×

ලෝකයේ ප්‍රීතිමත්ම රට පින්ලන්තයේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ සහ ‘හොඳටම කරන හැටි‘ මෙන්න!

‘‘පින්ලන්තය හැමදාම ලෝකයේ ප්‍රීතිමත්ම රට ලෙස තබාගැනීමට මට අවශ්‍යයි‘‘ එසේ පවසන්නේ පින්ලන්තයේ අගමැතිනී සානා මරීන් ය.


සමානාත්මතාවය, මනා ලෙස අරමුදල් වෙන් කර ඇති අධ්‍යාපන ක්‍රමය සහ ශක්තිමත් සුබසාධන තත්වයන් ලෝකයේ ප්‍රීතිමත්ම රටේ ‘රහස් නොවන රහස්‘ ය.

පින්ලන්ත අගමැතිනී සානා මරීන්, මාධ්‍ය සන්දර්ශනවලට කැමති අයෙකු නොවේ. විශේෂයෙන්ම ඇය විදෙස් මාධ්‍යවලට සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නේ ඉඳහිට ය. මෙයට දින කිහිපයකට පෙර ඇය එසේ සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ, රටට සැබවින්ම ආදරය කරන නායකයන්/නායිකාවන් කෙබඳු අය විය යුතුදැයි අප කොයි කාටත් පාඩමක් කියා දෙමිනි.

2019 වසරේදී සානා මරීන් ෆින්ලන්තයේ අගමැතිනිය බවට පත්වන්නේ වයස අවුරුදු 34 නි. ඒ අනුව ඇය නෝර්ඩික් කලාපයේ රටක එදා මෙදාතුර පත් වූ ළාබාලතම ජන නායිකාව බවට පත් වූවාය. නෝර්ඩික් කලාපය යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු දිග යුරෝපය සහ උතුරු අත්ලන්තික් කලාපයයි. ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ස්වීඩනය, ග්‍රීන්ලන්තය වැනි ලෝකයේ වැඩිපුරම සතුටින් සහ සුවපහසුවෙන් ජීවත් වන ජනතාව වෙසෙන්නේ එම කලාපයේ ය. එම පින්කාර කලාපයේ ද පින්වන්තම රට බවට පත්ව තිබෙන්නේ පින්ලන්තයයි.

සුබසාධන රාජ්‍යයන්ට හොඳම උදාහරණයක්

සමාජ සුබසාධනය ගැන ලංකාව වැනි බොහෝ රටවල්වල පවතින්නේ අඳුරු සිතුවමකි. දුප්පත් කමේ ආගාධයේ ජීවත් වන ජනතාවට පවා රාජ්‍යය විසින් සුබසාධනයට වෙන් කරන මුදල් බහිරව පාදයට හසු වේ. නමුත් ලෝකයේ ධනවත්ම රටක් වී තිබියදීත් ෆින්ලන්තයේ කතාව වෙනස් ය.

පින්ලන්තයේ සෞභාග්‍යයේ දැක්ම

ඔවුන් තමන් ‘සුබසාධන රාජ්‍යයක්‘ ය යන තත්වය පවත්වාගෙන යන්නේ ‘පාරිසරික වශයෙන් තිරසාර ක්‍රමයක්‘ (“environmentally sustainable way”) අනුගමනය කරමිනි. ඒ අනුව එහි අනාගත සෞභාග්‍යය හරිත තාක්ෂණය කේන්ද්‍ර කරගෙන සැලසුම් කරයි. එහිදී හරිත තාක්ෂණය අපනයනය වෙත ඔවුන්ගේ වැඩි අවධානය යොමුව තිබේ. එමගින් සුබසාධන කටයුතු රාජ්‍යයේ වැය බරට සැබවින්ම බරක් වන්නේ නැත.

සමානාත්මතාවය ඉහළින්ම

සමානාත්මතාවය (equality) සම්බන්ධයෙන් ‘හොඳටම කරන්නේ‘ ද ෆින්ලන්තයයි. මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු සියලු කාරණා සම්බන්ධයෙන් අදාළ ය.

උදාහරණයක් වශයෙන් කෝවිඩ් වසංගත සමය යනු, ලෝකයේ ප්‍රකට නායකයන් බුරුතු පිටින් කුප්‍රකට වූ කාලයකි. වසංගත අර්බුදය කළමනාකරණයේදී බොහෝ දෙනාගේ නිරුවත හෙළි විය. නමුත් ෆින්ලන්තයේදී සිදුවූයේ එහි අනෙක් පැත්ත ය. ඇගේ කළමනාකරණ දක්ෂතාවය නිසා ඇගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි විය. රටේ ලක්ෂ 55 ක් ජනතාව අතරින් මරණ 1300 ක් වාර්තා විය. එය දැනෙන තත්වයක් විය. එවිට ඇය කළේ කුමක්ද? සානා මරීන්ගේ පාලක පක්ෂය ද සන්ධානයකි. පක්ෂ 5 ක එකතුවකි. ඒ පක්ෂ පහේම නායකත්වය උසුළන්නේ ගැහැණුන් ය. ඔවුහු එකමුතු වී ඒ සඳහා මනා සැලසුමක් සකස් කළහ. වසංගතය ජය ගත්හ.

‘‘ගෑණුන්ට වළ කපන්නෙ ගෑනුන්මයි‘‘ හෝ ‘‘ගෑණු එකතු වෙච්ච තැනක් වෙතොත් එතන කරච්චලේ මිස වැඩක් කෙරෙන්නෙ නෑ..‘‘ යැයි කියන අගතිගාමී මිසොජෙනික් ගැහැණු පිරිමි ද ෆින්ලන්තයේ විරල ය. ලංකාව වගෙ නොවේ. පොළේ බඩු ලාබදැයි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියන්ගෙන් අසන තිස්සකුට්ටිලා පින්ලන්තයේ පාර්ලිමේන්තුවේ නොව පොළේවත් නැත.

මම සමාන අවස්ථා ලද සාමාන්‍ය ගැහැණියක් – සානා මරීන්

”ෆින්ලන්තයේ සුබසාධන සමාජයක් ගොඩ නගා තිබුණා නම් මං වගේ බොහොම සාමාන්‍ය අයට ඉගෙන ගන්න, විශ්ව විද්‍යාලයට යන්න, තමන්ගේ අනාගතය තමන් විසින්ම ගොඩ නගා ගන්න හොඳ අවස්ථාවන් ලැබෙනවා..” යැයි සුබ සාධන තත්වය ඉහළ නැංවීමේ වැදගත්කම පැහැදිලි කරමින් ඇය කියන්නීය.

‘අප කරන සැබෑ වැඩවල තේරුම විය යුත්තේ සමාන අවස්ථා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි..”

මේ අතර සානා මරීන්ගේ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය ෆින්ලන්තයේ ජනප්‍රියම පක්ෂය ද නොවේ. ජනප්‍රියත්වයෙන් එයට හිමි වන්නේ 3 වැනි තැන ය. ලිබරල් කොන්සවේටිව් පක්ෂය හෙවත් ෆින්ලන්ත විපක්ෂය පසුගිය සතියේ පැවති ජන මත විමසුමකට අනුව ජනප්‍රියත්වයෙන් අංක 1 ලබා ඇත. එසේ වූවා කියා කිසිවෙකුට සානා මරීන් ව එළවා දමන්නට තරම් බල කාමයක් නැත. විපක්ෂයට පවා නැත.

ෆින්ලන්ත කොන්සවේටිව් මත දරන විපක්ෂය නායකත්වයේ තීරණ සියල්ල හිස් මුදුනින් පිළිගන්නා බවක් මෙයින් ඇඟවෙන්නේ නැත. ඔවුහු අවශ්‍ය වූ විට නිර්දය ලෙස රටේ නායකත්වය ප්‍රශ්න කරති. පසුගිය සතියේ ද එවැනි තත්වයක් ඇති විය. විපක්ෂයට උවමනා වූයේ සැතපුම් 800 ක් දිග බෝඩරය, ෆින්ලන්තයේ දේශපාලන රැකවරණය පතමින් එන අයට එන්නට නොදී වසා දමන්නට ය. ඒ වන විටත් බෙලරුස් රාජ්‍යය ඉතාම අමානුෂික ලෙස සරණාගතයන් සහ රැකවරණය පතන්නන් අසල්වැසි පෝලන්තය, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවලට යවා තිබිණි. නමුත් විපක්ෂයෙන් එල්ල වූ අභියෝගයට සානා මරීන් සාර්ථක ලෙස මුහුණ දුන්නා පමණක් නොව, මෙසේ ද කීවාය. ‘‘ෆින්ලන්ත දේශසීමාවෙ එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක වහන්න අවශ්‍ය නෑ..‘‘

‘‘අපි බෙලරුස් රාජ්‍යයේ ක්‍රියාව හෙළා දකිනවා. නමුත් ඒ අතරෙම අපි මේ තත්වයට මැදි වෙලා ඉන්න ඒ මිනිස්සුන්ගෙ මානව හිමිකම්වලට ගරු කරන්න ඕනෙ.‘‘

මානව හිමිකම්වලට හද පත්ලෙන් ගරු කරන රාජ්‍ය නායකයන් සහ නායිකාවන් ලෝක‌යේ ඉතා දුර්ලභ ය. ඇතැම් රාජ්‍ය නායකයන් මානව හිමිකම්වලට ගරු කරන බව පෙන්වන්නේ ජාත්‍යන්තර සහන ලබාගැනීම වැනි පටු අරමුණු සිතේ තබාගෙන ය.

නීතිය මගින් නියම කර ඇති ව්‍යූහයන් සහ සීමාවන් පවතින්නේ සැබවින්ම මිනිසුන්ගේ නිදහස සීමා කිරීම සඳහා ඇති බාධක ලෙස නොවන බව ඇය තරයේ විශ්වාස කරන්නීය.

“We have to make sure that structures don’t act as barriers to people. So there are many things to do.”

”මිනිස්සුන්ට බාධක ලෙස ව්‍යූහයන් ක්‍රියාත්මක නොවන බවට වග බලාගන්නට අපට අවශ්‍යයි. ඒනිසා අප කළ යුතු බොහෝ දෑ තිබෙනවා..”

ලෝකයේ ප්‍රීතිමත්ම රටේ නායිකාව කල්පනා කරන්නේ ඒ ජනතාව තවත් ප්‍රීතියෙන් තබනා හැටි ගැන ය!

වයස 18 දක්වා අධ්‍යාපනය අනිවාර්යයි!

වයස අවුරුදු 18 දක්වා අධ්‍යාපනය අනිවාර්ය කිරීමට ද මේ අතර යෝජනා වී තිබේ. ලබන අගෝස්තු මාසයේ පටන් දෙමාපියන් සඳහා නව නිවාඩු ක්‍රමයක් ද ක්‍රියාත්මක ය. එහිදී පියෙකුට නිවාඩු අවම වශයෙන් 97 ක් දක්වා ලැබෙනු ඇත. එය දැන් පවතින දින 54 නිවාඩුවට සාපේක්ෂව ඉතා සාධනීය ඉදිරි පිම්මකි.

”මව්වරුන්ට සහ පියවරුන්ට තමන්ගේ කුඩා දරුවන් සමග නිවසේදී ප්‍රමාණවත් කාලයක් ගත කිරීමට ඉඩ ලැබෙන බවට සහතික විය යුතුයි. ඒ වගේම මේ දෙපාර්ශවයටම සිය රැකියාවේදී සමාන අවස්ථා ලැබෙන බවට වග බලා ගැනීම තුළින් gender pay gap හෙවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් විෂමතා අවම කර ගත හැකියි..” යැයි ද ඇය මේ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවාය.

වසර 2027 වන විට නිවාස නැති අය නොමැති රටක්

ෆින්ලන්තය ‘නිවාස පළමුව’ – Housing First සංකල්පය මගින් දැන් වසර 2 ක් මුළුල්ලේ එරට සිටින සියලුම නිවාස අහිමි ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ වීදියේ සිටින යාචකයන් ව පවා පදිංචි කරවා තිබේ. එහිදී ඔවුන්ව යම් නොදන්නා තැනක ආගන්තුක නේවාසිකයන් බවට පත් කරනු වෙනුවට සියලු සැප පහසුකම් සහිත සහ සුබසාධන පහසුකම් සහිත, අසල්වැසි සහයෝගය සහිත මහල් නිවාස ඔවුන් වෙනුවෙන් සකස් කරනු ලැබිණි. දැන් ෆින්ලන්තයේ අරමුණ වන්නේ වසර 2027 වන විට වීදියේ සිටින නිවාස අහිමි ජනතාව ශුන්‍යයක් බවට පත් කිරීමයි.

යුරෝපා සංගම් ඉලක්කයටත් වසර 15 කට පෙර කාබන් රහිත රටක් බවට

යුරෝපා සංගමය, කාබන් ශුන්‍ය රටවල් බවට සිය සාමාජික රටවල් පත්කිරීමේ ඉලක්කගත වර්ෂය බවට පත් කරගෙන සිටින්නේ වසර 2050 ය. නමුත් ෆින්ලන්තය වසර 2035 දී, එනම් වසර 15 කට පෙර එම ඉලක්කය කරා යාමට පිඹුරු පත් සකසයි. රට මුහුණ පාන විශාලතම ප්‍රශ්නය දේශගුණික විපර්යාස බව සානා මරීන් අවධාරණයෙන් කියයි. ඒ අනුව එයට විසඳුම් සැපයීම, ෆින්ලන්ත සමාගම්වලට ලැබෙන හොඳ අවස්ථාවක් ද වනු ඇත. නමුත් එය සමාගම් මානසිකත්වයෙන් ගනු ලබන පියවරක් වේවිද? කිසිසේත්ම නැත.

”අපට අවශ්‍ය වන්නේ මේ පරිණාමනයේ ප්‍රතිලාභ පොදු ජනතාවට ලබාදීමයි. එහෙම නැතිනම් මේ කරන කිසි දෙයකින් වැඩක් නැහැ..”

මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙසට ෆින්ලන්තය නැවත වතාවක් පසුගිය අප්‍රේල් මාසයේදී ජගත් සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් ලෝකයේ ප්‍රීතිමත්ම රට වශයෙන් තෝරාගැනීම අරුමයක් නොවේ. ඔවුන්ට ඒ ගෞරවය සහ ප්‍රීතිය අත් වී තිබෙන්නේ පිට පිට 4 වැනි වර්ෂයට ය.

ෆින්ලන්තයේ මේ කතාව කියවා අප අපගෙන් අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

ඒ ප්‍රශ්න නොඅසා, ”අපේ කරුමේ අපට වන්නේ” යැයි අප හිත හදාගත යුතුද..?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි