×

ජෝර්ජියානු අභිමානයේ දේදුනු තිර ලෙයින් තෙත්වෙයි – වියරු වැටුණු සමලිංගිකභීතිකයන්ගේ මැරප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා අවසන් ගමන් යයි!

මෙම ඡායාරූප ශිල්පියා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණය සැකකටයුතු බැවින් ඒ පිළිබඳව ගැඹුරු, අපක්ෂාපාතී සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරන ලෙස මාධ්‍යවේදී ප්‍රජාව එරට රජයෙන් ඉල්ලා සිටී.


මීට දින හයකට පෙර ජෝර්ජියාවේ සමරිසි විරෝධී පාගමනක් ආවරණය කරමින් සිටි පිර්වේලි ටීවී මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියකු වූ ඇලෙක්සැන්ඩර් ලෂ්කරාවා හට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

මෙම කැමරා ශිල්පියා පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණය සැකකටයුතු බැවින් ඒ පිළිබඳව ගැඹුරු, අපක්ෂාපාතී සහ විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකරන ලෙස මාධ්‍යවේදී ප්‍රජාව එරට රජයෙන් ඉල්ලා සිටී.

ඇලෙක්සැන්ඩර් ලෂ්කරාවාගේ මව විසින් ඉකුත් ඉරු දින උදෑසන ඔහු ඇඳ මත මියගොස් සිටිනු දැක ඇත. ජෝර්ජියානු විපක්ෂ මධ්‍යස්ථානයක් වන පිර්වේලි ටීවී මාධ්‍ය ආයතනයෙ හි කැමරා ශිල්පියකු වශයෙන් රැකියාවේ නිරත වූ ඇලෙක්සැන්ඩර් ඉකුත් ජූලි 05 වන දින මුහුණ පෑ අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ මුහුණේ අස්ථි බිඳීයාම හේතුවෙන් හදිසි සැත්කමකට බඳුන් වී ඇත.

ජෝර්ජියානු අගනුවර වන ටිබිලිසි හි පැවති එල්ජීබීටී ප්‍රජා අභිමානය සැමරීමේ පාගමනකට එරෙහිව සිදුකළ ප්‍රති-උද්ඝෝෂනයක් ආවරණය කරමින් සිටියදීයි ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. ඇලෙක්සැන්ඩර් ඇතුලු මාධ්‍යවේදීන් 52 දෙනෙකුට මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමලිංගික විරෝධී අන්තවාදීන් විසි දෙනෙකු පමණ ඇලෙක්සැන්ඩර් හට පහර දී ඇත. නමුත් මේ වනතුරු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් පස් දෙනෙකු පමණි.

මෙම ජනමාධ්‍යවේදියාගේ මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඉකුත් ඉරු දින දහවල් පැවති මාධ්‍ය හමුවකදී එම අමාත්‍යංශයේ මාධ්‍යප්‍රකාශකවරයකු පවසා සිටියේ නිවසේදී සිදුවූ මෙම මරණය මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම මත සිදුවූවක් බවයි.

මිය ගිය ඇලෙක්සැන්ඩර්ට ප්‍රතිකාර කළ සායනයේ වෛද්‍ය සේවාවන් ප්‍රමාණවත් ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

කෙසේවෙතත්, මෙම මරණය පිළිබඳ ජෝර්ජියාවේ රජයේ ස්ථාවරය පිළිබඳව සෑහීමකට පත් නොවන ඇලෙක්සැන්ඩර් ගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ මරණය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුකිරීමට වෙර දරමින් සිටී. ඇලෙක්සැන්ඩර් ගේ ඥාතීන් පවසන්නේ ඔහුට නාසයේ ලේ ගැලීමක් සිදුව ඇති බවත්, ඔහුගේ තුවාල හේතුවෙන් thromboembolism නම් රොගී තත්ත්වය ඇතිවූ බවට සැකකරන බවත් ය.

එරට අග්‍රාමාත්‍යවරයා විසින් ෆේස්බුක් සටහනක් තබා ඇදහිය නොහැකි ඛේදවාචකයක් ලෙස කණගාටුව පළකර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් රිපෝටර්ස් විත්අවුට් බෝඩර්ස් නම් මාධ්‍ය සංවිධානයේ නැගෙනහිර යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ ප්‍රධානී ජීන් කැවාලියර් අවධාරණය කර සිටියේ අභාවප්‍රාප්ත ඇලෙක්සැන්ඩර් අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරනවා වෙනුවට, අභ්‍යන්තර අමාත්‍යංශය ඔහුගේ මරණයට හේතු වූ කරුණු සෙවීමට සහ පොලීසිය ආරක්ෂා කිරීමට අපොහොසත් වූ මාධ්‍යවේදීන් හට එල්ල වූ මෙම මැර ප්‍රහාරය පිළිබඳව ගැඹුරු, අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

එමෙන්ම ඇලෙක්සැන්ඩර් ගේ මෙම මරණය ජෝර්ජියාවේ නිදහසේ විනාශකාරී සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවද එම සංවිධානය පෙන්වා දුන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි