×

බැල්ටිමෝරයේ සිංහයා – 11 කොටස

සිය වහල් ස්වාමියාට එරෙහිව නැගී සිටිමින්, අකුරු ඉගෙනීම වහල් ජීවිතයෙන් පළා යා හැකි එකම ක්‍රමය බව වටහාගත් ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, විවේක කාලයන් ගත කරන්නේ සෙසු වහලුන්ගේ දෑස් පෑදීම පිණිස ය. මේ අතර, ඇනා මරේ නමැති කළු ජාතික කාන්තාවක් කෙරෙහි පෙමින් බැඳෙන ඔහු, ඇය සමග නිව්යෝක් නුවරට පළා යයි. අද එතැන් සිට…


ඔහු පැමිණි විගස ඇනා මරේ ද නිව්යෝක් නුවර වෙත එවනු ලැබීය. නිවසකට අවශ්‍ය කරන දේ ද සමග ඇය පැමිණියාය. 1838 සැප්තැම්බර් 15 වැනිදා, නිව්යෝක් නුවර ට පැමිණීමෙන් දින 11 කට පසුව කළු ජාතික ප්‍රෙස්බෙටේරියන් දේවගැතිවරයෙකු ලවා ඔවුහු විවාහ වූහ. මුලින් ඔවුන් සිය පවුලේ නාමය ලෙස යොදාගත්තේ ජොන්සන් යන්නයි.

මෙතැන් පටන් විමසා බැලෙන්නේ බැල්ටිමෝරයේ සිංහයාගේ ජීවිතය හා සබැඳි චරිත ඇසුරෙන්, ඔහුගේ අනාගත ජීවන මග සකස් වූ ආකාරයයි.

බිරිඳ – ඇනා මරේ ඩග්ලස්

Pinterest
ඇනා මරේ ඩග්ලස් – Pinterest

ඇනා මරේ ඩග්ලස් වසර හතළිස් හතරක් පුරා ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ භාර්යාව වූවාය. ඇය ඉපදීමට මාස කිහිපයකට කලින් ඇගේ දෙමව්පියන් වහල්භාවයෙන් නිදහස ලබා තිබුණෙන් ඇය උපතින් ම නිදහස් කාන්තාවක් වූවාය. විචක්ෂණ තරුණ ගැහැනියක වශයෙන් වයස අවුරුදු 17 දී ඇය සේදුම් වැඩපොළකහ හිමිකාරියක හා ගෙහිමි කාන්තාවක ලෙස ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන සිටියාය. රෙදි සේදුම් වැඩ සඳහා ඇය නැව් තටාකවලට පැමිණි අතර, නැවේ කාන්දුවීම් වසන කම්කරුවෙකු ලෙස කටයුතු කළ ෆ්‍රෙඞ්රික් ව ඇයට මුණගැසී තිබුණේ එවැනි අවස්ථාවකදී ය.

ඇනා ගේ නිදහස, තමන් ට ද නිදහස ලද හැකියැයි ෆ්‍රෙඩ්‍රික් තුළ විශ්වාසය ඇති කළේය. 1838 වර්ෂයේදී වහල්භාවයෙන් පැන යාමට තීරණය කළ විට ඇනා ඔහුව දිරිමත් කළාය. සිය සේදුම් ඇඳුම් අතර තිබී නාවිකයෙකුගේ නිල ඇඳුමක් ඔහුට පැනයාම සඳහා ලබාදුන්නේ ද ඇය විසිනි. එසේම ඇගේ ඉතිරි කළ මුදල්වලින් ලබාගත් ලද්දක් විය. මෙයට අමතරව ඇය සිය ඉතිරිකරගත් මුදල්වලින් කොටසක් ඔහුට ගමන් වියදම් සඳහා ද දුන්නීය. පිහාටු මෙට්ටයක් විකුණා දමා ඔහුට ගමන් වියදම් ලබාදුන්නේද ඇය විසිනි. ඩග්ලස් ෆිලඩෙල්ෆියාවට සහ නිව්යෝක් නගරයට ගිය පසු ඇය ද නිවසක ට අවශ්‍ය බඩු මුට්ටු ද රැගෙන ඔහු පසුපස ආවාය. දින එකොළහකට පසු ඔවුහු විවාහ වූහ. මුලින් වෛවාහක නාමය ලෙස ජොන්සන් යන්න භාවිතා කළ ද පසුව මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නිව් බෙඞ්ෆෝට් බලා යාමෙන් පසුව සිය වෛවාහක නාමය වශයෙන් ඩග්ලස් යන්න යොදාගත්හ. ඇනා සිය මරණය තෙක්ම ෆ්‍රෙඞ්රික්ගේ භාර්යාව වූවාය.

විවාහයේ පළමු වර්ෂ දහය තුළ ඇනා මරේ-ඩග්ලස් දරුවන් පස් දෙනෙකු ලැබුවාය. ඔවුහු රොසෙටා, ලුවිස්, කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික්, චාල්ස් සහ ඇනී නම් වූහ. රෙදි අපුල්ලන්නියක ලෙස තවදුරටත් කටයුතු කරමින් ඇය පවුලට මූල්‍යමය සහයෝගය ලබාදුන්නේ කතා පැවැත්වීමෙන් ෆ්‍රෙඞ්රික් ලබන ආදායම අක්‍රමවත් සහ නොසෑහෙන වූයෙන් පවුල මුදල් හිඟයෙන් පීඩා විඳීම නිසා ය. එසේම ඇය බොස්ටන් හි වහල් විරෝධී ස්ත්‍රී සමාජයේ ක්‍රියාකාරී භූමිකාවක ද යෙදුණාය. එසේම සිය සැමියාගේ වහල් විරෝධී පුවත්පත වූ ‘ද නෝත් ස්ටා’ හි අකුරු අමුණන්නන් ලෙස ක්‍රියාකිරීම පිණිස සිය පුතුන් පුහුණු කරවීමට ද පෙරමුණගත්තාය. ඩග්ලස් පවුල නිව්යෝක් හි රොචෙස්ටර් වෙත පදිංචිය මාරුකිරීමෙන් පසුව ඇය සිය නිවසේ පොළොව යට වූ මහලක, කැනඩාව බලා රහසින් පළා යන වහලුන් සියගණනකට නවාතැන්, ආහාර සහ පිරිසිදු හණ ඇඳුම් ලබාදෙමින් එය මූලස්ථානයක් බවට පත් කළාය.

ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ව වහල් භාවයෙන් මුදවාගැනීමට පෙළඹවූ සැඟවුණු බලවේගය ඇනා වුවද ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදාන වල ඇය ගැන සඳහන් වන්නේ මද වශයෙනි. එක් විචාරකයෙකු වන හෙන්රි ලුවිස් ගේට්ස් මෙසේ ලියා ඇත. “ඇනා ට භූමිකාවක් නොමැති දේශපාලන ජවනිකා මගින් ඩග්ලස් සිය ජීවිත කතාව නිර්මාණය කර තිබේ.”

ඔහු නිවසේ බොහෝ කලක් නොසිටීම සහ සාපේක්ෂ ව නූගත් කාන්තාවක් වශයෙන් ඇගේ හැඟීම්, ඩග්ලස් හැසිරුණු සමාජ කවයන් සමග ගැළපුණේ නැත. එයින් දෙදෙනා අතර විරසකවීම්වලට මුලපිරුණේ පෙර පැවති සමීපභාවයට පටහැණි බවක් සලකුණු කරමිනි. සිය සැමියා වෙනත් කාන්තාවන් සමග පැවැත්වූ සබඳතා නිසා තුවාළ වූ සිතැත්තී, කිසිදාක ඩග්ලස් ගේ ප්‍රසිද්ධ භූමිකාවට පක්ෂපාතී නොවූවාය. සිය පියාව ප්‍රශංසා මුඛයෙන් සැලකූ අය වෙත දියණිය රොසෙටා සිහිපත් කර සිටින්නේ “ඇනා මරේ හට අවංක නොවීම මගින් සිය පියා තම අරමුණ වෙත ගමන් කළ බව” යි.

1860 වර්ෂයේදී ඇගේ දස හැවිරිදි සහ බාල ම දියණිය වූ ඇනී යාමෙන් පසුව ඇය නිතරම පසුවූයේ රෝගී තත්වයෙනි. 1882 දී වොෂින්ටන් ඩී.සී. හි පිහිටා තිබූ පවුලේ මන්දිරයේදී මොළයේ ලේ කැටියක් සිරවීම නිසා ඈ මිය ගියාය. රොචෙස්ටර් හි මවුන්ට් හෝප් හෙවත් බලාපොරොත්තුවේ කඳු මුදුන නමැති සුසානයේ ඇය මිහිදන් කරන ලදී. ඇගේ සැමියා වූ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වද මරණයෙන් පසු මිහිදන් කරන ලද්දේ එහි ය.

අයිඩා වේල්ස්


අයිඩා වේල්ස්

ඇනා ගේ මරණය විසින් තරමක කාලයක් ගත වන තෙක් ෆ්‍රෙඞ්රික් හට කාංසාව සහ මහා අහිමිවීමක් පිළිබඳ සංවේදනය උරුම කර දෙන ලද්දේය. නමුත් අයිඩා බී. වේල්ස් සමග වැඩකිරීමෙන් ඔහු ජීවිතයට නව අර්ථයක් සොයාගැනීමට සමත් විය. අයිඩා මාධ්‍යවේදිනියක වූවාය. තවද වහල් භාවය අහෝසි කිරීම සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට දේශකවරියක් ද වූවාය.

ඔටිලී ඇසින්ග්

ඔටිලී ඇසින්ග් ඔහුගේ ජීවිතය සමග සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ චරිතයක් වූවාය. ඇය ජර්මානු මාධ්‍යවේදිනියක් වූ අතර බුද්ධිමත් වියත් කාන්තාවක් ද වූවාය. ඔටිලී සහ ෆ්‍රෙඞ්රික් එකිනෙකා සමග ගනුදෙනු කිරීම ආරම්භ කළේ ෆ්‍රෙඞ්රික් ලියූ “මයි බොන්ඬේජ් ඇන්ඞ් මයි ෆ්‍රීඩම්”නමැති පොත ඇය විසින් පරිවර්තනය කිරීම ට භාරගැනීමෙන් පසුව ය. 1857 දී ඔටිලී, ඩග්ලස් පවුලේ මන්දිරයේ ගත කළ ගිම්හාන නිවාඩු 22 න් පළමුවැන්න එහි ගතකළාය. දශක තුනක් පමණ ඔවුහු ලිපි හුවමාරු කර ගත්හ. එයට පෙර ඉංග්‍රීසි ජාතික වහල් විරෝධී ක්‍රියාකාරිනියක සමග පෙම් සබඳතාවයක් පවත්වන්නේ යැයි ඩග්ලස් පිළිබඳ කටකතා පැතිර තිබිණි. නමුත් ඔටිලී ඇසින්ග් විශ්වාස කළේ, “ඇය කරළියට පැමිණීමට ත් බොහෝ කලක ට පෙර ඩග්ලස් ගේ විවාහය අවසන් ව තිබූ බව” යි. තවද “එක්කෝ ඇය ව සහෝදර මනුෂ්‍යයෙකු ලෙස හෝ ගැහැනියක ලෙස දැකිය නොහැකි නිසා හෝ දැකීමට තිබූ අකමැත්ත නිසා” ඩග්ලස් ඇනා ට අපහාසාත්මක ලෙස සැලකූ බවයි. ඇගේ කළු පැහැය හෝ නූගත්කම පිළිබඳ ඇයට ගර්හාවෙන් යුතුව ඩග්ලස් ලිපි ලියූ බව ද ඔටිලී පවසන්නීය.

යුද්ධයෙන් පසුව ද ඔවුන් එක්ව කල් ගත කළ නමුත් ඩග්ලස් කිසිවිටෙක සිය බිරිඳ හැරදමා ඒමට කැමති වූයේ නැත. ඇමරිකානු දේශපාලන අනාගතයේ කාරණත්වය සහ ජාතිවාදී සම්බන්ධතා පිළිබඳ ඔහු එයට වඩා සර්වශුභවාදී විය. මේ අතර සිය වැඩුණු දරුවන් පිළිබඳ ඩග්ලස් එතරම් අවධානයක් යොමුනොකිරීම ගැන ද ඔටිලී ඔහු සමග රණඩු කරන්නට පටන්ගත්තාය. ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ඇය පිළිබඳ නිසැක වශයෙන්ම සැලකිලිමත් වන බව පෙනෙන්නට තිබුණද දෙදෙනා අතර ආතතියක් සහ දබරයක් පවා පෙනෙන්නට පටන් ගැනිණි. 1876 දී ඔටිලී යුරෝපීය සංචාරයක් සඳහා පිටත්ව ගියේ ෆ්‍රෙඞ්රික් ද අතර මගදී ඇය සමග එක් වෙතැයි බලාපොරොත්තු වෙමිනි. නමුත් එයට වඩා තමන්ට ඇමරිකාවේ සිටින තම පවුල සහ වෘත්තිය වැදගත් බව ඔහු ස්ඵුට කර දැක්වීය.

1882 ගිම්හානයේදී ඇනා මරේ ඩග්ලස් මිය ගිය විටද ෆ්‍රෙඞ්රික් ඔටිලී ව සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක් ගත් බවක් නොපෙනේ. එයින් දහ අට මසක් හෙවත් වසර එකහමාරකට පසු ඔහු හෙලන් පිට්ස් සමග විවාහ විය.

හෙලන් පිට්ස්

හෙලන් පිට්ස් නිව්යෝක් නුවරින් පැමිණි සුදුජාතික ස්ත්‍රීවාදිනියක වූවාය. එසේම ඇය ඩග්ලස් ගේ මිතුරෙකු වූ කණිෂ්ඨ ගිඩියොන් පිට්ස්ගේ දියණියයි. වොෂින්ටන් නුවර වාසය කරන විට ඇය රැඩිකල් කාන්තා ප්‍රකාශනයක් වූ ඇල්ෆා හි සේවය කර තිබිණි. යුවළට සිය විවායත් සමග මතභේදයන් කුණාටුවකට මුහුණදීමට සිදුවිය. හෙලන් සුදු ජාතික වීමත් ඇය ඩග්ලස් ට වඩා අවුරුදු විස්සකට ආසන්න වයසකින් ළාබාල වීමත් මෙයට හේතු විය. මේ විවාහය නිසා ඇගේ පවුල ඇය සමග කතා බහ පවා අත් හැරියේය. පවුල සමග ඇය පැවැත්වූ සබඳතාවය පළුදු විය. මේ අතර ඔහුගේ දරුවන් හට මේ විවාහය හැඟීගියේ සිය මව වූ ඇනා මරේ ව ප්‍රතික්ෂේප කිරීමක් ලෙසිනි.

තමන් වෙත එල්ල වූ විවේචනයන් ට ඩග්ලස් ප්‍රතිචාර දැක්වූයේ මෙසේ කියමිනි. “මගේ පළමු විවාහය මගේ මවගේ සමේ පැහැය ඇති අයෙකු සමග ය. දෙවැනි විවාහය මගේ පියාගේ සමේ පැහැය ඇති අයෙකු සමග ය.” 1886 සිට 1887 දක්වා වූ කාලය තුළ නව යුවළ එංලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඊජිප්තුව සහ ග්‍රීසිය වෙත සංචාරය කළහ. ඔහුගේ මරණය තෙක්ම ඇය ඔහුගේ බිරිඳ වූවාය…

සිව්වැනි කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස්

අද වන විට කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ මී මුනුපුරා වන සිව්වැනි කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස්, සිය මී මුත්තා වන ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ අඩිපාරේ ගමන් කිරීමට වෑයම්කරමින් සිටියි. සිව්වැනි කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් පෙන්සිල්වේනියාවේ උපත ලද අතර මෝර්ගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා 1965 වර්ෂයේදී බැල්ටිමෝරයට පැමිණියේය. පුද්ගලික සහ රාජ්‍ය අංශයේ විවිධ රැකියාවල යෙදීමෙන් පසුව සිව්වැනි කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් මෝර්ගන් විශ්ව විද්‍යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක බවට පත්විය.

තරුණ කළු ජාතිකයන් මහා පරිමාණයෙන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමේ දැක්මක් ඔහු සහ ඔහුගේ බිරිඳ ට තිබේ. සෑම වසරකම ඇමරිකාව විසින් ජාතික ෆ්‍රෙඞ්රික් ඩග්ලස් දිනය සමරන විට ෆ්‍රෙඞ්රික් ඩග්ලස් විසින් සිදුකළ සේවය සැමරීම සඳහා ඔවුහු විශේෂ ක්‍රියාකාරකම් සැලසුම් කරති. බැල්ටිමෝරයේ තිබෙන ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ මතකයන් සුරැකිය යුතු බව සහ ඒවා අනුස්මරණය කළ යුතු බව යෝජනා කළ ප්‍රධානතම අයෙක් වූයේ ද ඔහු ය. “ සැමරුම්වල කේන්ද්‍රීය අදහස වන්නේ…” යැයි සිව්වැනි කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් කියයි. “…ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී ඉදිරිපත් කිරීම් සිදුකිරීම හරහා තරුණ පිරිස්වල කියවීමේ, ලේඛනයේ සහ ප්‍රසිද්ධියේ කතා පැවැත්වීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.” මෙම ක්‍රියාකාරකම් හරහා ඔවුහු ෆ්‍රෙඞ්රික් ඩග්ලස් විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වන “ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ ජීවිත කතාව: ඇමරිකානු වහලෙක්” යන ප්‍රබෝධාත්මක ග්‍රන්ථය කියවීම සඳහා ඔවුහු තරුණ පිරිස් දිරිගන්වති. එය ඇමරිකාවේ විෂය නිර්දේශයට ඇතුළත් වනු දැකීමට ඔවුන්ට අවශ්‍ය ය.

අවසන් කොටස බලාපොරොත්තු වන්න..

පෙර කොටස් සියල්ල මෙතැනින්..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි