×

භූතයෙක් නොවූ භූතයා

කපිතාන් මාටින් කැයිඩින් විසින් ගෙන එන පිටකොන්ද ශීතල කරන අද්භූත අහස් කතා එකතුව කොටස් වශයෙන්


හිරු අවරට යන්නේ දිනය අපර භාගයට ගෙන යමිනි. එම 1927 සැප්තැම්බර් දිනය සුවපහසු දිනයකි. මිහිදුම් සළුවක් අවේලාවට පොළොවට පහත් වී තිබේ. මධ්‍යතන යුගයේ බිත්තිවලින් පවුරු බැඳි එම ඉපැරණි ට්‍රෝතාන් නගරය විස්ට්‍රලා ගංගාවේ දකුණු ඉවුර මත පිහිටා තිබුණේය. නගරයේ එක් පසෙකින් වූයේ ගිනිකොණදිග පිහිටි – පෝලන්ත අගනගරය වන වෝර්සෝවයි. අනෙක් පස, උතුරු දිග මහා වරාය වූ ග්ඩ්‍රැන්ස්ක් පිහිටියේය. දරුණු, ම්ලේච්ඡ පළමු ලෝක යුද්ධය අහවර වී ගෙවී ගොස් තිබුණේ අට වසරක් පමණි. එහෙත් දහහතර හැවිරිදි නව යොවුන් තරුණයාගේ දෑස් ඉදිරිපිට පැතිර තිබුණේ පියකරු ලොවකි.

ගතව තිබූ අතීතයේ භීමජනක ලෙස මරු වැළඳගත්තවුන්ගේ ප්‍රමාණය අධිකය. මරණයට සමීප වී අවසාන මොහොතේ දිවි ගලවා ගැනීමට සමත් වූවන්ගේ ප්‍රමාණය ද එපමණටම අධිකය. එහෙත් මේ සියල්ල අතීතයට අයිති දේවල්ය. අතීතය යනු අතීතය ම ය. ඔබ අහසේදි සර්ව සුබවාදී විය යුතු ය. සියල්ල සිදුවන්නේ තමාගේ යහපතට යැයි සිතිය යුතුය. හරියට සූර්යයා මෙනි. දීප්තිමත්ව හා පැහැදිලිව ක්‍රමයෙන් වර්ධනය වෙමින් නැගෙන සූර්යයා අනාගතයේ උෂ්ණය වැඩි කර දමයි.1918 දී අවසන් වූ පළමු ලෝක යුද්ධය නිසා කොතෙක් දෑ සිදුවුණිද? පර්සියාවේ, ඔස්ට්‍රියාවේ හා රුසියාවේ යකඩ සපත්තුවලට පෑගී මගේ මව්රට – ඇමරිකාව අවුරුදු එකසිය පණහකින් ආපස්සට ගියේය.

එහි සිහිවටන බොහොමයක් අප සතුව තිබේ. අප අතර තිබේ. එය ඔබට ගැයීමට මට හැකිය. ඒ අතර ම ඔබට විස්තර කර දිය යුතු අලුත් ජීවිතයක් ද මට තිබේ. එය නම්, මේ පවුරු බැඳි රාජ්‍යයෙන් පිටතට විහිදුණු අතිශය ආකර්ෂණීය අහස් කුස නමැති කාන්දමයි.

එම ආගන්තුකයා එවකට මා මෙන්ම නෑඹුල් තරුණයෙකි.

ඔහුගෙන් මට ලැබුණේ අහස් යාත්‍රිකයෙකුට තම ජීවිත කාලය තුළදී ලෙහෙසියෙන් ලබාගත නොහැකි තරම් අගනා වාර්තාවකි. මුලින් මා ඔබට ඔහු හඳුන්වා දිය යුතුය. කැනඩාවේ ඔස්ටාරියෝහි ගුවන් කපිතාන් ටැඩ් ගැලර් වන ඔහු, පර්යේෂණ ගුවන් යානා සංගමයේ (Experimental Aircraft Association) සාමාජිකයෙකි. ඔහුගේ සාමාජික අංකය 60771 ය. හැත්තෑ අට හැවිරිදි ඔහු, තම ජීවිතයේ වසර පණස් පහක්ම කැප කර තිබුණේ පියාසැරිය සඳහා ය. මෙවැන්නෝ ගුවන්යානය සමග ඉහළ අහසේදි සූදු ක්‍රීඩා කර, එම භයානක අත්දැකීම් අපට කීමට පණ බේරාගත් පුද්ගලයෝය. ගුවන් යානා ආප්තෝපදේශය මතක තබා ගන්න. “ඔබ ඔබේ ගුවන් යානය සමග මුසා බස් දෙඩුවොත් එය ඔබ මරා දමනු ඇත.’’

අපි මේ පිටු අතරින් ටැඩ් ගැලර් මුණගැසෙමු. “භූතයෙක්, නොවූ භූතයා’’ගේ අත්දැකීමට මුහුණ දුන්නේ ඔහු ය.

කපිතාන් ටැඩ් ගැලර්ගේ ප්‍රකාශය

වසර දහස් ගණනක සිට පක්ෂීන් මෙන් අහස සිසාරා පියාසර කිරීමට මිනිසා සිහින මැවූ බව මම දැන සිටියෙමි. ලිලියන්තල් සහ රයිට් දෙසොහොයුරන් එම සිහිනය සැබෑ කරගත්තේ ගෙවී ගිය දශක දෙක තුනක කාලය තුළදී ය. මෙයට පස් මසකට පෙර මහා ඇමරිකානු ගුවන් නියමු චාල්ස් ලින්ඩ්බර්ග්, අත්ලාන්තික් සයුර හරහා නිව්යෝකයේ සිට පැරිස් නගරයට පියාසර කළේය. ඒවා මා දැන සිටි දේවල්ය. එහෙත් දහහතර හැවිරිදි කොලු ගැටයෙකුට ඒ දැනීමෙන් කළ හැක්කේ මොනවාද? එවකට මම ද පක්ෂිකයෙකු මෙන් අහසේ පියාසර කිරීමට සිහින මවමින් සිටියෙමි. එහෙත් ඒ සිහින සැබෑ කර ගැනීමට මා කුමක් කළ යුතුද?

හොඳයි. මා කළේ ද බොහෝ ළාබාලයින් මෙවැනි සිහින සැබෑ කිරීමට කරන දෙයයි. මම සෙල්ලම් ගුවන් යානා තැනුවෙමි. ඒවා ක්‍රීඩා භාණ්ඩවලටත් වඩා ආකෘතික අත්හදාබැලීම් ය. අවස්ථාවක් ලද විගස මා පන්ති කාමරයෙන් ලිස්සා ගියේ ගුවන් පථවල ඇවිදීම සඳහා ය. ගුවන් ගමන්වල ආරම්භක යුගය වූ එකල “අහසේ පියාසර කිරීම’’ හමුදාමය කටයුත්තක් විය. එහෙත් එයින් අධෛර්යය නොවිය යුතුය. සය වසරකින්, සමහර විට වසර පහකින් ප්‍රහාරක ගුවන් නියමුවෙකු වීමට මට ද බැරිකමක් නැත. එවිට ම ද වීරයෙකි.

අද ජීවිත කාලයෙන් වසර හැත්තෑ අටක් ගෙවා ඇති, එයින් ද වසර පණස් පහක්ම පියාඹා ඇති මම, එම ගුවන් නියමු උමතුව ජීවිතයේ මෙතරම් දුරකට මගේ ඉරණම තල්ලු කිරීම ගැන මවිතයට පත් වෙමි.

ස්ටැන් සිඩෝර් යනු මගේ හොඳ ම පාසල් සගයා මෙන්ම මගේ කදිම මිතුරෙක් ද විය. ඔහුට ද මා තරමටම ගුවන් නියමු උමතුව වැලඳී තිබිණි. ඔහුගේ පියා අප නගරයේ පිහිටා තිබූ ගුවන් තොටුපොළේ කළමනාකරුවෙකු ලෙස සේවය කළෙන් ඔහු හරහා මෙම ක්ෂේත්‍රයේ සියලු ‘ආසියන්’ගේ නම් ගම් අපි ඉතා ඉක්මනින් සොයා ගත්තෙමු. එහෙත් කිසි විටෙක පමණට වඩා මගේ උනන්දු සහගත බව නොපෙන්වීමට මම ප්‍රවේශම් වීමි. ඒ නිසා කිසිවෙකු මගේ නියම හැඟීම් දැන නොසිටින්නට ඇත.

ගුවන් තොටුපොළේ පිහිටා තිබූ ගුවන් හමුදා ඒකකයේ තිරස් ප්‍රහාරක යාත්‍රාව වූයේ ‘ස්පැඩ් 61’යි. ‘නියුපොට්’, ‘කෝඩ්‍රෝන්’, ‘මෝරාන්’, ‘හෙන්රොයිට්’ සහ ‘බැලිලා’ ප්‍රහාරක ගුවන් යානා ද එහි පුහුණුවීම් කටයුතුවල යෙදිණි.

මෝරාන් හැර ඉතිරි සියල්ලම ද්විත්ව ප්‍රහාරක යානා ය. දිගු වලිග සහිත ඒවා අශ්ව බල 150 සිට 450 දක්වා ප්‍රමාණවලින් ක්‍රියාත්මක විය. මේ සියල්ලෙන් ම නරක ම පෙනුම තිබුණේ ඉතාලි බැලිලා යානයටය. එහි ‘හොට’ උතුරු ඇමරිකානු ගෝනෙකුගේ නාසය මෙනි. තුනී පියාපත් පමණට වඩා කුඩාය. එය පියැසරිය පහසු කිරීමට යෙදු උපක්‍රමයෙකැයි ගුවන් නියමුවෝ කීවෝ ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරය ද එය රහසේ පිළිකුල් කළ බවට සැක නැත. ඔවුහු බොහෝ විට එහි කන් බිහිරි කරවන අධික ශබ්දය ගැන ද චෝදනා කළහ.

පළමු ලෝක යුද්ධය අවසානයේ පැවති තත්ත්වය අද තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් එකක් නම් නොවේ. ප්‍රහාරක ගුවන් යානා නිපදවීමට ගුවන්යානා විශේෂඥයින්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු විය. අද මෙවැනි දේ සඳහා ත්‍රිමාණ පරිගණක විශ්ලේෂණ ක්‍රම යොදාගැනෙයි. එහෙත් අතීතයේ ඔවුන් කළ බොහෝ නිපදවීම් තැත වරද ක්‍රමයේ ප්‍රතිඵලයන්ය. මෙහිදී ඉතාලි ජාතිකයින් කළ එක් නිරීක්ෂණයක් වූයේ ප්‍රහාරයකදී යානයේ තටු වඩාත් කුඩා නම් එයට ඉක්මනින් පලා යා හැකි බවයි. එසේ ම තටු තුනී වත්ම එම වේගය තවත් ඉහළ යන බවයි.

ඉතාලි බැලිලා යානය තනනු ලැබුවේ ඉහත කී ලක්ෂණ දෙක ම ගැබ් කරමිනි. එම අත්හදා බැලීම සාර්ථක වූයෙන් පශ්චාත් පළමු ලෝක යුධ සමයේ දී බොහෝ රටවල් ආරක්ෂක යුධෝපක්‍රමයක් ලෙස සලකා ඉතාලි බැලිලා යානා මිලදී ගත්හ.

එදා පටන් අද දක්වාම ඉතාලි බැලිලා යානයට ඇත්තේ අධික ඉල්ලුමකි. එහෙත් අහසේ කරණම් ගැසීමේදී බැලිලා යානය එතරම් සමත්කම් නොපෙන්වීය. ඒ නිසා නියමුවාගේ සුළු අත්වැරදීමකින් වුවද යානය පාලනයෙන් ගිලිහීමට ඉඩ ඇතැයිද මම සිතමි. එවිට එක්වරම යානයේ එක් තටුවක් ඉහළට යොමු වන විට අනෙක් තටුව පහළට නැඹුරු වෙයි. එය මරණීය අනතුරකි. මේ තත්ත්වයට ගොදුරු වන නියමුවාට මේ වෙනස අවබෝධ කර ගැනීමට ද ප්‍රමාණවත් කාලයක් නොලැබෙයි. ඔහු ප්‍රතිචාරය දැක්වීමට ද පෙර බැලිලා යානය දෝලනය වෙමින් ඉතා වේගයෙන් හා අති බිහිසුණු ලෙස කුන්දු ගසන්නට පටන් ගනු ඇත. නිශ්චල වාතය තුලදී මෙන්ම කැලඹිලි සහිත වායුගෝලයේ දී ද මෙවැන්නක් සිදුවීමට හොඳින්ම ඉඩකඩ තිබේ.

මෙහි ප්‍රතිඵලය යානය කොයි මොහොතේ හෝ පොළොවට කඩා වැටෙන තෙක්ම එහි එන්ජිම ක්‍රියාත්මක වී තිබීමයි. එවිට ගුවන් නියමුවාගේ නියත ඉරණම මරණයයි. එකල පැරෂුට් භාවිතය එතරම් ප්‍රචලිත නොවීය. එහෙත් මා ඔබට විස්තර කිරීමට යන මේ සිදුවීම වූ වසරට පසු වසරේ එනම් 1928 දී ජීවිතාරක්ෂක උපක්‍රමයක් ලෙස පැරෂුට් භාවිතය අනිවාර්යය කරන ලදී.

මා මගේ දෙමව්පියන් ද සමග ජීවත් වූයේ උපනාගරික බටහිර ප්‍රදේශයේ ය. ගුවන් පථය එයට කිලෝමීටර් දෙකක් නුදුරින් පිහිටා තිබිණි. ප්‍රධාන පාරේ පසෙකින් පිහිටා තිබූ අපේ නිවස හොඳින් සැලසුම් කළ එකකි. එහි ගෘහ නිර්මාණ ශිල්පියා බිම් මහලේම වාසය කළේය. පළමු මහලේ ගොඩනැගිලි දෙකක් වූ අතර එයින් එකක් වූයේ අප පදිංචිව සිටි නිවසයි. නිවස ඉදිරිපිට කුඩා උද්‍යානයකි. උද්‍යානය ඉදිරිපස කුඩාවුන් සඳහා ක්‍රීඩාංගනයක් ඉදිකර තිබිණි.

උද්‍යානය වීදියෙන් වෙන් වූයේ විශාල වැටකිනි. වීදියෙ අනෙක් පස, වරක් විශාල වෙළෙඳ සංකීර්ණයක් ලෙස භාවිත කළ උස් ගොඩනැගිල්ලක් පිහිටියේය. ගෘහ නිර්මාණ ශිල්පියා තම අතිකාල සේවය කැප කරමින් එම වෙළෙඳ සල යළිත් ප්‍රතිසංස්කරණය කර තිබුණෙන් එය නගර වැසියන්ගේ නිරන්තර පැසසුමට ලක් විය. දැන් එහි ගබඩා කාමර රැසක්ද, රෙදි සෝදනාගාරයක් ද, විවේකාගාරයක් ද ඈත කෙළවර ගෘහ නිර්මාණ ශිල්පියාගේ අසු දිගේලි කරන ඉස්තාලයක් ද විය. ගොඩනැගිල්ලේ සෑම දොරටුවකට ම නැවක ආලෝක කවුළුව වැනි කවාකාර ජනේලයක් සවිකර තිබිණි.

දැන් අපි 1927 සැප්තැම්බර් 20 වන අඟහරුවාදා දිනයට පැමිණෙමු. අහස අඳුරු ය. ඝනකම්ය. පැහැදිලිව ම එදින අපැහැදිලි දිනයකි. අවර දිගින් සැඩ සුළඟක් හමා ආවේ තවමත් කොළ පැහැති ව තිබූ පත්‍ර පවා රිකිලිවලින් වෙන් කරමිනි. බටහිර යුරෝපයේ ප්‍රචණ්ඩතම කුණාටුව පැමිණීමට සියල්ල සැකසෙන බව මට නම් නිසැකය.

මා සිහිනයක් දකින්නට පෙර රාත්‍රිය පැමිණියේය.

නිතරම සිහිනයක වැඩි විස්තර අපැහැදිලිය. විකෘති ය. අපට ඉතාම හුරුපුරුදු වටපිටාවන් පවා එහි දිස්වන්නේ නුහුරු ලෙසය. එහෙත් මා දුටු සිහිනය නම් ඉතාම පැහැදිලි එකකි. එහි පරිසරය පවා තාත්වික ආකාරයට දිස් විය. සිහිනයෙහි මා නිවසින් පිටත් වූයේ පාසල් යන්නටය. සුළං හමමින් තිබුණේත් අළු පැහැ ආලෝකය පැතිරී තිබුණේත් එය අළුයමක් බව හඟවමිනි. නිවසේ දොර වසා දැමූ මම පිටත බැලුවෙමි. එවිට මගේ නෙත ගැටුණේ අළු පැහැති, ඡායාමාත්‍රික පුද්ගලයෙකු අපේ උද්‍යානය හරහා පිය මනින ආකාරයයි. මා එදෙසට හැරුණේ ඔහු වඩාත් හොඳින් දැක බලාගැනීම සඳහාය. ඔහු හැඳ සිටියේ අජටාකාශ නිල ඇඳුමකි. මුහුණ අසාමාන්‍ය ලෙස රැළි වැටී තිබේ. ඔහු ඇවිදිනවාට වඩා පාවෙමින් සිටින බව මම දුටුවෙමි.

මගේ සිතිවිලි බියපත්ව ඒ මේ අත දිව ගියේය. ගුවන් නියමුවෙකු අපේ ගෙවත්තේ කුමක් කනේන්ද! ඊළඟ මොහොතේ ගුවන් නියමුවා අපේ කුඩා ගබඩා කාමරයේ ලී දොර හරහා ගමන් කළේය. මම භීතියෙන් භීතියට පත්වීමි. ඔහු එසේ ගමන් කළේ එය වසා තිබියදීය. මගේ ඇඟෙහි රෝම කෙලින් විය. භීතියෙන් මුසපත් වූ මම දොරකඩ ම පාෂාණීභූත වීමි.

ගබඩා කාමරවල දොරටුවලට සවි කර තිබූ කුඩා රවුම් කවුළුවලින් එය කුමක්ද? කවුද? යන්න මට බලා ගැනීමට පුළුවන. එය දකුණට හැරුණේය. ඉන් පසු අනෙකුත් ගබඩා කාමරවලත් ලොන්ඩරිවලත් බිත්ති හරහා ද ගමන් කළේය. යළි දකුණට හැරී ඉදිරිපස බිත්තිය හරහා උද්‍යානයට ආ එය මඳක් හැකිළෙමින් මෙන් සිට ඉන් පසු එක එල්ලේ මවෙත හැරුණේ ය.

ඒ, ලුතිනන් ඩුච්නියෙව්ස්කි ය.! මම සෙලවීමට ද අපොහොසත් වෙමින් එතැන ම ගල් ගැසී සිටියෙමි. මට ඒ මුහුණ ඉතා පැහැදිලිව දිස් වෙයි. විශාල ශීතලක් හා වෙව්ළුමක් විසින් මා ගිලගෙන තිබේ. මා අවදි වුණේ ගැස්සී උඩ විසි වී යමිනි. මගේ හදවත, පපු කුහරය තුළ පෙරලි කළේය. පිට කොන්ද දිගේ තද ශීතලක් ඇදීගෙන ගියේය. ඉන් පසු මා දුටුවේ මගේ මව මවෙත නැඹුරු වී මෙතරම් වේදනාවෙන් දැගලීමට තරම් මට කුමක් වූයේ දැයි විමසන ආකාරයයි.

මම හිස සෙළවීමි. “මට මොකුත් වුණේ නෑ අම්මා’’ කිහිප වතාවක්ම කෙල ගිලීමට තැත් කළ මම එය සාර්ථක වූ වහා ඇයට කීවෙමි. “මම අවතාරයක් දැක්කා.’’

මවගේ මුහුණේ අනතුරක සේයාවක් ඇදී ගියේය. “මොන අවතාරයක්ද? මට කියන්න ඉක්මනට!’’

“ලුතිනන් ඩුච්නියෙව්ස්කිගේ අවතාරෙ’’ මම කීවෙමි.

“ලුතිනන් ඩුච්නියෙව්ස්කි කියන්නෙ කවුද? ඔයා ඔහුව දන්නවද? ඔහු ඔයාව දන්නවද? ඔහු මැරුණෙ කවදාද…?’’

“ඔහු මිය ගිහින් නෑ අම්මේ…!’’ ඇගේ ප්‍රශ්නාවලිය නැවැත්වීම පිණිස මම වහා කීවෙමි. “ඔහු තාම මැරිලා නෑ. ඔහු බොහොම හොඳින් ජීවතුන් අතර ඉන්නවා.’’

ඈ මදෙස මවිතයෙන් බලා සිටියායා. “ඔයාට කොහෙදිද මේ මිනිහ මුණගැහුණෙ?’’

“මට මුණගැහිල නෑ. දන්නවද?’’ මම එය විස්තර කළෙමි. “පසුගිය සිකුරාදා ඉස්කෝලෙ විවේක කාලෙදි අපට අවමංගල්‍ය සංගීතයක් ඇහුණා. ඒක චෙපින්ගෙ අවමංගල්‍ය පෙරහැර. විවේක කාලය නිසා මමයි ස්ටැනුයි ඒක බලන්න දුවගෙන ගියා. ඒක හරි ම සංවේදී මොහොතක්. මේ දැනුත් මට ඒක මතක් කරගන්න පුළුවනි. විශාලහමුදා වාද්‍ය කණ්ඩායම ඉස්සරහින්ම ගියෙ බොල් හඬක් නගන ඩ්‍රම් කිහිපයක්. මෝරාන් ප්‍රහාරක යානයෙ රාමුවක මිනී පෙට්ටිය වසා තිබුණා. යානයේ තටු හැකිළිලා. මේ හැම දේම වැහිල තිබුණෙ මල්වලිනුයි, මල් වඩම්වලිනුයි. අශ්වයො ජෝඩු හතරක් මිනී පෙට්ටියයි, ගුවන් යානයයි ඇදගෙන ගියා.’’

“කරත්තයට පිටුපස්සෙන් ගමන් කළේ පවුලේ අය ඥාතීන් සහ හිතමිතුරන්. ඒ අයට පිටුපසින් ගුවන් හමුදා නිලධාරීන් හා ගුවන් යානා නියමුවන්. ස්ටැන් මට කිව් හැටියට මිය ගිහින් තිබුණේ මූලස්ථානයෙ හිටි දක්ෂතම ප්‍රහාරක ගුවන් යානා හසුරුවන්නෙක්. ඔහුගෙ යානය එන්ජිම එක් වරම ක්‍රියා විරහිත වෙලා. ඒකයි හේතුව. නමුත් මිය ගිහින් තිබුණේ යානයෙ ප්‍රධාන නියමුව විතරයි. සහායක ගුවන් නියමුවා පණ බේරාගෙන. ඔහු දැන් රෝහලේ. ඔහුගෙ තුවාලත් සුව වෙන්න ළඟයි. අවමංගල්‍ය පෙරහැර නරඹද්දි ගුවන් නියමුවො අපි දිහා හොඳට බලාගෙන හිටිය. ඒ අතරින් එක් අයෙකුට තිබුණෙ මට හොඳට දැකල පුරුදු මුහුණුවරක්. ඔහුව අඳුනනවාද කියලා ඇහුවහම ස්ටැන් කිව්වා ඔහු ලුතිනන් ඩුච්නියෙව්ස්කි කියලා. ඩුච්නියෙව්ස්කි ඒ මූලස්ථානෙ සේවයට ඇවිත් ගත වෙලා තිබුණෙ සති දෙකක් විතරයි.’’

මගේ මව මිනිත්තු කිහිපයක්ම මදෙස මවිතයෙන් මෙන් බලා සිටියා. “එහෙනම් ලුතිනන් ඩුච්නියෙව්ස්කි ජීවතුන් අතර’’ ඇය අන්තිමේදී කීවාය.

මම එය අනුමත කළෙමි. “ඔව්. ඒත් කොහොමද මට ඔහුගෙ අවතාරෙ පෙනුණෙ? ජීවතුන් අතර ඉන්නා කෙනෙකුට අවතාරයක් වෙන්න පුළුවන්ද?’’ මම මහත් අපහසුවෙන් ඇසුවෙමි.

“මට ඇහුම්කන් දෙන්න ටැඩ්’’ ඇය තරයේ කීවාය. “ඔයා දැක්කෙ අවතාරයක් නෙවෙයි. ඒක මොකක්ද කියන්න මම දන්නෙ නෑ. අවතාර තියෙන්න පුළුවනි. ඒත් ඒ මැරුණු මිනිස්සුන්ගෙ. අවතාර බවට පත්වෙන සමහරු මෑතකදි මිය ගිය අය. තවත් සමහරු ශත වර්ෂ ගණනාවකට කලින් මිය ගිය අය. අවුරුදු දහස් ගණනකට කලින් වෙන්නත් පුළුවනි. නමුත් ඒවා ඔයා දැකපු දෙයට අදාළ නෑ. ඒක අමතක කරලා දාන්න.’’ එසේ පවසමින් ඇය ඉවත ගියේ ඉතිරි ව තිබූ පැය දෙක සුවසේ නිදාගන්නැයි මට පවසමිනි.

නැත. ඇයට වැරදිණි. සැබවින්ම ජීවතුන් අතර සිටින අයට පවා අවතාර බවට පත්වීමට පුළුවන්කම තිබේ. අවසන් කොටස හෙට කියවමු.

පෙර ලිපි-

කැබින් කාමරයේ සිහිසුන් තරුණිය – 1 කොටස

කැබින් කාමරයේ සිහිසුන් තරුණිය – අවසන් කොටස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි