×

කැපිටල් හිල් කෝලාහලය: තම බඩියා රැක ගැනීමට පෙන්ස් ඉදිරියට පැමිණෙයි?

තමාට කතා කළහොත් ඉකුත් ජනවාරි 06 වන දින එක්සත් ජනපදයේ කැපිටල් හිල් හි සිදුවූ කෝලාහලය පිළිබඳ සාක්ෂි ලබා දීමට පැමිණීමට තමා කැමැත්තෙන් සිටින බව එරට හිටපු රිපබ්ලිකන් උප ජනපති මයික් පෙන්ස් පවසා තිබේ.


ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ දින (17) නිව් හැම්ෂයර් හි මැන්චෙස්ටර් හි ශාන්ත ඇන්සෙල්ම් විද්‍යාලයේ පැවති පොලිටික්ස් ඇන්ඩ් එග්ස් (Politics & Eggs) නම් උත්සවයේ උදෑසන ආහාරයට සහභාගී වෙමිනි.

උප ජනාධිපතිවරයෙකු කැපිටල් හිල් සිදුවීමට අදාළව සාක්ෂි දීමට කැඳවීම ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් වනු ඇති බව පවසන පෙන්ස් අවධාරණය කරන්නේ, සිය දිවුරුම දිගටම පවත්වා ගෙන යාම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන දිගටම ආරක්ෂා කිරීම තම අභිලාෂය බවයි.

මීට අදාළව සාක්ෂි ලබා දීමට තමාට කැඳවීමක් කළහොත් තමා ඊට පැමිණීමට කැමති බව හෙතෙම ප්‍රකාශ කළේය.

2021 ජනවාරි 6 වන දින සිදු වූ කැපිටල් හිල් කෝලාහලය හෙවත් වියරු වැටුනු ට්‍රම්ප්වාදීන් වොෂිංටනයේ සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදීම හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උසිගැන්වීම මත සිදුවූවක් බවට චෝදනා එල්ල වී තිබේ. මීට අදාළව වසරකට ආසන්න කාලයක් විමර්ශනය සිදුවෙමින් පවතින අතර, ට්‍රම්ප් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ජාතික ආරක්ෂක කාර්ය මණ්ඩලයට එක ඇමතුමක් හෝ ලබා දී තත්ත්වය සමතයකට පත් කිරීමට කටයුතු නොකළ බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාවේ ග්‍රීෂ්ම සෘතුවේ අටවන නඩු විභාගය මඟින් අනාවරණය වී තිබිණි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ජ්‍යෙෂ්ඨතම කාර්ය මණ්ඩලය, සමීපතම උපදේශකයන් සහ පවුලේ සාමාජිකයන් මෙම කෝලාහලය මැඬ පැවැත්වීමට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබූ අතර, එක්සත් ජනපද කොංග්‍රසයේ (සෙනෙට් සභාව + නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) නිල කටයුතුවලට බාධා කිරීම, ඇමරිකානු ජනතාව වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ සාක්ෂිකරුවන්ට හානි කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් ට චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබිය හැකි බව උක්ත තේරීම් කාරක සභාවේ නිගමනය වී තිබේ.

කැපිටල් හිල් කෝලාහලය පිළිබඳ  විමර්ශන වලදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල ට්විටර් ගිණුමේ පළකළ සටහනක් හේතුවෙන් දක්ෂිණාංශික අන්තවාදීන් වොෂින්ටන් වෙත එක්රැස් වූ බව ද අනාවරණය වී තිබිණි. එරට ප්‍රාදේශීය වෙලාව අනුව පාන්දර 1.42ට පමණ ට්‍රම්ප් සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, සංඛ්‍යාත්මක වශයෙන් 2020 මැතිවරණය පරාජයට පත් විය නොහැක. ජනවාරි 6 දින D.C හි විශාල විරෝධතාවයක්. එයට පැමිණ සිටින්න යනුවෙනි. මෙම ට්විටර් පණිවිඩය දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම් වෙත වොෂිංටනයට පැමිණෙන ලෙස නිකුත් කරන ලද සයිරන් ඇමතුම බව වාර්තා වී තිබිණි. උක්ත කමිටුව විසින් අනාවරණය කර ඇත්තේ මෙය ට්‍රම්ප් ගේ 2020 මැතිවරණ පරාජයෙන් පසු බලය රැක ගැනීමට කරන ලද කුමන්ත්‍රණයක් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පස් වසරක කාලයක් පුරා ඉතා මානව විරෝධී, ගතානුගතික, වර්ගවාදී සහ අන්තවාදී අන්දමින් පවත්වා ගත් පරිපාලනයේ උප ජනාධිපති වශයෙන් ඔහුගේ දකුණු අත මෙන් කටයුතු කළ පුද්ගලයා වන්නේ මයික් පෙන්ස් ය. ඔවුන් දෙපළ එක්සත් ජනපදය පාලනය කළ කාලසීමාව තුළ වර්ගවාදී ප්‍රහාර, සමරිසිභීතික ප්‍රහාර, ආගමික අන්තවාදී ප්‍රහාර ඇතුළු විවිධ සිදුවීම් වල පෙර නොවූ විරූ පරිදි ඉහළ යෑමක් සිදුව තිබිණි.

කැපිටල් හිල් කෝලාහලය මත මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 05 කි. පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි