×

ඉතිහාසයේ ප්‍රථම වරට යුරෝපා කොමිසමේ මුල් පුටුව කාන්තාවකට

ඇය ජර්මන් ජාතික උර්සුලා වෙන් ඩර් ලෙයාන්ය.



යුරෝපා කොමිසමේ මුල් පුටුව සදහා ප්‍රථම වරට කාන්තාවක තේරී පත් වී ඇත‍.

ඇය ජර්මන් ජාතික උර්සුලා වෙන් ඩර් ලෙයාන්ය. යුරොපා සංගම් මන්ත්‍රීවරුන් 383කගේ වැඩි ඡන්දයෙන් ඈව මෙම තනතුර සදහා තේරී පත් විය. යුරෝපියානු පාර්ලිමේන්තුවේ නිල ඡන්ද 747 අතරින් 374 දෙනෙකුගේ ජන්දය ජයග්‍රහණය සදහා ඇයට අවශ්‍යව තිබිණි.

60 හැවිරිදි උර්සුලා වොන්ඩර් ලෙයෙන් 2013 වසරේ සිට 2019 වසර දක්වා ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇති අතර භාෂා කිහිපයක් කථා කළ හැකි දරුවන් 7 දෙනෙකුගේ මවකි. සමාජ සුභ සාධනය සම්බන්ධව ක්‍රියාකාරිනියක් ලෙසද අත්දැකීම් බහුල ඇය කාන්තා අයිති වාසිකම් සහ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් වෙහෙස වූ අයෙකි.

ඇය වසර 5 ක් සඳහා යුරෝපා කොමිසමේ සභාපතිත්වය උසුළනු ඇත.

මොකක්ද මේ යුරෝපා සංගමය සහ යුරෝපා කොමිසම?

යුරෝපා සංගමය ( European Union) හි විධායක ශාඛාව වන්නේ යුරෝපා කොමිසම (European Commission ) යි. යුරෝපය කේන්ද්‍රීය කර ගත් ප්‍රධානතම ආර්ථික සහ දේශපාලන බලවේගය මෙය වේ. මෙහි සාමාජික රාජ්‍යයන් ගණන 28 කි. ඒ අනුව මිලියන 513 ක ජනගහනයක් යුරෝපා සංගමයට අයත් ය.

‘බ්‍රෙක්සිට්‘ යන්න පසුගිය කාලවලදී සහ තවමත් මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය ගැන කියවෙන විට කියැවුණු යෙදුමකි. මෙහිදී සිදුව තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ ඉහත කී දේශපාලන සහ ආර්ථික පාලනයෙන් මිදී ස්වාධීන විය යුතුය යන්නයි. බ්‍රිටිෂ් + එක්සිට් යන්නෙන් බ්‍රෙක්සිට් යන්න තැනී ඇත.

1993 වසරේදී පිහිටුවා ගත් යුරෝපා සංගමයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ය.

මේ අතර, මෙකී යුරෝපා සංගමයේ විධායක ශාඛාව යුරෝපා කොමිසම වන නිසාම, යුරෝපා කොමිසමේ සභාපති ධුරය දරන තැනැත්තා හෝ තැනැත්තිය වෙත අති විශාල වගකීමක් පැවරේ. යුරෝපා කොමිසමේ කොමසාරිස්වරුන්ගෙන් සමන්විත කැබිනට්ටුව මෙහෙයවිය යුත්තේ සභාපති විසිනි. මෙම යුරෝපා කැබිනට්ටුව, යුරෝපා පාර්ලිමේන්තුව වෙත සාමූහික වගකීමකින් බැඳී සිටියි. තවද විදේශයන් හි යුරෝපා සංගමය නිල වශයෙන් නියෝජනය කිරීමේ කාර්යභාරයක් ද යුරෝපා සංගමය වෙත පැවරේ.

යුරෝපා කොමිසමේ සභාපති ධුරය සඳහා නාම යෝජනා ලබා දෙන්නේ යුරෝපියානු කවුන්සිලය ( European Council  ) විසිනි. ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක තේරී පත් වී ඇති මෙම යුරෝපා කොමිසමේ සභාපති ධුරය ස්ථාපිත කරනු ලැබුවේ යුරෝපා කොමිසම පිහිටවූ 1958 වසරේදී ය. යුරෝපා සංගමයේ මෙන්ම යුරෝපා කොමිසමේ ද මූලස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ය.

යුරෝපා කොමිසමේ සභාපති ධුරය සඳහා තෝරාපත් වීම් සිදුකරන්නේ යුරෝපියානු පාර්ලිමේන්තුව මගිනි. මෙවර තේරී පත් වූ උර්සුලා වෙන් ඩර් ලෙයාන් ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික අවකාශය තුළ විශාල බලපෑමක් කළ හැකි කාන්තාවක බවට පත්වන්නේ ඉහත කී පසුබිම ද තුළ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි