×

ඇමරිකාවේ 2020 මැතිවරණයට සමගාමීව ව්‍යාජ වීඩියෝ පට ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමෙන් පියවර!

හාස්‍යය හා විනෝදය සඳහා නිර්මාණය වන පැරඩි වීඩියෝ වලට මෙම තීරණය අදාල නොවන බවද ෆේස්බුක් සමාගම අවධාරණය කරයි.


ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඇමරිකාවේ එළඹෙන 2020 මැතිවරණයට සමගාමීව පළවන අතිශය ව්‍යාජ (deepfakes) තොරතුරු ඇතුලත් විඩියෝ පට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ, සංස්කරණය කරන ලද තොරතුරු ඇතුලත් වීඩියෝ පට ඉදිරි කාලය තුළදී ඉවත් කර දමනු ඇත.

කෘතිම බුද්ධියේ පැටළුම් මත සත්‍ය මෙන් පළ වන ව්‍යාජ තොරතුරු ඉවත් කිරීමටද මෙහිදී අපේක්ෂා කරන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කොට තිබේ.

(https://about.fb.com/news/2020/01/enforcing-against-manipulated-media dated Jan.6.)

හාස්‍යය හා විනෝදය සඳහා නිර්මාණය වන පැරඩි වීඩියෝ වලට මෙම තීරණය අදාල නොවන බවද ෆේස්බුක් සමාගම අවධාරණය කරයි.

අමුතු සැලකිල්ලක්?

කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගමේ මේ විනයානුකූල හැසිරීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එයට හේතුව වන්නේ පසුගිය වසරේ කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය ඇතුලත් අතිශයින් සංස්කරණය කොට විකෘති කරමින් පළ කර තිබූ වීඩියෝ පටයක් ඉවත් කිරීමට එම සමාගම කටයුතු කර නොතිබීමයි.

එම වීඩියෝ පටයේ පෙලෝසි මහත්මිය ගොතගසමින් කතා කරන අයුරක් උළුප්පා පෙන්වීමට කටයුතු කර තිබිණි.

ඒ පිළිබඳ බොහෝ පැමිණිලි ඉදිරිපත් කළද ෆේස්බුක් සමාගම එම වීඩියෝව ඉවත් කිරීමට පියවර ගත්තේ නැත.

පැරඩි වීඩියෝවක් සත්‍යය විකෘති කළ වීඩියෝවකින් වෙන්කොට හඳුනා ගන්නේ කෙසේද යන්න ඇතැමුන් ප්‍රශ්න කර තිබිණි.

මන්ද සංස්කරණය කළ වීඩියෝවක මෙන්ම පැරඩි වීඩියෝ වලට දේශපාලන චරිත සත්‍ය නොවන ප්‍රකාශ සිදු කරති.

වීඩියෝ පට නිශ්පාදකයින්ගේ නිර්මාණශීලීත්වය මත පැරඩි වීඩියෝවක් සංස්කරණය කළ වීඩියෝවකින් වෙන් කර හඳුනා ගත නොහැකි තරමට එක සමාන විය හැක.

එබැවින් ඒවා වෙන්කර හඳුනා ගන්නේ කෙසේද යන්න විමසීම අතිශයින් සාධාරණය.

එහෙත් එයට ෆේස්බුක් සමාගම සෘජු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

දෙපාර්ශවයෙන්ම චෝදනා

ෆේස්බුක් සමාගම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ ය යන චෝදනාව මීට ඉහත අවස්ථා ගණනාවකදී ම එල්ල වී තිබිණි.

මෙම චෝදනාව එල්ල කීරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසිනි.

රිපබ්ලික් පාර්ශවය චෝදනා කරන්නේ තම මතය යටපත් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරන බවයි.

ඒ අනුව බලන කළ දෙපාර්ශවයෙන්ම විවිධ චෝදනා එල්ල වන බවක් පෙනෙන්නට තිබේ.

දේශපාලන උවමනා මත පළවන ඇතැම් වෙළඳ දැන්වීම් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමට අනුබද්ධ ෆැක්ට් චෙකර් සංවිධාන කටයුතු නොකරන්නේ ය යන චෝදනාව එල්ල වී තිබිණි.

වත්මන් ජනපති ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අඩාල වීම වළක්වා ගැනීමට මෙම වසරේ එම සමාගම සුවිශේෂීතාවයක් දක්වන බව ඇතැමුන්ගේ අදහසයි.

ඇමරිකාවේ මීළඟ මැතිවරණය එළඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාලට ව්‍යාජ තොරතුරු අඩංගු අන්තර්ගතයන් ඉවත් කිරීමට විවිධ පාර්ශව දිගින් දිගටම බල කර සිටින බව වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි