×

අද අපට 05ක්!

සීමා මායිම් අපව වෙන් කළද, බලාපොරොත්තු අපව එක් කරනු ඇත.


මීට පස්වසරකට පෙර අද වැනිම දිනයක අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිය තම සයිබර් සම්ප්‍රාප්තිය සනිටුහන් කරන්නේ, සීමාවෙන් එහා ලෝකය දැකීමට ප්‍රේක්ෂකයන් දහස් ගණනකගේ දෑස් විවර කරන සොඳුරු මෙහෙයුමේ යාත්‍රාව සාගරයට මුදාහරිමිනි.

2017 දෙසැම්බර් 25 වන දින නත්තල් සිසිලස මැද ඒ සොඳුරු මෙහෙයුමේ යාත්‍රාව දියත් කළ අවුට්බවුන්ඩ් ටුඩේ අප අද දින අපගේ පස්වන වර්ෂ පූර්ණයට එළඹෙන්නේ, එම ගමන අතරතුර අප හා හමුවූ ඔබ වෙත අපගේ නිහතමානී කෘතඥපූර්වකත්වය ද එක්කරමිනි.

අවුට්බවුන්ඩ් ටුඩේ සොඳුරු මෙහෙයුම ආරම්භ කිරීමට පූර්වාදර්ශය අපට සපයන්නේ, මීට සය වසරකට පෙර, නැතහොත් අපගේ වෙබ් අඩවිය ආරම්භ කිරීමට හරියටම වසරකට පෙර, 2016 දෙසැම්බර් 25 වන දින අප අතරින් සමුගත් ජෝර්ජ් මයිකල් නම් ඒ අග්‍රඝන්‍ය සංගීතඥයායි. ජෝර්ජ් මයිකල් නාමය නූතන පරපුරුවලට තරමක් නුහුරුවූව ද, ඔහු ගැයූ ‘ලාස්ට් ක්‍රිස්මස්’ නම් ගීතය කාලයේ කොරිඩෝව මත ලතැවෙමින් එදා මෙදා තුර බාල මහළු සෑම දෙනෙකුගේම හදවත් තුළ අදටත් නත්තලේ සිසිලස ජනිත කිරීමට සමත්ව ඇත.

ජෝර්ජ් මයිකල් රසිකයන් අතර, ‘කෙයාලස් විස්ෆර්’, ‘ලාස්ට් ක්‍රිස්මස්’, ‘වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ’ වැනි ගීත අතිශයින් ජනප්‍රිය වූව ද, ඔහුගේ අකල් වියෝව සමඟ අවුට්බවුන්ඩ් ටුඩේ අපගේ උපත සිදුවන්නේ, ජෝර්ජ් විසින් ගායනා කළ, ඔහුගේ ප්‍රේක්ෂකයන් විසින් පවා ඉතා අඩුවෙන් අවබෝධ කරගත් ‘ෆාදර් ෆිගර්’ නම් ගීතය පදනම් කර ගනිමිනි.

ජෝර්ජ් මයිකල් ‘ප්‍රේමය’ නිර්වචනය කළ ආකාරය තුළ ඔහු සංගීත ක්ෂේත්‍රයට පමණක් නොව මුළු මහත් මනුෂ්‍ය සංහතියටම ‘පියකුගේ ප්‍රතිරූපයක්’ වූ අතර, කොන්දේසි විරහිත ආදරය පිළිබඳ ඔහු කියාදුන් පාඩම නිසා ඔහුගේ රසිකයන් අතර හුදෙක් මහජනතාව පමණක් නොව රාජ්‍ය නායක නායිකාවෝ පවා සිටිති. පියා යනු පීතෘමූලිකත්වයේ හෙවත් පුරුෂාධිපත්‍යයේ සංකේතය වෙනුවට, සමානාත්මතාවයේ සංකේතයක් බව ලොවට කියා පෑමට ජෝර්ජ් මයිකල් සමත් විය. ඔහුගේ ‘ෆාදර් ෆිගර්’ නම් ගීතය රසවිඳි පිරිස අතර, එම සමාජ පැතිකඩ අවබෝධ කරගත් අය කීදෙනෙකු සිටිනවා ද, හා පොදුවේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ එම සමාජ පැතිකඩ අවබෝධ කරගත් අය කීදෙනෙකු සිටිනවා ද යන්න අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවියේ ප්‍රේක්ෂක පිරිස සාක්ෂි දරන බවට අපගේ විශ්වාසයයි.

ගෝලීය දේශපාලනික සහ ආර්ථික හැල හැප්පිලි, සංස්කෘතික අංග, සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාශ්වාදය, අරුම පුදුම සිදුවීම්, කටකතා, ගමනාන්ත ඇතුළු එකී මෙකී නොකී බොහෝ දෑ ලිබරල් දෘෂ්ඨිකෝණයකින් දැකීමට, මිනිස් අයිතිවාසිකම් පෙරදැරි කරගත් අවුට්බවුන්ඩ් ටුඩේ සොඳුරු මෙහෙයුමේ යාත්‍රාව පස් වසරක් පුරා ප්‍රේක්ෂක ඔබ සමඟ දිගු ගමනක් පැමිණ මොහොතකට නැංගුරම් ලා සිටින මේ මොහොතේ, නව මුහුණුවරක් සහ ව්‍යූහාත්මක වෙනස්කම් කිහිපයක් ද සමඟ එළඹෙන 2023 වර්ෂය වෙත පිය මැනීමට සූදානමින් සිටින බව අපි ඔබට දැනුම් දීමට කැමැත්තෙමු.

සීමා මායිම් නැති අසීමාන්තික ලෝකය දකින්න, විඳින්න කියවන්න, එන්න අප හා අත්වැල් පවුරු බඳින්න
එක රවුමේ වාඩිවෙන්න..

සීමා මායිම් අපව වෙන් කළද, බලාපොරොත්තු අපව එක් කරනු ඇත.

අවුට්බවුන්ඩ් ටුඩේ කතෘ මණ්ඩලය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි