×

පිළිකාව නිසා සුළු විරාමයක් ගන්නා BBC රූපවාහිනිය හෙල්ලූ ‘අපේ‘ අලගෙයියා

ජෝර්ජ් අලගෙයියා ව මුළු එංගලන්තයම දනියි. හඳුනයි.


BBC රූපවාහිනියේ වැඩිම පිරිසක් නරඹන සවස 6 පුවත් හෙවත් BBC News at Six හි ඔහු ප්‍රමුඛ ‘කටහඬ‘ක් විය. වැල්ලවත්තේ ඉපදුණු මේ ශ්‍රී ලාංකිකයා සුපැහැදිලි, නිවැරදි සහ ගැඹුරු ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරෙව්වේය. බ්‍රිතාන්‍යයේ උපන් සුදු ජාතිකයන්ට පවා ඔහු ගරුකටයුතු ආශ්වාදයක් විය. 2010 වසරේ BBC World News සේවය ඇරඹුණු විට එහි ප්‍රධාන පුවත් කියන්නා බවට පත් කෙරුණේ ද ඔහු ය. පසු කලෙක ඔහු OBE හෙවත් Officer of the Most Excellent Order of the British Empire ගරු නාමයෙන් ද පිදුම් ලැබුවේය.

අපේ ජෝර්ජ් අලගෙයියා ගැන බොහෝ පැතිවලින් කතා කළ හැකිය. ඔහු බොහෝ දෙනෙක් අසන්නට පවා අකමැති ‘පිළිකාව‘ සමග දැන් දශකයකට වැඩි කාලයක් නොබියව සටන් වදිමින් සිටියි. දෛවයට ඔහු සමග ‘ගේමක්‘ ඇති සෙයකි. දෛවය ඔහු සමග ඒ සෙල්ලම කළේ පිළිකාවක වේශයෙනි. ඒ මෙසේ ය.

2014 වසරේදී ජෝර්ජ් අලගෙයියා හට අන්ත්‍ර පිළිකාවක් හෙවත් බඩවැලේ පිළිකාවක් ඇති බව සොයා ගැනිණි. ඔහුට එම වසරේදී වට 17ක කීමෝතෙරපි ලබාදීමට සිදුවිය. නමුත් ඔහු දිගටම නිව්ස් කිව්වේය. නිවාඩු ගත්තේ මාස කිහිපයක් පමණි. 2015 වසරේදී ආපසු සේවයට වාර්තා කළ විට, කීමෝතරෙපි නිසා ‘මට දැන් ඉස්සරට වඩා දෙයක් තියෙනවා‘ යැයි සිනාමුසු මුහුණෙන් යුතුව කීවේය. ඉන්පසු නැවතත් නිව්ස් කිව්වේය.

2017 මැයි මාසයේදී ලෝකයම සසල කළ මැන්චෙස්ටර් ප්‍රහාරයේ තතු, හයේ පුවත්වලට ගෙන ඒම භාරවී තිබුණේ ද ඔහුට ය.

2021 ජූනි මාසය වන විට ඔහු කිව්වේ පිළිකාව සිය පෙණහලු, අක්මාව සහ වසා ගැටිතිවලට ද පැතිර ඇති බව ය. එසේ කියා ඔහු තවදුරටත් නිව්ස් ද කිව්වේය. එංගලන්තය පුරා කෝවිඩ් වසංගතය පැතිර යන විට ඔහුට කෝවිඩ් ද වැළඳුණේය. නමුත් ඔහු නිව්ස් කියවීමෙන් වළක්වාලන්නට දෛවයට අද දක්වාම හැකි නොවීය.

2020 වසරේදී කෝවිඩ් වැළඳී සිටියදී ඔහුගෙන් බීබීසී නිවේදිකාව ඇසුවේ, පිළිකාව වැළඳුණු, එයට අතිමහත් ලෙස බියවන අයට ඔහු දෙන පණිවුඩය කුමක් ද කියා ය. ජෝර්ජ් අලගෙයියා එවිට මෙසේ කීවේය.

‘‘අපි හැමෝම දන්නවා අනියත බව කියන්නෙ මොකක්ද කියලා.. අපි හැමෝම දන්නවා ජීවිත තර්ජනයක් සහිත වීම මොකක් වගේ ද කියලා..අපි ජීවිතේ දුෂ්කර අන්ධකාර නිමේෂයන් එක්ක අරගල කරනවා. නමුත් පිළිකාව සමග ජීවත් වෙන අපි දන්නවා, ප්‍රතිඵලය අනියත දෙයක ඇතුළාන්තයට ගමන් කිරීම මොන වගේද කියලා..‘‘

මෙයට දින කිහිපයකට පෙර එනම් ඔක්තෝබර් 18 වැනිදා ජෝර්ජ් අලගෙයියා, වසර 14 ක් තිස්සේ නොකී කතාවක් කීවේය. ඒ, පිළිකාව තවදුරටත් පැතිරී ඇති බැවින් තමන් රැකියාවෙන් මද විරාමයක් ගන්නා බව ය. එය පවා ක්ෂණිකව BBC පුවත් සේවයේ ශීර්ෂපාඨ මවන්නේ ඔහු එහි ‘සැබෑ චරිතයක්‘ වූ නිසා ය.

ඉදිරි මාසවලදී අලගෙයියා කීමෝතරෙපි සහ රේඩියෝතෙරපි ප්‍රතිකාරවලට මුහුණ දෙනු ඇති.

සැබෑ සංක්‍රමණිකයා

ජෝර්ජ් අලගෙයියා පිටපත ලියා දෙන තෙක් කියවිය යුතු පුවත සිතාගත නොහැකි වර්ගයේ නිවේදකයෙක් නොවේ. එයට හේතුව, සංක්‍රමණිකයෙකු ලෙස ලංකාවේ සිට එංගලන්තය බලා පැමිණීමේ සිට ඔහු තුළ වූ දේශපාලනික කියවීමයි. 2007 වසරේදී බීබීසී සේවය සමග එක් වූ ජෝර්ජ් අලගෙයියාට, පළමු නවකතාව ලියන්නට 60 පනින තෙක් සිටින්නට සිදුවීම රැකියාවේ කාර්යබහුලත්වය නිසා සිදුවූවක් විය යුතුය. දුප්පත්-දුෂ්කර රටවලින් එංගලන්තයට පැමිණෙන්නන්ගේ ජීවිත ගැන අලගෙයියා තුළ තිබුණේ සියුම් සහ විචක්ෂණ කියවීමකි. ඔහු ද ලබාතිබූ එම අත්දැකීම, වෙනත් ජාතිකයන් සමග ගළපන කලාව ඔහු දැන සිටියේය. 2020 දී ඔහු ලියූ The Burning Land නවකතාව දකුණු අප්‍රිකාවේ දූෂණය සහ මනුෂ්‍ය ඝාතන වටා ගෙතුණකි. අවසානයේ ඔහුගේ පළමු නවකතාවම Paul Torday memorial prize හි අවසන් වටයේ කෙටි ලැයිස්තුව සඳහා නිර්දේශ විය.

නමුත් අලගෙයියා නවකතා ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර සිය ජීවන අත්දැකීම් අළලා පොත් ගණනාවක් රචනා කළේය. 2006 වසරේදී මුල් වරට ප්‍රකාශයට පත් කළ A Home From Home: From Immigrant Boy to English Man හි අන්තර්ගත වන්නේ ලංකාවේ සිට එංගලන්තයට බලා ගිය අලගෙයියා, සංක්‍රමණිකයෙකු වශයෙන් මුහුණ දුන් අත්දැකීම් ය. ඔහුගේ අරගලය ය. 1967 වසරේ හැම්ෂයර් හි බෝඩිං පාසලකට දැමුණු කුඩා කොලුවා පෞද්ගලිකව අරගල රැසකට මුහුණ දුන්නේය. සියලු සංක්‍රමණිකයන් මුහුණ දෙන පොදු අරගලය ද ඒ තුළ විය. එනම්, අතීතය පසෙක තබා නව සංස්කෘතියකට හුරු වීමේ අරගලයයි. අලගෙයියා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ කාලය ද සුවිශේෂී ය. ඒ මහාබ්‍රිතාන්‍යය දේශපාලන රේස් පිටියක් බවට පත් වෙමින් තිබූ සමයයි. වර්ගවාදය-ජාතිවාදයට එරෙහිව සටන් කිරීම, බහුත්වවාදයේ සහ බහුසංස්කෘතිකත්වයේ සංකල්පය යැයි කියැවුණේය. නමුත් සිය පොත මගින් අලගෙයියා තර්ක කර සිටින්නේ මෙම බහුසංස්කෘතිකවාදය, ඒකාබද්ධතාවයට බාධාවක් විය හැකි බවයි. දුප්පත් කමේ ගිලුණු සහ තනි වූ ප්‍රජාවන් ගේටෝවන් බඳු සිරමැදිරිවලින් මුදා ගැනීමට නම් රාජ්‍ය මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

ඒ සියල්ලටමත් වඩා මේ පොත, සංක්‍රමණිකයාගේ අත්දැකීම මුදු ලෙස පවසන සහ එමගින් පාඨකයා අවදියෙන් තබන වියමනක් විය. ටැබ්ලොයිඩ් පත්තරවල සිරස්තල මවමින් මොර ගෑමට සීමා වී තිබූ සංක්‍රමණික ගැටළු පිළිබඳ ප්‍රධාන ධාරාවේ ග්‍රන්ථයක් තුළට ඔහු ගෙන ආවේය. ‘බ්‍රිතාන්‍ය අනන්‍යතාවය‘ තුළින් සංක්‍රමණිකයන්ගේ අනන්‍යතාවය යටපත් වීම පිළිබඳව ඔහු මතුකරන මතභේදාත්මක පැනය, නූතන ලංකාවේ බොහෝ සමාජ – දේශපාලන ගැටළු සම්බන්ධයෙන් ද එසේම වලංගු වන්නේ පොදු ජාතික අනන්‍යතාවයක් තුළින් පුද්ගලික අනන්‍යතාවයේ අයිතිය අභියෝගයට ලක් කිරීම පිළිබඳ සංවාදය ගෙන එමිනි.

සම්මා සතියෙන් සිටි දුබල මිනිසා

සිය තාවකාලික සමුගැන්ම ගැන වෘත්තිමය වශයෙන් දැනුම් දෙමින් ජෝර්ජ් අලගෙයියා තමන්ගේ ප්‍රවෘත්ති කාමරයට ලිපියක් යවා ඇත. එහි මෙසේ ද සඳහන් වේ. ‘‘working on the programme has kept me sane over the last few years’ …’I’m determined to come back’.”

‘‘ගතවූ වසර කිහිපය තුළ මා හොඳ සිහියෙන් තැබුවේ මේ වැඩසටහනයි… ආපසු ඒමට මම බලාපොරොත්තු වෙනවා..‘‘

ඔව්, නිසැක වශයෙන්ම ඔහු ආපසු ඒවි. අරගල බහුල සිය ජීවිතය තුළ  නිතරම‘හොඳ සිහියෙන්‘ හෙවත් ‘සම්මා සතියෙන්‘ සිටි මේ මිනිසා ඉක්මනින් ආපසු ඒවි. මේ සුව විරාමයෙන් පසු ඔහු යළිත් එන තෙක් එංගලන්තය සමග ඔහු උපන් ලංකාව ද බලා සිටියි.

යන බව දැන දැනම නැවත නැවතත් ආ – දුලබ මිනිසා ඔහු ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි