×

ෆන්ගී කෝ? අයර්ලන්තය වැළපෙයි

ෆන්ගී.. හැමෝම ඔහුව ඇමතුවේ එසේ ය. පුරා තිස් අවුරුද්දක් අයර්ලන්තයේ එකම ජල තලයක් රජෙකු සේ භුක්ති විඳි ෆන්ගී, මහ සයුරේ ඩොල්ෆින් නිවහන හැර දමා, සදහටම මිනිස් ඇසුරේ දිවි ගෙවන්නට සිතා සිටියා වැන්න.


නමුත් දැන් ෆන්ගී අතුරුදහන් ය. විදෙස් වාර්තාවලින් කියැවෙන්නේ මුළු අයර්ලන්තයම ඒ ගැන දුක් වන බවයි. ඒ දුක කොතරම් සාධාරණදැයි දැනගැනීමට ඔබ කළ යුතු වන්නේ Fungi යන අකුරු යූ ටියුබ් හරහා සර්ච් කිරීම පමණයි. වීඩියෝ සිය ගණනක් තත්පර දශම ගණනක් ඇතුළත ඔබට ලැබෙනු ඇත.

ෆන්ගී නොඑන ගමන් ගියාද? වසර 30 ක් මුළුල්ලේ අයර්ලන්තයේ ඩිංගල් වරායේ රළ අතර පෙරළි කළ ෆන්ගී ගැන මෙසේ දුක්වන්නට හේතු උවමනාවටත් වඩා තිබේ.

තිස් හත් වසරක් මිනිස් ඇසුරේ

ෆන්ගී, සත්වෝද්‍යානයක පුංචි තටාකයක සිරවී, මිනිසුන් දෙන මළගිය මාළු කා දමමින් සිටි ඩොල්ෆිනයෙක් නොවේ. ඔහු තමන්ම වෙහෙස වී අල්ලා ගන්නා මාළු නැවුම් පිට රස බැලූ නිවහල්කාමියෙකි. ඩින්ගල් වරාය ඔහුගේ පාරාදීසය විය. ඔහු හාදු දෙන තරමට මිනිසුන්ට ළං වුණේ නැත. නමුත් සිවුරුහම් නදට පවා ඔහු මිනිසුන් වෙත ඇදී ආවේය. වරායට බෝට්ටුවක් හෝ මිනිස් පුළුටක් පැමිණි බව දැනුණු හැම විටම ඔහු කරණම් ගසන්නට පටන් ගනියි. දිය කෙළියේ යෙදෙයි. මිනිසා අසලටම එයි. මිනිසුන් පිනවීම ඔහුගේ පරම සතුට වූවා විය යුතුය. ලොව පුරා මිලියන ගණනක් දෙස් විදෙස් සංචාරකයන් ෆන්ගී බැලීම සඳහාම අයර්ලන්තයට පැමිණියේ එනිසා ය.

මිනිස් ඇසුරට මේ තරම් ප්‍රිය කළ නිසාම ෆන්ගීට පෙම්වතියන් අහිමි වූ බවට ද සාධක තිබේ. ඔහු පුරා තිස් හත් අවුරුද්දක් සයුර පෙනි පෙනී වරායේ තනිව සිටියේය. මිනිසුන් සමගම වයසට ගියේය. ඒ තද අළු පැහැති ඩොල්ෆින් සිරුර සෙමෙන් ළා අළු පාටට හැරිණි. නමුත් ඔහු කිසිදා මුහුද දෙසට හැරී නිදාගත්තේ නැත. මුහුදට පිටුපා අවදි වූවා පමණි.

ෆන්ගී 1983 වසරේදී හිටිහැටියේම අයර්ලන්තයේ ඩිංගල් වරායේ දිස් වූයේය. මේ බෝතල් නාසයා (bottlenose) ඉතා කෙටි කලකින්ම ඩිංගල් හි වරාය නගරය වූ කන්ට්‍රි කෙරී නගරයේ තේමාව බවට පත් විය. ෆන්ගී වෙනුවෙන් ඉදි කළ ප්‍රතිමා, පුවරු පමණක් නොව ෆන්ගී නිසාම ස්ථාපිත වුණු ව්‍යාපාරික ස්ථාන ගණනාවක් ද කන්ට්‍රි කෙරී හි දක්නට ලැබේ. දුක්මුසු සහ නිදිබර පෙනුමැති නගරය, වසර කිහිපයක් ඇතුළත උද්‍යෝගී සංචාරකයන් දහස් ගණනින් ඇදී එන ජීවය පිරුණු සංචාරක නිකේතනයක් බවට පත් වූයේ ෆන්ගී නිසා ය.

මේ තිස් හත් අවුරුද්ද පුරාම ෆන්ගී පැය 6කට වඩා මිනිස් ඇසින් මිදී සිටියේ නැත. ඔහු අතුරුදන් වී දැන් සති දෙකකට ආසන්න ය. මේ අතුරුදන් වී සිටින්නේ ‘ලෝකයේ වැඩිම කාලයක් තනිව ජීවත් වූ ඩොල්ෆිනයා‘ ලෙස ගිනස් වාර්තාවක් ද තැබූ ආදරණීය ෆන්ගී ය. ඔහු සොයා ඩිංගල් වරායේ දිවා රෑ මෙහෙයුම් ක්‍රියාත්මක ය.

අවසානයේ ෆන්ගී මුහුද දෙසට හැරී ගිමන් හරිමින් සදාකාලික නින්දට වැටුණාද…?

[embedyt] https://www.youtube.com/watch?v=eK-LeeGslMA[/embedyt]

[embedyt] https://www.youtube.com/watch?v=NYDUn1Gbp5E[/embedyt]

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි