×

අබිරහස් රේඩියෝ සංඥා නොකඩවා පෘථිවිය වෙතට

අතිශයින් ධ්‍රැවීකරණය වී ඇති මෙම තරංග, විශ්ව ශක්තියේ විවිධ වෙනස්කම් සිදුකරන බවට නැගෙන මතය සුළුවෙන් සැලකිය නොහැක.


FRB (Fast radio bursts) ලෙස හඳුන්වන අබිහරස් රේඩියෝ තරංග අජටාකාශය තුළ සක්‍රිය වී ඇති බවත්, එයින් පෘථිවියට බලපෑමක් ඇති විය හැකි බවත් වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙම වේගවත් රේඩියෝ තරංග පිපිරීම් (Fast radio bursts) මිලි තත්පර කිහිපයකට පමණක් සීමා වන අතර, එවැනි තනි රේඩියෝ තරංග පිපුරුම් නැවත නැවතත් හටගන්නා අවස්ථා විරල ය. ඒවා නැවත නැවතත් හටගැනීමේදී (පොකුරු වශයෙන් ද මෙය විය හැකිය) පෘථිවි වායුගෝලයට විවිධ බලපෑම් එයින් ඇතිවිය හැකිය. 2007 වසර තරම් මෑත කාලයකදී මෙම අධිවේගී රේඩියෝ තරංග පිපුරුම් සොයාගනු ලැබුවේ ඩන්කන් ලොරිමර් (Duncan Lorimer) සහ ඔහුගේ ශිෂ්‍ය ඩේවිඩ් නාකෙවික් (David Narkevic) විසිනි.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ 2018 සැප්තැම්බර් 16 වැනිදා පටන් 2019 ඔක්තෝබර් 30 වැනිදා දක්වා මේ අන්දමින් පෘථිවිය නොකඩවාම මෙම සංසිද්ධියට මුහුණ දී ඇති බවයි. කැනේඩියානු විද්‍යාඥයන් විසින් මේවා නිරීක්ෂණය සඳහා වෙනම ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ. ඔවුන් නොබෝදා පෙන්වා දී තිබුණේ සෑම දින 16.35කට වරක්ම මෙම තත්වය ඇති වන බවයි. එහිදී දින හතරක් හෝ ඊට වැඩි කාලයක් මුළුල්ලේ මෙම සංඥාවන් පිපිරුමක් හෝ පිපිරීම් දෙකක් බවට පත් වේ. ඉන්පසු එළඹෙන දින 12 ක් සඳහා සියල්ල නිහඬ වන අතර, අනතුරුව නැවතත් මෙම සංසිද්ධිය හටගනු ඇත.

මෙම සොයාගැනීම් අන්තර්ගත වන්නේ arXiv නමැති මේ වන විට සමාලෝචන මට්ටමේ පවතින පර්යේෂණ පත්‍රිකාවේ ය.

පර්යේෂකයන්ගේ අරමුණ වන්නේ අජටාකාශයේ පවතින, මෙම රේඩියෝ පිපුරුම් ඇති කරන ප්‍රභවය සොයාගැනීමයි.

ආලෝක වර්ෂ මිලියන 500 ක් එපිටින් පිහිටා ඇති සර්පිලාකාර මන්දාකිණියක් මගින් මෙම රේඩියෝ තරංග පිපුරුම් සිදුකරන බව සොයාගෙන ඇති නමුත්, එහි ප්‍රභවය පිළිබඳ දැනට පවතින්නේ අනුමාන කිහිපයක් පමණි. ඒ අතරින්, මෙම රේඩියෝ තරංග පිපුරුම් නියුට්‍රෝන තාරකාවක් විසින් සිදුකරන බවට සැක පළ කෙරේ.

අති ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර මූලික කරගෙන හටගන්නා මෙම තරංග සාමාන්‍ය වහරේදී හඳුන්වන්නේ ‘‘ඇඹරුණු තීර්යක් තරංග‘‘ (“twisting” transverse waves) යනුවෙනි. එයින් අප අයත් මන්දාකිණිය වන ක්ෂීරපථයට සහ ඒ තුළ පිහිටා තිබෙන පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට සිදුවන බලපෑම පවා විද්‍යාඥයන් විසින් තවමත් පූර්ණ වශයෙන් වටහාගෙන නැත.

Cover Photo: Owlcation



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි