×

බැල්ටිමෝරයේ සිංහයා – 7 කොටස

පසුකලෙක ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, වහලුන් ට නිදහස ලබාදිය යුතු යැයි නිරන්තරයෙන් වාද කළේය. යුද්ධයෙන් පසු නිදහස් මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම හා ඒවා රැක දීම සඳහා ඔහු ක්‍රියාත්මක විය. 1872 දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා ලද පළමු අප්‍රිකානු-ඇමරිකානුවා බවට පත්විය.


1833 අගෝස්තු මාසයේ උණුසුම් ම දිනයන්ගෙන් එකකදී බිල් ස්මිත්, විලියම් හියුස්, එලී නමැති වහලෙකු සහ ෆ්‍රෙඞ්රික් තිරිඟු සුළං කිරීමේ යෙදී සිටියහ. සුළං පෙත්ත ඉදිරියෙන් සුළං කරන තිරිඟු ඉවත් කිරීම හියුස් හට පැවරී තිබිණි. එලී සහ ස්මිත් සුළං පෙත්ත වෙත තිරිඟු දමමින් සිටි අතර ෆ්‍රෙඞ්රික් සුළං පෙත්ත වෙත තිරිඟු ගෙන එමින් සිටියේය. එය, බුද්ධිය ට වඩා කාය ශක්තිය උවමනා වූ සරල කාර්යයක් වූවත්, නුපුහුණු අයෙකු හට නම් ඉතාම අසීරු දෙයකි.

එදින සවස තුන වනවිට ෆ්‍රෙඞ්රික්ගේ කාය ශක්තිය සම්පූර්ණයෙන් ම පිරිහී ගියේය. ඔහු බිඳ වැටුණේය. හිස තුළ ඇති වූ දරුණු වේදනාවකින් ඔහු අඩපණ වූ අතර, අත්‍යාධික හිස කරකැවිල්ලක් ඔහුට දැනිණි. ඔහුගේ සෑම ශරීරාවයක් ම වෙව්ළන්නට විය. සිදුවන්නට යන දෙය දැනගත් ඔහු මහත් ආයාසයකින් වැඩකිරීමට පටන් ගත්තේ වැඩ නතර කිරීම කළ නොහැකි නිසා ය. ධාන්‍ය ඔරුව තිරිඟු වලින් පිරී යන තෙක්ම ඔහු කඩින් කඩ මෙසේ කරන්නට විය. නමුත් තවදුරටත් එසේ කළ නොහැකි තැන ඔහු බිම වැටුණේය. මහා බරක් විසින් බිම හොවා ලූ විටෙක මෙන් බිම ඇද වැටුණේය.

කොවේ මහතා සිටියේ මෙතැන් සිට යාර සියයක් පමණ ඔබ්බෙන් වූ තැන පිහිටි නිවසේ ය. තිරිඟු සුළං කිරීම නතර වූ බව ඇසුණු වහා ඔහු එතැනට ආවේය. ප්‍රශ්නය කුමක්දැයි විගසින් ඇසීය. ෆ්‍රෙඞ්රික් අසනීප වී වැටුණු බවත් සුළං පෙත්ත වෙත තිරිඟු ගෙන ඒමට කිසිවෙකු නැති බවත් බිල් කීය. ඊළඟට, ෆ්‍රෙඞ්රික් කොහේදැයි කොවේ මහතා ඇසීය. අතක් දිගු කර ෆ්‍රෙඞ්රික් වැටී සිටි තැන පෙන්වූ විට එතැනට පැමිණි කොවේ මද වේලාවක් ෆ්‍රෙඞ්රික් දෙස බලා සිටියේය. ඔහු ඉන්පසු ෆ්‍රෙඞ්රික් හට ඉතාම තිරිසන් ලෙස පා පහරක් දී නැගිටින්නැයි කීය. ඔහු එසේ කිරීමට උත්සාහ ගත් නමුත් නැවතත් බිම ඇද වැටුණේය. එවිට තවත් පා පහරක් දී ඔහුට නැගිටින ලෙස කීවේය. එවිට අපහසුවෙන් නැගිට ගෙන සුළං පෙත්ත වෙත ගිය නමුත් නැවතත් බිම ඇද වැටුණේය. එවිට, හියුස් විසින් තිරිඟු බුසල් බාගය බැගින් මැනීමට භාවිතා කළ හොකරි වර්ගයේ ලී දණ්ඩ උදුරාගත් හොවේ, එයින් දෑත බදා ෆ්‍රෙඞ්රික්ගේ හිසට පහර දුන්නේය. එයින් අති විශාල තුවාළයක් ඔහුගේ හිසෙහි ඇතිවූ අතර නොකඩවා ලේ ගලා යන්නට විය.

මේ සමගම නැවතත් නැගිටින්නැයි ඔහු ෆ්‍රෙඞ්රික් හට කීවේය. මේ වන විට ෆ්‍රෙඞ්රික් එයට අවනත නොවූයේ නරකම දේ කිරීම ට කොවේ ට ඉඩ හැරීම සඳහා හිත හදාගනිමිනි.

මේ පහර ලැබීමෙන් මද වේලාවකට පසුව ෆ්‍රෙඞ්රික් හට මද සහනයක් දැනිණි. මේ වන විට කොවේ විසින් ෆ්‍රෙඞ්රික්ගේ ජීවිතය ම තම අණසක යටතට ගෙන සිටියේය. ඒ මොහොතේ පළමු වතාවට, සිය ස්වාමියා වෙත ගොස් හොවේ ට විරුද්ධ ව පැමිණිල්ලක් දමා ආරක්ෂාව ඉල්ලා සිටීමට ෆ්‍රෙඞ්රික් අධිෂ්ඨාන කර ගත්තේය. මෙය කිරීමට නම් එම සන්ධ්‍යාවේ ම ඔහු සැතපුම් හතක් පයින් යා යුතු විය. මේ තත්වය යටතේ එය සැබවින්ම අවදානම්කාරී දුෂ්කර කටයුත්තකි.

මේ වන විට ෆ්‍රෙඞ්රික් අතිශයින් ම බෙලහීන ව සිටියේය. එය එසේ වී තිබුණේ ඔහු ලක්වූ පහර කෑම් නිසා ය. කෙසේ නමුත් ඔහු තමන්ට අවශ්‍ය දෙය කිරීම සඳහා අවස්ථාවක් සෙවීය. කොවේ වෙනත් අතක් බලා සිටින අතර, ඔහු ශාන්ත මයිකල්ස් බලා ගමන් ගැනීම ඇරඹීය. කොවේ විසින් ඔහු ට ආපසු එන ලෙසත් නොපැමිණියහොත් පාඩමක් උගන්වන බවටත් තර්ජනය කිරීම අරඹන විට ෆ්‍රෙඞ්රික් සැලකිය යුතු දුරක් ගමන් කිරීමට සමත් ව සිටියේය. සිය දුර්වල තත්වය විසින් ඉඩලබාදෙන පරිදි හැකි තරම් වේගයෙන් ඔහු කැළය මැදින් ගමන් කළේ, තමන් ව සොයාගත නොහැකි තරම් පාරට දුරින් ද-අතරමං නොවන තරම් පාරට ළඟින් ද වන සේ ය. නමුත් ඉතිරි ව තිබූ කුඩා ශක්තිය විසින් විශාල දුරක් යාම සඳහා ෆ්‍රෙඞ්රික් හට ඉඩ ලබානුදුන්නේය. ෆ්‍රෙඞ්රික් හට තව දුර යා හැකි නොවීය. ඔහු බිම ඇද වැටුණේය. තරමක වේලාවක් මේ ආකාරයට ම සිටියේය. හිසේ වූ තුවාළයෙන් තවමත් රුධිරය විශාල ප්‍රමාණයකින් ගලා යයි. ලේ වහනය වීම නිසා තමන් මිය යනු ඇතැයි ඔහු ට බොහෝ වේලාවක් යන තෙක් සිතුණේ ය. එය එසේ විය යුතු යැයි ද ඔහු සිතීය. නමුත් තුවාළයෙන් ලේ ගලා යාම නතර කරමින් ලේ කැටි හිස කෙස් අතර රැඳුණේය. විනාඩි හතළිස් පහක් පමණ මේ ආකාරයෙන් බිම වැතිරී සිටි ඔහු, නැගී සිට මඩ වගුරුවල එරෙමින් ද කටු ගාල්වල පැටලෙමින් ද පාවහන් හෝ හිස් වැසුම් නොමැති ව පියවරක් පියවරක් පාසා කඳුළු සළමින් යන්නට විය. පැය පහක පමණ කාලයක් ගත කරමින් සැතපුම් හතක දුරක් ගෙවා ගිය ඔහු, සිය ස්වාමියාගේ ගබඩාව වෙත යාමට සමත් විය. ඉන්පසු ෆ්‍රෙඞ්රික් ස්වාමියා ඉදිරියේ පෙනී සිටියේ ඕනෑම අයෝමය හදවතක් වුව උණු කරවන ආකාරයේ පෙනුමකින් යුතුව ය. හිස් මුදුනේ සිට ම ඔහු ලේවලින් නැහැවී සිටියේය. මේ තත්වයෙන් ෆ්‍රෙඞ්රික් සිය ස්වාමියා ඉදිරියේ පෙනී සිටියේ නිහතමානී ලෙස ඔහුගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිමිනි.

නමුත් ඔහුගේ කතාන්දරය කීමෙන් පසුව කිසිවක් සිදු නොවූ අතර පසුදින උදෑසන ම දුර්වල වූ ශරීරයෙන් සහ බිඳී ගිය ධෛර්යයෙන් යුතු ව කොවේ වෙත යාමට ඔහුට සිදුවිය. ෆ්‍රෙඞ්රික් හට එම රාත්‍රියේදී හෝ පසුදින උදෑසන ආහාරයක් නොලැබිණි.

ඔහු කොවේ ගේ නිවස වෙත උදෑසන නවය ට පමණ ළඟා විය. වැට පනින විට ම ෆ්‍රෙඞ්රික් වෙත කසය අතින් ගත් කොවේ දුවගෙන ආවේ තවත් වරක් කසපහර දීම සඳහා ය.

එය සාර්ථක වීමට පෙර ෆ්‍රෙඞ්රික් තිරිඟු වත්ත වෙත දිව යාමට සමත් විය. තිරිඟු ගොඩ උස් එකක් වූයෙන්, එය ෆ්‍රෙඞ්රික් හට සැඟවීමට තැනක් සොයාදීමට සමත්විය. කොවේ අතිශයින් ම කෝපාවිශ්ට ව සිටි අතර ෆ්‍රෙඞ්රික් ව සොයමින් දිගු වේලාවක් ගත කළේය. ෆ්‍රෙඞ්රික් සිටියේ කුමක් කරාවිදැයි කිව නොහැකි තත්වයක ය. අවසානයේ කොවේ සෙවිල්ල අතහැර දැමුවේ ෆ්‍රෙඞ්රික් කුමක් හෝ ආහාරයට ගැනීම සඳහා කෙසේ නමුත් නිවස ට පැමිණිය යුතු යැයි සිතමින් විය හැකිය. තවදුරටත් ෆ්‍රෙඞ්රික් ව සොයමින් කොවේ වද නොවනු ඇත. ෆ්‍රෙඞ්රික් එම දිනයෙන් වැඩි කොටස කැලයේ ගත කළේය. ඔහු ඉදිරියේ තෝරාගැනීම් දෙකක් විය. එනම්, එක්කෝ නිවස ට ගොස් මැරෙන තෙක් කස පහර කෑම හෝ මැරෙන තෙක් කුසගින්නේ සිටීමයි.

මීළඟ කොටසින් – ෆ්‍රෙඩ්රික් වහල්හිමියාට පහර දෙයි.

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි