×

කොරෝනා මැද මැක්‍රෝන් ගෙන් ‘සමහර දේශපාලුවන්ට’ කනේ පහරක්!

ප්‍රංශ ජනාධිපතිවරයා ගේ මෙම ක්‍රියාව මහජන සෞඛ්‍යය අභිබවා මැතිවරණ ප්‍රමුඛ කොට ගත් 'සමහර' රටවල 'සමහර' දේශපාලුවන්ට කනේ පහරක් වනු ඇත.


ප්‍රංශයේ සියළු කටයුතු නිශ්ක්‍රිය කොට මුද්‍රා තැබීමට (lockdown) එරට ජනපති එමානුවෙල් මැක්‍රෝන් කටයුතු කර තිබේ.

ඒ වත්මන් කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා යි.

ඊයේ දින (16) සියළු ජනතා ව්‍යාපාර තහනම් කිරීමට පියවර ගත් මැක්‍රෝන් අවධාරණය කර සිටියේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කළ යුතු බවයි.

ඒ අනුව රෝගීන් රෝහල් වෙත රැගෙන යාමේ කටයුතු විධිමත් කිරීමට හමුදාව යෙදීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

ප්‍රංශය මේ වන විටත් එරට සියළු අවන්හල්, පාසල්, ස්කී ක්‍රීඩා පිටි ආදිය වසා දැමීමට කටයුතු කර ඇති මුත් වසංගත තත්වය උග්‍ර අතට හැරෙමින් පවතී.

ඒ අනුව වෛරස සම්ප්‍රේශණය වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මීට වඩා කාර්‍යක්ෂම විය යුතු බවට ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

ඒ අනුව සියළු පුරවැසියන් තම නිවෙස් වල රැඳී සිටිය යුතු අතර, අත්‍යාවශ්‍ය ආහාර, රැකියා හා වෛද්‍ය සේවාවන් සඳහා පමණක් බැහැරව යාමට අවසර ලබා දී තිබේ.

එළඹෙන සති දෙකක පමණ කාලයක් වත් මෙම නියෝග නොතකා කටයුතු කරන ඕනෑම පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක වනු ඇති බවද මැක්‍රෝන් සිහිපත් කළේය.

තමා ඉල්ලා සිටින දැය අසාධාරණ යැයි හැඟීම සාධාරණ බවත්, එහෙත් මේ මොහොතේ නොපෙනෙන සතුරකු පරාජය කිරීම සඳහා යුධමය තත්වයක් හට ගෙන ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

අපි නැඟී සිටින්නේ වෙනත් හමුදාවකට හෝ ජාතියකට එරෙහිව නොවේ. එහෙත් අදෘෂ්‍යමාන සතුරකු හිස ඔසවා තිබේ;එය නොපෙනේ;එහෙත් පහර දීමට පටන් ගෙන තිබේ.

මැක්‍රෝන් ප්‍රකාශ කළේය.

බොහෝ පුද්ගලයින් පෙර දැනුම් දුන් අනතුරු ඇඟවීම් නොසලකා සති අන්ත උද්‍යාන හා වීදි වල සැරිසැරීම නිසා ඉහත තීන්දුව ගැනීමට සිදුවූ බව මැක්‍රෝන් වැඩිදුරටත් අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට යුරෝපය කොවිඩ් 19 කේන්ද්‍රස්ථානය (epicentre) බවට නම්කොට තිබේ.

මේ වන විට ප්‍රංශයේ කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් පුද්ගලයින් 148 ක් මරණයට පත්ව තිබේ. 6000 කට අධික සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.

.

මැතිවරණයත් කල් දමලා!

තවද, ප්‍රංශයේ එළඹෙන ඉරු දින පැවැත්වීමට නියමිත දෙවන පළාත් පාලන මැතිවරණය කල් දමන බවට මැක්‍රෝන් ප්‍රකාශ කළේය.

ඒ වසංගතය එරෙහි ව සටන් කිරීම එරට රජයේ ප්‍රමුඛතම අරමුණ වී ඇති බැවිනි.

විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත සකස් කොට තම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අත්හිටුවන බවද ඔහු පැවසීය.

ඒ අනුව දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම පසෙක ලා මහජන සෞඛ්‍යයට ප්‍රමුඛතාව ලබා දීම වැදගත් බව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරයා ගේ මෙම ක්‍රියාව මහජන සෞඛ්‍යය අභිබවා මැතිවරණ ප්‍රමුඛ කොට ගත් ‘සමහර’ රටවල ‘සමහර’ දේශපාලුවන්ට කනේ පහරක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි