×

කොරෝනා ගැන සත්‍ය හෙළි කළ තවත් මහාචාර්යවරයෙකු අතුරුදන් , චීන රජයට එරෙහි ජනතා කෝපය රෝග බිය පරදවයි

නිදහස් අදහස් ප්‍රකාශනයට චීන ජනතාවට ඇති අයිතීන් උල්ලංඝනයට එරෙහිව නැගී සිටින පුද්ගලයින් දඩයම් කිරීමේ චීන රජයේ ක්‍රියාකලාපය කොරෝනා වෛරසය සමග ඉහළට


කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය චීන ජාතිකයින් සංඛ්‍යාව 1600 ඉක්මවමින් සිටී. ඒ සමග චීන වැසියන් එරට රජය කෙරේ සිය විරෝධය පළ කරමින් සිටින්නේ රෝගය පිළිබදව සත්‍ය සහ නිවැරදි තොරතුරු ජනතාව වෙතින් වසන් කිරීම සහ රජයේ වාරණයන් ඉවත්කරගන්නා ලෙස ඉල්ලමිනි. වෛරසය සම්බන්ධව චීන ජනපතිවරයාගේ හැසිරීම සහ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළ මහාචාර්ය ෂූ ෂැන්ග්‍රන් අතුරුදන් වී ඇති බව ඔහුගේ හිතවතුන් සහ ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කිරීමත් සමග මෙම විරෝධව තව තවත් ඉහළ යමින් තිබේ. මහාචාර්යවරයාගේ මිතුරන් හට දින කිහිපයක සිට ඔහුව සම්බන්ධ කර ගත නොහැකි වී ඇති අතර ඔවුන් පවසන්නේ ඔහුගේ සියලු සමාජ මාධ්‍ය ගිණුම් සහ සම්බන්ධතා අවහිර වී ඇති බවයි.

සත්‍යය හෙළි කිරීම සහ නිදහස් අදහස් ප්‍රකාශනය සම්බන්ධව චීන රජයේ පවතින වාරණයන් සහ රජයේ නියාමනයන් පිළිබදව ෂූ ෂැන්ග්‍රන් විසින් විවේචනයන් සිදුකර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධවව සත්‍ය තොරතුරු මුල සිට ජනතාවගෙන් වසන් කිරීම පිළිබදව මහාචාරය ෂූ ෂින්ග්‍රන් විසින් ෂි ජින් පින් රජය විවේචනයට ලක් කරන ලදී. ‘කෝපය විසින් බිය අභිබවා යෑම‘ නමින් නිදහස් අදහස් ප්‍රකාශනය පිළිබදව සමාජ කථිකාවක් ගොඩ නැගීමට මුල් වූ ඔහු රජයේ තර්ජනයන්ට හසු වී සිටි බව ඔහුගේ අවසාන ලේඛනයෙන් පැහැදිලි වේ. ”මේ මගේ අවසන් වචන කිහිපය විය හැකිය.. ඔහු අවසානයේ එසේ සඳහන් කර තිබිණි.

ඔහුට පෙර ද කොරෝනා වෛරසය පිළීබදව සමාජය දැනුවත් කරමින් සත්‍ය හෙළි කරමින් වෛද්‍ය ලී වෙන්ලියැන්ග් පසුගියදා ජීවිතකෂයට පත් විය. ඒ කොරෝනා වෛරසයටම ගොදුරු වීම හේතුවෙන් වුවද ඔහුගේ මරණය පිළිබදව විවිධ අදහස් සහ සැකයන් චීන වැසියන් තුළ ඇති වී තිබේ. පසුගිය හත්වනදා සිදු වූ ඔහුගේ මරණයෙන් පසු මූලිික ලෙසම චීන ජනතාව තුළ එරට රජයේ ක්‍රියාකලාපයන් සහ සත්‍ය වසන් කිරීම මෙන්ම වාරණයන් පිළිබදව ශෝකය සහ බිය සමග අසාමාන්‍ය සමාජ කතිකාවක් ගොඩ නැගිණ.

ටෝකියේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හොං ෂේන්කුවායි පවසන්නේ වෙන් ලියැන්ග් ගේ මරණය විසින් පාලක පක්ෂයේ හැසිරීම පිළිබදව සමාජ කැළඹීමක් ඇති කළ බවයි.

වුහාන්හි තත්ත්වය පිළිබද තමන් වෙත නිසි තොරතුරු නොළැබෙන බව චීන ජනයා තුළ ඉස්මතු වී ඇති කෝපය චීන රජයේ සමාජ මාධ්‍ය පාලනය සහ මෙතක් පැවති අන්තර්ජාල වාරණයන් පිළිබදවද ජනතා විවේචන පුපුරා ගොස් ඇත.

මේ වන විට අතුරුදන් වී ඇති මහාචාර්ය ෂූ ගේ ප්‍රකාශනයන් පිළිබදව තමන් දඩුවම් ලැබීමට නියමිත බව ඔහු විසින් අනතුරු ඇගවීම් සිදු කර තිබුණ අතර ඔහුගේ රැකියාව අහිමි කිරීම මහාචාර්යවරයෙක් ලෙස ඔහුගේ තනතුරු ඔහුට අහිමි කිරීම ආදී පියවරයන් චීන රජය විසින් ගෙන තිබිණ.

“මට දැන් නව දඩවුමක් ලැබෙනු ඇතැයි ඉතා පහසුවෙන් පුරෝකථනය කළ හැකිය. ඇත්ත වශයෙන්ම, මෙය මා ලියන අවසාන කොටස විය හැකිය, ”ඔහු සිය නවතම රචනාව අවසානයේ ලිවීය.

ඔහුගේ මිතුරන් පවසන්නේ, ඔහුගේ රචනාවන් ප්‍රකාශයට පත් කළ දා සිට, චීන පණිවුඩකරණ යෙදුමක් වන WeChat හි Xu ගේ ගිණුම අත්හිටුවා ඇති අතර, දින ගණනාවක් තිස්සේ ඔහු සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට නොහැකි වී ඇති බවයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහුගේ බීජිං හි පිහිටි නිවසේ ඔහුව නිවාස අඩස්සියේ තබාගෙන ඇති බවයි. මේ වන විටචීනය තුළ පවත්වාගෙන යන සුප්‍රසිද්ධ අන්තර්ජාල පහසුකම වන වීබෝ හි ඔහුගේ නම ඉවත් කර ඇති බවද ඔවුන් පවසයි.

මේ වන විට චීනයේ විශාලතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය වන බයිදු හි ඔහු සම්බන්ධව දැකිය හැක්කේ මීට වසර ගණනාවකට පෙර ඔහු විසින් රචනා කරන ලද පැරණි ලිපි කිහිපයක් පමණි. ඔහුට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධව තොරතුරු අනාවරණය කර පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනෙකු පසුගිය සතියේ අතුරු දහන් වී ඇතිබව වාර්ථා විය.

මේ මස මුල් සතියේදී ද ගාඩියන් පුවත් අඩවිය විසින් අනාවරණය කළේ 2002 -2003 කාලය තුළ චීන රජය විසින් සාර්ස් වසංගතය පිළිබදව තොරතුරු වසන් කිරීම සම්බන්ධව තොරතුරු අනාවරණය කළ චීන හමුදා ශල්‍ය වෛද්‍ය වරයෙකු පසුගිය වසරේ සිට චීන රජය විසින් නිවාස අඩස්සියේ තබා ඇති බවයි. 1989 වසරේ ටියානන්මෙන් චතුරස්‍රය හා සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය හා ඊට සම්බන්ධ ව්‍යාපාරය ගැන නැවත තක්සේරුවක් ඉල්ලා ඔහු විසින් ඉහළ නායකත්වයට ලිපියක් යැවීමෙන් පසු ඔහුව මෙසේ රඳවනු ලැබිණි.

“චීනය තුළ භාෂණයේ නිදහස සඳහා දැන් ඉඩක් නැත,” ආචාර්ය හොං පවසයි.

ඔහුට අනුව “ නිදහස සොයන්නන්ටඇති වන බලපෑම විවිධාකාර වේ. ආර්ථික වශයෙන්, ඔවුන් ඔබේ ජීවනෝපාය කපා හරිනු ඇත. ශාස්ත්‍රඥයින් සේවයෙන් පහ කරනු ලැබේ, ලේඛකයින්ට ප්‍රකාශයට පත් කළ නොහැක, කිසිවෙකු ඔබව කුලියට ගැනීමට එඩිතර වන්නේ නැත. ඔබ ප්‍රධාන ධාරාවේ සමාජයෙන් පසෙකට වී යනු ඇත, ඔබට මිතුරන් අහිමි වනු ඇති අතර, ඊටත් වඩා නරක නම්, ඔබේ පෞද්ගලික නිදහස ඔබට අහිමි වනු ඇත, එබැවින් බුද්ධිමය ප්‍රභූන් ගණනාවක් චීනයෙන් ඉවත් වීමට තෝරාගෙන ඇත.”

චීන ජනපති ෂී ජින්පින් 2012 වසරේදී බලයට පත් වූ දා සිට ජනතා මතවාදයන් පාලනය කරමින් සිටී. සිවිල් අයිතිවාසිකම් යටපත් කරමින් සිටින ඔහු චීනයේ මාධ්‍ය නිදහස සහ අන්තර්ජාල නිදහස සම්පූර්ණයෙන් රජයේ පාලනය යටතට ගෙන ඇති බව අවස්ථා කිහිපයකදීම පැහැදිලි වී ඇත. අඩුම තරමේ පාලක පක්ෂය වන එරට කොවමියුනිස්ට් පක්ෂය තුළ පවා මත දැක්වීම මෙන්ම අදහස් ප්‍රකාශනයයට සම්පූර්ණ නිදහස අහිමිව ඇති බව විචාරක මතයයි.

ජනපතිවරයාගේ මෙම කථන හා ශාස්ත්‍රීය නිදහස මැඩපැවැත්වීම යටතේ, එරට ප්‍රමුඛ පෙළේ ලිබරල් අදහස් දරන බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරිකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් නිහඩ කිරීම, සිරගත කිරීම හෝ ඔවුන්ට විදේශයන් වෙත පලා යන තැනට කටයුතු කිරීම වසර ගණණාවක් තිස්සේ චීනය තුළ සිදුවෙමින් පවතී.

කොරෝනා වෛරසය සම්බන්ධව සත්‍ය වසන් කිරීමේ චීන රජයේ ක්‍රියාකාරීත්වය පිළබදව ජනතා හැසිරීම කාලයක් තිස්සේ ජනතාව පෙළමින් සිටි මෙම පීඩනයන් විසින් මුවහත් කර ඇත. ඒ අනුව මේ මොහොත වන විට මරණය පිළිබදව ඔවුන් තුළ පවතින බිය රජය විසින් ඔවුන් තුළ ඇති කර ඇති කෝපය විසින් අබිබවා ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි