×

බෘනායි හි සමරිසි වරදට එරෙහිව සුපිරි නළු ජෝර්ජ් ක්ලූනිගෙන් කනේ පහරක් !

හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි සුපිරි හෝටල් 9 ක් වර්ජනය කිරීමට කැඳවයි !


පසුගියදා බෘනායි රාජ්‍යයේ ෂරියා නීතියට ප්‍රකාරව අප්‍රේල් මස මුල පටන් සමරිසි ප්‍රජාව ඉලක්ක කොට ගෙන ගල්පහර ගසා මරණ දණ්ඩනය ලබා දීමට ගත් තීන්දුවට විරෝධය පාමින් හොලිවුඩ් සුපිරි නළු ජෝර්ජ් ක්ලූනි ලන්ඩනයේ ඩෝචෙස්ටර් හෝටලය ඇතුළු මහ බ්‍රිතාන්‍යයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ප්‍රංශයේ හා ඉතාලියේ සුඛෝපභෝගී හෝටල් 9 ක වර්ජන කැඳවීමට පියවර ගෙන තිබේ. ලෝකප්‍රකට ඩෝචෙස්ටර් හෝටල් දාමයට අයත් මෙම හෝටල් සියල්ල බෘනායි රට සමඟ සබඳතා පවත්වන ඒවා බවට වාර්තා වෙයි.

“ඔවුනට ඔවුන්ගේම වල කපා ගන්නට ඉඩ දෙමු. ආශ්චර්යමත් ලෝකයක් ඉදිරියේ ඒකාධිපතිත්වය රජයන මෙවන් ප්‍රවෘත්ති ගෙන දෙන්නේ අපකීර්තියක්” ක්ලූනි සඳහන් කළේය.

මානව හිමිකම් පිළිබඳ කවදත් දැඩි කැපවීමක් හා උනන්දුවක් දැක්වූ හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි මහජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ භෘනායි රාජ්‍යය ගත් මෙම අමානුෂික තීන්දුවට විරෝධය පෑමට ඩෝචෙස්ටර් හෝටල් දාමයට අයත් මහ බ්‍රිතාන්‍යයේ හෝටල් 3 ක්, ඇමරිකා එක්සත් ජනපදයේ හෝටල් 2 ක්, ප්‍රංශයේ හෝටල් 2 ක් හා ඉතාලියේ හෝටල් 2 ක මෙලෙස වර්ජන කිරීමට සහයෝගය ලබා දෙන ලෙසයි.

ඩෝචෙස්ටර් (The Dorchester) යනු බෘනායි රාජ්‍යයේ මුදල් අමාත්‍යංශයේ ආයෝජන නියෝජිතායතනයේ ප්‍රතිපාදන මත නඩත්තු වන හෝටල් දාමයකි.

Dorchester Collection

“අමතක කරන්න එපා, අප කවුරුන් හෝ හමුවීමට හෝ ආහාරපාන ගැනීමට මෙම හෝටල් 9 න් එකකට ගොස් හිඳ ගන්නා සෑම අවස්ථාවකම අපේ මුදල් වැය කරන්නේ සමරිසි යැයි තම රටේම පිරිමි ප්‍රජාවට ගල් ගසා මරා දමන්න අණ දුන් රජයකට” ක්ලූනි අවධාරණය කළේය.

“මානව හිමිකම් උල්ලංඝනය කරන මේ වගේ රජයකට අපේ මුදල් ගෙවා සහයෝගය ලබා දෙන්න අවශ්‍යද ? අහිංසක ජනතාව මරා දමන්න අපි මුදල් ලබා දිය යුතුද ?”

“මා හට මෙම හෝටල් සංකීර්ණයේ සේවය කරන සේවකයන් සමඟ කිසිදු විරසකයක් නැහැ. මිනීමරු පාලන තන්ත්‍රයන් සමඟ වසර ගණනක් මුළුල්ලේ මා ලද අත්දැකීම්වලින් මට පැවසිය හැකියි ඔවුනට විරුද්ධව කිසිදු චෝදනාවක් කරන්න බැහැ. මම ඇඟිල්ල දිගු කරන්නේ බැංකු පද්ධතියට, මූල්‍ය කලමනාකරණයට හා මෙම අපරාධය ගණනකට නොගෙන ඔවුන් සමඟ සබඳතා පවත්වන අනෙකුත් ආයතනවලට.”

මීට පෙර අවස්ථාවකද ඩෝචෙස්ටර් හෝටල් දාමයේ කැලි‍ෆෝර්නියානු හෝටල් සංකීර්ණයක ද මෙවන් වර්ජනයක් දියත් වූ බව සඳහන් කරන ජෝර්ජ් ක්ලූනි පෙන්වා දෙන්නේ, එය යම්තාක් දුරකට සාර්ථක වූවත්, යහපත් එක් අරමුණක් වෙනුවෙන් නිකුත්වන කේන්තිය, අයහපත් අරමුණු සියයක් වෙනුවෙන් නිකුත් වන කේන්තියෙන් යටපත් වන බවත්, කාලයාගේ ඇවෑමෙන් සියල්ල අමතක වී ව්‍යාපාරය සුපුරුදු පරිදි ගෙන යෑම සිදුවන බවත්ය.

ගිනිකොන දිග ආසියාවේ ඉතා කුඩා රාජ්‍යයක් වන බෘනායි රාජ්‍යය, ෂරියා නීතිය රටෙහි නීතිය බවට ක්‍රියාත්මක කළ යුතු වන්නේ යැයි මුල්ම වරට ප්‍රකාශ කරන ලද්දේ 2013 වර්ෂයේදීය. මෑත ඉතිහාසය තුළ වඩාත් ගතානුගතික ඉස්ලාම් දැක්මක් අනුගමනය කරමින් සිටින බෘනායි රාජ්‍යය මේ අනුව ඉස්ලාම් නීති පද්ධතීන් තුළ නීතිය උල්ලංඝනය කරන්නන් හට දැඩි දරුණු දඬුවම් ලබා දීමට කටයුතු කරන බව පෙනී යයි.

ලොව ප්‍රමුඛ පෙලේ ධන කුවේරයකු වන බෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සනාල් බොල්කියාගේ සෘජු නියෝගයකට අනුව, අප්‍රේල් 03 වනදා පටන් මෙම අමානුෂික නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය. ඔහුගේ ප්‍රකාශයකට අනුව දණ්ඩ නීති සංග්‍රහය ෂරියා නීතියට ප්‍රකාර කිරීම බෘනායි රාජ්‍යය ලබා ගත් “විශාල ජයග්‍රහණයකි.”

එක්සත් රාජධානියේ විදේශ කාර්‍යාලය හා ජාත්‍යන්තර සංවර්ධන ලේකම් විසින් මෙම තීන්දුව දැඩි ලෙස හෙලා දැක තිබේ. බ්‍රිතාන්‍ය හමුදා බලකායක් බෘනායි රාජ්‍යය තුළ ස්ථානගත කර ඇති අතර, නිදහස් වෙළඳ කලාපයක් ඇති කර ගැනීම උදෙසා ඛනිජ තෙල් පොහොසත් රටක් ලෙස සැලකෙන බෘනායි රාජ්‍යය සමඟ සබඳතා ඇති කර ගැනීම මහ බ්‍රිතාන්‍යයේ ඉලක්කය වී තිබේ.

“දඬුවම් ලෙස අමානුෂික වධහිංසන ලබා දීම අපගේ ජාතික ප්‍රතිපත්තීන්වලට දැඩි ලෙස විරුද්ධයි. එවන් දඬුවම් මහ බ්‍රිතාන්‍යය තුළ අහෝසි කොට මේ වනවිට දශක ගණනක් ඉක්මවනවා. ආසියාව සඳහා අමාත්‍යවරයා හා මහ කොමසාරිස්වරයා මේ තීන්දුව පිළිබඳ තම මතය පුද්ගලිකවම ඔවුන් හමු වී පැවසුවා. බෘනායි රාජ්‍යෙයේ ක්‍රියාත්මක වන මෙම නව නීතීන් පිළිබඳ එරට ජීවත් වන බ්‍රිතාන්‍ය පුරවැසියන් හට අනතුරු ඇඟවීමට අප කටයුතු කර තිබෙනවා” එක්සත් රාජධානියේ විදේශ කාර්‍යාලය ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී පෙනී මෝර්ඩෝන්ට් ට්විටර් පණිවුඩයකින් ප්‍රකාශ කර සිටියේ, “කිසිවකුත් තමා ආදරය කරන්නේ කා හටද යන කරුණ මත මරණ දණ්ඩනයට ලක්විය යුතු නැත. බෘනායි ගත් මෙම තීන්දුව ම්ලේච්ඡයි. බ්‍රිතාන්‍යය LGBT+ ප්‍රජාව සමඟත්, ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නන් වෙනුවෙනුත් පෙනී සිටිනවා. LGBT+ හිමිකම් යනු මානව හිමිකම්ය” යනුවෙනි.

ඩෝචෙස්ටර් හෝටල් දාමයට අයත් බෙවර්ලි හිල්ස් හෝටල් සංකීර්ණයේ සන්නිවේදන අධ්‍යක්‍ෂ බ්‍රිට්නි විලියම්ස් ප්‍රකාශ කර සිටියේ, ඩෝචෙස්ටර් දාමයේ මෙහෙවර ප්‍රකාශය තුළ සියල්ලන්ට සමානාත්මතාවය, ගෞරවය හා අවංක සේවාව ලබා දීමට බැඳී සිටින බව පැහැදිලිව සඳහන් වන බවත්, තම පාරිභෝගිකයන් හා සේවකයන් හට හා ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයට දැඩි ලෙස ගරු කරන බවත්, කිසිදු ආකාරයක වෙනස්කොට සැලකීමක් අනුමත නොකරන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි