×

ඔෆිස් වේලාවෙන් පසු සේවකයන් ඇමතීම තහනම්!

මින් මත්තට කාර්යාල වේලාවෙන් පසු කාර්යාලයේ සේවකයන් සම්බන්ධ කර ගැනීම නීතිවිරෝධී වනු ඇත. නමුත් ඒ ලංකාවේදී නොව ප්‍රංශයේදී ය.


ප්‍රංශය මේ අලුත් මානව හිමිකමට කියන්නේ ‘රයිට් ටු ඩිස්කනෙක්ට්‘ “right to disconnect කියා ය. කාර්යාලය සමග පවත්වන සම්බන්ධතා කපා හැරීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය යැයි ද මෙයට කියනු ලැබේ.

අඩුම තරමේ මේ කාලය තුළ සේවකයන්ට ඊ මේල් පණිවුඩයක් යැවීම පවා නීති විරෝධී ය.

මෙය බලපවත්වන්නේ සේවකයන් 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතු කාර්යාලවලට ය.

ඒ අනුව සියලු සති අන්ත මෙන්ම කාර්යාල වේලාවට පෙර සහ පසු කාලය ද සහමුලින්ම පාහේ කාර්යාල පීඩනයෙන් මිදී කල් ගත කිරීමේ අයිතිය ප්‍රංශයේ විශාල සමාගම් ඇතුළු සේවකයන් 50 ට වැඩි ස්ථාපිතවල රැකියා කරන සැමට හිමිවනු ඇත. ප්‍රංශය පවසන්නේ, සුපුරුදු වැඩකටයුතුවලින් මේ අන්දමින් සහමුලින්ම ඈත් වී සිටීම මානසික සහ කායික සුවතාවය සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වන බවයි.

ප්‍රංශය මේ වන විට කෙනෙකුට රැකියාවක් කිරීම සඳහා සුදුසුම රට බවට වේගයෙන් පත් වෙමින් තිබේ. දැනටමත් ප්‍රංශයේ කම්කරු නීතිය අනුව වසරකට සේවකයන්ට දිවා නිවාඩු 30 ක් සහ, පූර්ණ ගෙවීම් සහිත පවුල් නිවාඩු සති 16 ක් වසරකට ලබාගත හැකිය. නමුත් ඒ සියල්ලටම වඩා යෝජිත නව නීතිය ප්‍රංශයේ අති මහත් ලෙස ජනප්‍රිය වෙමින් පවතියි.

ප්‍රංශ ජාතික සභාවේ බෙනොයිට් හාමොන් මෙසේ කියයි. ‘‘සියලුම පර්යේෂණවලින් පෙනී ගොස් ඇති පරිදි රැකියා ස්ථානය ආශ්‍රිත ආතතිය අපේ පුරවැසියන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාමින් තිබෙනවා. සේවකයන් භෞතිකව කාර්යාලයෙන් බැහැර වුණත් ඔවුන්ගේ හිස මත තිබෙන කාර්යාල වගකීම් බැහැර වන්නේ නැහැ. අවසානයේ ඔවුන් බිඳ වැටෙන්නට පුළුවන්.“

නව නීතිය උල්ලංඝනය කරන අයට දඬුවම් නියම කර නැතත්, ප්‍රංශයේ සේවා යෝජකයන් ආචාර ධාර්මික ලෙස හැසිරීම ගැන ප්‍රකට හෙයින් ඔවුන් ඉදිරියේදී මෙයට අනුකූලව වඩාත් ආචාර ධාර්මික ලෙස සේවකයන් සේවයේ යොදවනු ඇති බවට ද ඔවුහු මත පළ කරති. ඒ අනුව ඉදිරියේදී සේවකයන්ට ලබාදෙන රැකියා විස්තරවල මේ බව ද පැහැදිලිව සඳහන් කෙරෙනු ඇත.

මෙම නීතිය මුලින්ම යෝජනා කළ විට ප්‍රංශය තුළ විශාල විවේචනයක් එ් සඳහා එල්ල විය. නමුත් නීති සාදන්නන් දිගින් දිගටම පෙන්වා දුන්නේ මෙවැනි නීති ගෙන ඒම පුරවැසියන්ගේ පැත්තෙන් අත්‍යාවශ්‍ය බවයි. ප්‍රංශයේ කම්කරුවන්, එසේත් නැතිනම් වැඩ කරන ජනතාව දිගින් දිගටම කායික, මානසික සහ චිත්තවේගීමය වශයෙන් ආතතියට පත්ව තිබෙන බවත්, අවසානයේ ඔවුන් ‘සැබවින්ම‘ විවේක ගත නොහැකි මට්ටමකට ආතතියට පත්ව ඇති බවත්‘ ඔවුහු පෙන්වා දෙති.

මේ අතර, නව නීතිය ප්‍රංශයේ කම්කරු වෘත්තීය සංගම්වල බලය දුර්වල කිරීමට ගත් උත්සාහයක් ලෙස ද ඇතැම්හු පෙන්වා දෙති. එමගින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය අඩමාන විය හැකි බවට ද මතයක් තිබේ. කෙසේ නමුත් ප්‍රංශයේ වැඩ කරන ජනතාව නම් සිටින්නේ නව ප්‍රතිසංස්කරණය ගැන ඉතාම සන්තෝෂයෙනි.

This article, By Amanda Froelich, (New French Law Makes It Illegal To Contact Employees After Work Hours) is free and open source.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි