×

ලෝ ප්‍රකට සූපවේදියෙක් කොරෝනාවලින් මිය යයි

ලෝ ප්‍රකට 'Top Chef Masters' තරගාවලියෙන් ජය ලැබූ සුප්‍රසිද්ධ ෆ්ලොයිඩ් කාඩෝස් (Floyd Cardoz) කොරෝනා වෛරස් රෝගය උත්සන්න වීමෙන් මරණයට පත්ව තිබේ.


මාර්තු 18 වැනිදා රෝගය වැළඳී ඇති බවට නිගමනය කෙරුණු ඔහු නිව්ජර්සි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට කාර්ඩෝස්ගේ වයස අවුරුදු 59 කි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ ඉපිද ස්විට්සර්ලන්තයෙන් සූප ශාස්ත්‍රය හදාළ කාර්ඩෝස්, නිව්යෝක් සිටි හි සුප්‍රකට ඉන්දියානු අවන්හලක් වූ Tabla හි විධායක සූපවේදියා ලෙස කටයුතු කරමින් සිටියේය. 1998 වසරේ පටන් මේ දක්වා කාර්ඩෝස් විසින් ලබාගෙන ඇති අන්තර්ජාතික සම්මාන ගණනාවකි. මුම්බායි නගරයේ ද ‘බොම්බේ කැන්ටින්‘, ඕ පෙද්‍රෝ සහ බොම්බේ ස්වීට් ෂොප් දාමයේ හිමිකරු වන්නේ ද ඔහු ය. “One Spice, Two Spice: American Food, Indian Flavors” (2006) සහ”Floyd Cardoz: Flavorwalla: Big Flavor. Bold Spices. A New Way to Cook the Foods You Love” (2016) ඔහු විසින් රචනා කර තිබූ ග්‍රන්ථ ද්විත්වය, ඇමරිකානු සහ ඉන්දියානු සූප ශාස්ත්‍රයන් ඒකාබද්ධ කළ ඓතිහාසික ග්‍රන්ථ සේ සැලකේ.

මාර්තු 17 වැනිදා ඔහු රෝහල්ගත වූයේ අසාමාන්‍ය උණ ගතියක් දැනීම නිසා ය. මෑතකදී ඔහු ඉන්දියාවට ගොස් ඇති අතර, එහිදී “Ugly Delicious” නමැති නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ රූගත කිරීම්වලට ද සහභාගි වී තිබේ.

රෝහල්ගත ව සිටියදී ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් හි සෙල්ෆි ඡායාරූපයක් පළ කළේය. එය ඔහුගේ අවසන් ඡායාරූපය යැයි කිසිවෙකුත් සිතුවේ නැත.

Cover Photo: Variety



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි