූ මෙම වෛරසය මුලින්ම බිහිවූ ආකාරය සොයාගැනීම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් ලෙසට ඔහු සලකයි.

මේ අතර පසුගිය මාර්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් නිකුත් කරමින්, මෙම වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වූ බවක් පෙනෙන්නට ඇති නමුත් විද්‍යාගාරයක නිෂ්පාදනය කළ එකක් යැයි අනුමාන කිරීමට නොහැකි බව පවසා තිබේ. නමුත් ‘මෑන් මේඩ්‘ යනු විද්‍යාගාරයක නිපදවූ යන අදහසම නොවිය හැකි බව ඇමරිකාවේ මතයයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්හනම් ගේබ්‍රියේසිස් පවසන්නේ වෛරසයේ සම්භවය සොයාගැනීමට තවත් දත්ත සහ තොරතුරු තමන්ට අවශ්‍ය බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැවැත්වූ විමර්ශනයට චීනය ප්‍රමාණවත් දත්ත මෙතෙක් ලබාදී නැති බවට ද අන්තර්ජාතික වශයෙන් විවේචනයක් තිබේ.

චීනය දිගින් දිගටම මෙය “conspiracy theory” හෙවත් ‘කුමන්ත්‍රණ සිද්ධාන්තයක්‘ බවත් චීන විරෝධී මතයක් ගෝලීයව ඇති කිරීමේ කුමන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසා ඇතත්, සියලු ජාත්‍යන්තර පීඩනයන් තව තවත් දැඩි වන බවයි, පෙනෙන්නට තිබෙන්නේ.

මේ සියලු තත්වයන් තුළ ෆේස්බුක් වෙබ් අඩවිය, සිය පරිශීලකයන් විසින් කෝවිඩ්-19 පිළිබඳ පළ කරන පෝස්ටුවලින් මෙය ‘මෑන්මේඩ්‘ වසංගතයක් හෝ වෛරසයක් බවට පළ වන මතයන් ඉවත් නොකිරීමට අවසානයේ තීරණය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි