×

යෝධ පැන්ඩාවුන් වඳ වී යන ලැයිස්තුවෙන් ඉවතට – චීනයෙන් ඉගෙන ගත යුතු පාඩමක්

යෝධ පැන්ඩාවුන් තවදුරටත් වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කිරීමේ අවශ්‍යතාවයක් නැති බව චීනය අවධාරණය කරයි.


ඒ, වනගත පැන්ඩා ගහණය 1800 දක්වා ඉහළ දැමීමට ඔවුන් සමත් වීමත් සමගිනි. දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව සිදුකළ සංරක්ෂණ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසට මෙම තත්වය උදා කර ගත හැකි විය. එය, චීනය විසින් ස්වභාවික සම්පත් රැක ගැනීම සඳහා ගෙන යන දීර්ඝකාලීන වැඩ පිළිවෙළේ එක් සන්ධිස්ථානයකි.

ඒ අනුව අනාගතයේදී යෝධ පැන්ඩාවුන් සැලකෙනු ඇත්තේ ‘අවදානමට ලක් විය හැකි‘ vulnerable යන කාණ්ඩය යටතේ ය. ඔවුන්ව ඒ අනුව මෙතෙක් සිටි endangered යන කාණ්ඩයෙන් ඉවත් කෙරෙනු ඇති.

දශක පහක උත්සාහයක්

දිනකට උණ ශාකයේ කොටස් කිලෝ 12-38 ත් අතර ප්‍රමාණයක් ගිල දමමින් සහ දවසෙන් වැඩි කොටස නිදා ගනිමින් කල් ගත කරන යෝධපැන්ඩාවුන්ගේ නිජබිම චීනයයි. පැන්ඩා වලසුන් ලෙස ද ඔවුන් ඇතැම්විට හැඳින්වෙයි.

ලෝකයේ සත්ව විශේෂවල පැවැත්ම සහ ඒ අනුව උන් වර්ගීකරණය කරන ආයතනය වන International Union for Conservation of Nature (IUCN) විසින් යෝධ පැන්ඩාවුන් ‘අවදානමට ලක් ව සිටින ජීවි විශේෂයක්‘ යන කොටසින් නිල වශයෙන් ඉවත් කළේ 2016 වසරේ ය. නමුත් චීන බලධාරීන් එය පිලිගැනීමට සූදානම් වූයේ නැත. ඒ අනුව තවත් වසර 5 ක් පැන්ඩා ගහණය රැක ගැනීමට සහ වැඩි කිරීමට ඔවුහු සිය සම්පත් යෙදවූහ. එය, යෝධ පැන්ඩාවුන් රැක ගැනීම සඳහා චීනය ගත් දශක 5 ක උත්සාහයේ අවසන් අදියරයි.

පැන්ඩාවුන් රැක ගත් හැටි චීනයෙන් ඉගෙන ගන්න!

යෝධ පැන්ඩාවුන් උන්ගේ ස්වභාවික නිකේතනවලින් බැහැරව රැකගැනීම අතිශයින් අසීරු ය. උන්ගෙන් පැටවුන් බිහිකර ගැනීම ඊටත් වඩා අසීරු ය. සාමාන්‍ය යෙන් පැන්ඩා ධේනුවකගේ සරු කාලය, එනම් ඇය ගැබ් ගත හැකි කාලය මුළු වර්ෂයකටම පැය 24-72 ක් දක්වා කාලයක් පමණි.

චීනය සිය අභිමානය වන පැන්ඩාවුන් වඳ වී යමින් පවතින විට සිදුකළේ උන්ගේ ස්වභාවික නිකේතන සම්පූර්ණයෙන් සුරක්ෂිත වන දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සකස් කිරීමයි. ඒ අනුව ස්වභාවික පරිසර පද්ධතිවල විශාල පදාසයන් තෝරාගෙන ඒවා ක්‍රමානුකූල ලෙස සහ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පැන්ඩා නිකේතනවල ගුණාත්මය කෙමෙන් ඉහළ යාමයි.

1970 දශකයේ පටන් මෙය චීන රජය සිය ප්‍රමුඛතාවයක් ලෙස සැලකුවේය. නිකේතන විනාශ වීම ට පිළියම් යෙදීම සඳහා උන්ගේ එකම ආහාරය වන උණගස් යහමින් ඇති කලාප තෝරා ගැනිණි. ඉන්පසු ස්වභාවික සංරක්ෂිත ලෙස ඒවා රැක ගැනිණ.

2017 වසරේදී චීනය නිවේදනය කරන්නේ තමන් වර්ග සැතපුම් 10,476 ක් විශාල වපසරියක පැන්ඩාවුන් සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙය ඇමරිකාවේ සුප්‍රසිද්ධ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය මෙන් තුන් ගුණයක් විශාල භූමි භාගයකි.

චීනයේදී පැන්ඩාවුන් සැලකෙන්නේ ‘අම්බ්‍රෙල්ලා විශේෂයක්‘ ලෙස ය. එනම් වෙනත් ජීවි විශේෂවලට ද සෙවණ සදන විශේෂයක් ලෙස ට ය. එනම්, පැන්ඩාවුන් රැකගැනීම ඉලක්කය කර ගත් විට ඒ නිකේතනවල වෙසෙන තවත් සත්ව විශේෂ ගණනාවක්ම නිරායාසයෙන් සුරැකීම සිදු වේ.

පැන්ඩාවුන් රැක ගැනීමේ මෙහෙයුම ඇතැම් මාංශභක්ෂක විශේෂවලට හානිදායක වී තිබේ. නමුත් චීනය කිසිදු විටෙක සිය ප්‍රමුඛතාවයන් හකුළා ගන්නා ජාතියේ රටක් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි