×

පිපිරීම් හා මරණ හමුවේ ගාසා තීරය යළි උණුසුම් වෙයි!

ගාසා තීරය ඔස්සේ පලස්තීනයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් පිපිරීම් දෙකක් සිදුවී ඇත.


පසුගිය අඟහරුවාදා (27) දින සනද්‍යා යාමයේ හමාස් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරය ඔස්සේ පලස්තීනය තුළ පිපිරීම් දෙකක් සිදුවී ඇති අතර, තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිස් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ එදිනම ඊශ්‍රායලය වෙතට ගාසා තීරය ඔස්සේ මෝටාර ප්‍රහාර 4ක් එල්ල වීමෙන් අනතුරුවය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශ කර සිටි අන්දමට, මෙම මෝටාර ප්‍රහාර සතරින් එකක් ඊශ්‍රායලයේ දේශ සීමාවේ විවෘත කලාපයට පතිත වී ඇති අතර, අනෙක් ත්‍රිත්වය ගාසා තීරය තුළ පතිත වී ඇත. එමඟින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

කෙසේවෙතත්, අඟහරුවාදා දින සනද්‍යා යාමයේ පලස්තීනය වෙත එල්ල වූයේ යැයි වාර්තා වන ප්‍රහාර වලට වගකීම දැරීමද IDF අංශ ප්‍රතික්ෂේප කර සිටියි.

ගාසා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය බදාදා (28) දින ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ආරක්ෂක හා පොලිස් සේවා තර කළ යුතු බවයි.

ජීවිත තුනක් අහිමි කරමින් පලස්තීනය වෙත එල්ල වූ ප්‍රහාර දෙක පිළිබඳ අදහස් දක්වමින් හමාස් දේශපාලන අධිකාරියේ ප්‍රධානී ඉස්මයිල් හනියාහ් ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරයේ සුලමුල කඩිනමින් හෙලිදරව් කරනා බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි