×

ජර්මනිය ද අමානුශික ‘පරිවර්තන චිකිත්සාව’ තහනම් කරයි!

බර්ලින් නගරයේ පිහිටා ඇති මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් නම් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ වාර්ශිකව මෙවන් පරිවර්තන චිකිත්සා දහසක් පමණ ජර්මනියේ සිදුවන බවයි.


වෛද්‍ය විද්‍යාවේ හා මනෝවිද්‍යාවේ සියළු මූලික සෛද්ධාන්තයන් පවා උල්ලංඝනය කරමින් විවිධ ආගමික හා සංස්කෘතික බලපෑම් මත අදටත් ක්‍රියාත්මක වන මනෝ චිකිත්සක ක්‍රමවේදයක් වශයෙන් සැලකෙන පරිවර්තන චිකිත්සාව, නැතහොත් කන්වර්ෂන් තෙරපි, තහනම් කිරීමට ජර්මනිය ඓතිහාසික පියවරක් ගෙන තිබේ.

මෙම පරිවර්තන චිකිත්සා බොහෝ විට යොදාගනු ලබන්නේ සමරිසි ප්‍රජාවන් ඉලක්ක කොට ගෙන වන අතර, සමරිසි පුද්ගලයින් ගේ ලිංගික දිශානතිය ‘නිවැරදි’ කිරීමට මෙකී චිකිත්සක ක්‍රමවේදය භාවිතා කරන බවට පැවසේ.

එක් අතකින් පුද්ගලයකුගේ ලිංගික දිශානතියේ (Sexual Orientation) නිවැරදි කිරීමට ඇත්තේ දෙයක් නොමැති අතර, සමරිසිභාවය, විෂමරිසිභාවය, හෝ වෙනත් ලිංගික දිශානතියක් මානසික රෝගී තත්ත්වයක් යැයි වෛද්‍ය විද්‍යාවේ වර්ගීකරණය නොකරයි.

අනෙක් අතට, ඉහත කී පරිවර්තන ප්‍රතිකර්මයන් හි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති අතර, ලොව පුරා සමරිසි පුද්ගලයින් ඉලක්ක කොට ගෙන ඇති සිදුකොට ඇති පරිවර්තන චිකිත්සාවන් කිසිවක් ‘සාර්ථක’ වී නොමැත. මන්ද සාර්ථක වන්නට එවන් කිසිදු පුද්ගලයකු තුළ අසාර්ථකභාවයක් නොමැත.

ඊට අමතරව, පරිවර්තන චිකිත්සාව යනු ශාරීරීක වශයෙන් ඉතා හානිදායක මෙන්ම වේදනා ගෙන දෙන චිකිත්සා ක්‍රමවේදයක් බවට ද හැඳින්වේ. විවිධ මෝහන (hypnosis) ප්‍රතිකාර හෝ විද්‍යුත් කදම්භ (electric shock) ප්‍රතිකාර මෙහිදී යොදා ගනු බවට වාර්තා වේ.

ජර්මනිය ගත් තීන්දුව තුළින් ලිංගික දිශානතිය වෙනස් කරන්නේ ය යන මැයෙන් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් හට පරිවර්තන චිකිත්සාව යොදා ගැනීම සියළු මනෝවෛද්‍යවරුන්, මනෝචිකිත්සකවරුවන් හා වෛද්‍යවරුන් හට තහනම් වේ.

එමෙන්ම, මේ සම්බන්ධව සම්මත කර ගත් නීතිය අනුව, එකී නීතිය උල්ලංඝනය කරන තැනැත්තෙකු වසරක් දක්වා සිරදඬුවම් ලැබිය හැක්කේ හෝ යූරෝ 30,000 ක (ඇමරිකානු ඩොලර් 32,535ක) දඩයකට යටත් වේ.

ඉතිහාසය පුරා සමරිසි පරිවර්තන චිකිත්සා ආශ්‍රිත සිදුවීම් අධ්‍යයනය කිරීමෙන් පෙනී ගොස් ඇති කරුණක් වනුයේ එය එවන් ප්‍රතිකර්ම ලබා ගත් සේවාදායකයින්ගේ විශාධි තත්ත්වයන් උත්සන්න කිරීමටත්, ඇතැම් විට සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පත් කිරීමටත් බලපා ඇති බවයි.

ජර්මනිය විසින් මෙසේ සම්මත කර ගත් නීතිය ඔස්සේ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සිය ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව (Gender Identity) නිවැරදි කර ගැනීමට වෛද්‍ය සහාය පැතීම ද තහනම් කොට තිබේ.

මීට අමතරව කුමන අන්දමකින් හෝ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව සංශෝධනය කිරීම, පාලනය කිරීම, මර්දනය කිරීම හෝ සීමාකිරීම ආදී ඕනෑම කටයුත්තක් කිසිදු වෛද්‍ය පසුබිමක සිදුකිරීම ද එම නීතිය මඟින් තහනම් කොට තිබේ.

සිය දරුවන් එවන් චිකිත්සාවන් කෙරේ යොමුකිරීමට කටයුතු කරන දෙමාපියන් හෝ නීතිමය භාරකරුවන් හට ද මෙම නීතිය මඟින් දඬුවම් පැනවීමට කටයුතු කොට තිබේ.

මෙම ඓතිහාසික තීන්දුව ලබා දුන් නීතිය කෙටුම්පත් කිරීම පිළිබඳ පළමුවරට හෙළිකරනු ලැබුවේ ඇන්ජෙලා මර්කල් ගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රැට් පක්ෂයේ සාමාජිකයකු වන වත්මන් ජර්මානු සෞඛ්‍යය අමාත්‍ය ස්පාහ්න් මහතා විසින් ඉකුත් ජූනි මස දී ය. එය කෙටුම්පත් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් මසදී ය.

කෙසේවෙතත්, ස්පාහ්න් මහතා පෙන්වා දුන්නේ මෙම තීන්දුව අධිකරණය තුළ මතුවීමට ඇති අභියෝග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් නීති සම්පාදනයක් අවශ්‍ය වන බවයි. ඒ තුළින් වැඩිහිටි පුද්ගලයින් විසින් දරුවන් වෙත එල්ල කිරීමට ඉඩ ඇති බලපෑම අවම කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ජර්මනිය ගත් ඓතිහාසික තීන්දුවට එදිරිව ආගමික කණ්ඩායම් වල බලපෑම නුදුරේදී ම එල්ල වනු ඇති බවට නියත ය. මීට අමතරව මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ අදාළ නීතිය ජර්මනියේ LGBTIQ ප්‍රජාව ආරක්ෂා කිරීමට ගනු ලැබූ ඓතිහාසික තීන්දුවක් වූවද, එහි සඳහන් වයස් සීමාව මේ සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව නීතිය මඟින් අනුමත වයස 18 ට වඩා ඉහළ වයස් කාණ්ඩ සඳහා ද මෙය අදාළ විය යුතු බවට එම පාර්ශව පෙන්වා දෙයි. ජර්මනියේ වාමාංශික දේශපාලන ධාරාව පෙන්වා දෙන්නේ මෙකී වයස් සීමාව අවම 27 දක්වා වත් ඉහළ යා යුතු බවයි.

වර්තමානය තුළ පවා ජර්මනියේ සමරිසි ප්‍රජාව ඉලක්ක කොටගත් පරිවර්තන චිකිත්සා බොහෝ සිදුවන බවට තොරතුරු වාර්තා වේ. බර්ලින් නගරයේ පිහිටා ඇති මැග්නස් හර්ෂ්ෆෙල්ඩ් නම් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන්නේ වාර්ශිකව මෙවන් පරිවර්තන චිකිත්සා දහසක් පමණ ජර්මනියේ සිදුවන බවයි.

මේ වන විට ස්විට්සර්ලන්තය, හා ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් කලාප වල මෙම චිකිත්සා ක්‍රමවේදය නීතිය මඟින් තහනම් කොට තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි