×

දක්ෂිණාංශයේ හැතිරිය! (An enemy of far – right)

ඇත්ත.. ඔවුන්ට ඇය පෙන්නන්නට බැරි ය. ඇය වනාහී අන්ත දක්ෂිණාංශයේ පරම හැතිරියයි.



‘‘උඹ ගැන ලැජ්ජයි.. උඹ ගැන ලැජ්ජයි..“ මෙයට දෙදිනකට පෙර ජීනා මිලර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම පිළිබඳ පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් වී ආපසු පිටතට එන විට රැස්ව සිටි බ්‍රෙක්සිට්වාදීන් ඇයට විරෝධය පළ කළේ එසේ ය.

ඇත්ත.. ඔවුන්ට ඇය පෙන්නන්නට බැරි ය. ඇය වනාහී අන්ත දක්ෂිණාංශයේ පරම හැතිරියයි.

ව්‍යාපාරික කාන්තාවක් වුවත් ව්‍යාපාරිකයන්ට සාමාන්‍යයෙන් නොපිහිටන අන්දමේ අසාමාන්‍ය දේශපාලන සහ සමාජයීය ඉවක් ඇයට තිබේ. බ්‍රිතාන්‍යය බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අවදානමෙන් අන්තිම මොහොතේ හෝ ගළවා ගන්නට ඇයට උවමනා ය.

ජීනා මිලර් හදිසියේ පහළ වූ සමාජ ක්‍රියාකාරිනියක නොවේ. බ්‍රෙක්සිට් විරෝධයේ පෙර ගමන්කාරියක ලෙස අද වන විට ප්‍රකට වී සිටියත් ඇය බ්‍රිතාන්‍යයේ ආයෝජන හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයන් හි පවතින විෂමතාවලට අභියෝග කරමින් True and Fair Campaign ආරම්භ කළේ 2009 වසරේදී ය. අනතුරුව ඇය ඒ සඳහාම True and Fair පදනම ද පිහිටුවා ගත්තාය.

ඔව්.. බ්‍රෙක්සිට් වාදීන්ට එසේත් නැතිනම් ‘ලීව් වෝටර්ස්‘ හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි ජනමත විචාරණයේදී කතිරය ගැසූ අයට ඇය දෑහැට පෙන්නන්නට බැරිවීමට ලොකු හේතුවක් තිබේ. ඔවුන්ට අනුව ඇය ‘සුද්දියක්‘ නොවේ. ඇත්ත.. ඇය කළු ජාතිකයෙකි. ඇගේ තාත්තාගේ නම දූනෝත් සිං ය. අම්මාගේ නම සාවිත්‍රි සිං ය. ඇයට තිබෙන්නේ ඉන්දීය සම්භවයකි. පියා ගයනාවේ නීතිපති ව සිටියේය. බ්‍රෙක්සිට්වාදීන්ට අනුව ඇය අවුරුදු 10 වන තෙක් බ්‍රිතාන්‍යයේ පස් පාගා නැත. පසුව නැගෙනහිර ලන්ඩන් සරසවියේ (එවකට පොලිටෙක්නික් සරසවියේ) නීතිය හදාළ ඇයට නීති උපාධිය සම්පූර්ණ කිරීමට නොලැබෙන්නේ ඇයට නැවත ගයනාවට යාමට සිදුවූ නිසාය. පසුව ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් සිය අධ්‍යාපනය සම්පූර්ණ කරන ඇය, ස්ත්‍රීන් කේන්ද්‍රකරගත් ආයෝජන සම්ප්‍රදායක් බ්‍රිතාන්‍යය තුළ ඇති කිරීම සඳහා සමාජ ව්‍යාපාරයක් ආරම්භ කළාය.

2017 ඔක්තෝබරයේදී ජීනා මිලර් එක්සත් රාජධානියේ ජීවත් වන බලවත්ම කළු ජාතිකයා ලෙස නම් කෙරිණි. ඇය ප්‍රබල චරිතයක් ලෙස හඳුනාගැනෙන්නේ ද බ්‍රෙක්සිට් ගැටළුව සමග ය. 2016 ජූනි මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් සුළු බහුතරක් විසින් බ්‍රෙක්සිට් ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට ඡන්දය පළ කිරීමෙන් පසුව උදා වූ අඳුරු යුගයේදී ඇය එයට එරෙහි අභියෝග කළාය. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි තීරණයක් ගත හැක්කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පමණක් බවට ඇය තර්ක කර සිටියාය. බ්‍රිතාන්‍යෙය් වගවීම සහ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වශයෙන් ඇය මාධ්‍ය හරහා පෙනී සිටිමින් මේ වෙන්නට යන විපතේ බැරෑරුම්කම සහ වැරැද්ද පෙන්වා දුන්නාය.

ඒ සමගම කෙමෙන් කෙමෙන් ජීනා මිලර් යනු, දක්ෂිණාංශයේ පරම හැතිරිය බවට පත්වූවාය. 2017 දෙසැම්බර් මාසයේදී ජීනා ද කොටස්කාරියක වන නඩුවේ තීන්දුව ලැබීමට දෙදිනකට පෙර ඇගේ ට්විටර් ගිණුම පිරී ගියේ සෝපහාස සහ නින්දා පරිභව වලිනි. ට්වීට්ස් 79,000 ක් ඇගේ නමට ලියැවී තිබූ අතර එයින් 13%ක්ම මරණ තර්ජන හෝ අපහාසවලින් ගහණ විය. ඔවුන් ඇය ව දුටුවේ ‘ද්‍රෝහී විදේශිකයෙකු‘ ලෙස ය. ඇය සේවය කරන සමාගම් ඉදිරිපිට ජනතාව පෙළ ගැසී සිටියේ විරෝධය පළකරන්නට ය.

රොඩ්රි ෆිලිප්ස් නමැති ලන්ඩන් වාසියෙක් අත්අඩංගුවට පත් වී සති 12 ක් සිරබත් කන තරමටම ඇය ගැන කෝපාවිෂ්ට වී සිටියේය. ඔහු තම ෆේස්බුක් ගිණුමේ ඇය ගැන කියා තිබුණේ මෙසේ ය. ‘‘බනානා බෝට්ටුවකින් බ්‍රිතාන්‍යයට ආව හැතිරියක්..‘‘ ‘‘අපේ රටට ආව මේ කාලකණ්නි සංක්‍රමණික පළවෙනි පරම්පරාව මරා දමන කෙනෙකුට මම පවුම් 5,000 ක් දෙනවා..“

තවත් අට දෙනෙක් ඇයට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට ලක්විය. ඇයට ඇසිඩ් ගසා මරා දමන බවට ද තර්ජන එල්ල වී තිබිණි.

පැහැදිලිවම උදා වී තිබුණේ ජීනා මිලර් හට ගෙදරින් එළියට බැසීමට නොහැකි තත්වයකි.

නමුත් ඇය පසු නොබැස්සාය. 2017 මහ මැතිවරණයේදී ක්‍රවුඩ් ෆන්ඩින් හරහා බ්‍රෙක්සිට් විරෝධී ව්‍යාපාරය වෙනුවෙන් පවුම් 300,000 ක් එක්රැස් කර ගැනීමට ඇය සමත් විය. අතීතයේ ලේබර් පක්ෂයට සහයෝගිතාවය දැක්වූ ඇය, එහිදී ලිබරල් ඩිමොක්‍රටික් (ලිබ් ඩෙම්) පක්ෂයට සහාය දක්වන ලෙසට ජනතාවගෙන් අයැද සිටියේ ද බ්‍රෙක්සිට් විරෝධය මධ්‍යයේ ය. මහ මැතිවරණයේ ප්‍රතිඵල ලැබුණු විට ඇය රටෙන් මද කලකට පිටව ගියේ එය‘‘එය සුදු පිරිමින් විසින් රටට සිදුවිය යුත්තේ කුමක්දැයි තීරණය කරන ප්‍රජාතාන්ත්‍රික නොවන අවකාශයක්‘ බව පවසමිනි.

මේ අතර 2019 යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙත්ම Remain United නමින් වෙබ් අඩවියක් ආරම්භ කළ ඇය, යුරෝපා සංගමය සමග තවදුරටත් එක්ව සිටිනවුන්ගේ අන්තර්ජාල සංසදයක් පිහිටුවා මිලියන ගණනකගේ සහයෝගය එයට ලබාගත්තාය.

උදා වෙමින් තිබුණේ බ්‍රෙක්සිට්වාදීන්ගේ යුගයයි. ඇමරිකාවේ ට්‍රම්ප්ට සමාන අදහස් ඇති බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්විය. ඔහු උමතුවෙන් මෙන් හැසිරුණේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල් දැමුවේය. ජනමත විචාරණය ප්‍රකාරව බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ගැළවීමට කාලය පැමිණ තිබේ යැයි වහසි බස් දෙඩුවේය. එවිට බොරිස් ජොන්සන‘ගේ කල්ක්‍රියාව අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ පළමු පෙළ ක්‍රියාකාරීන් කිහිප දෙනා අතරට ජීනා මිලර් එක්වූවාය. ‘‘මම නුඹව උසාවි ගෙනියනවා‘ යැයි ජීනා මිලර් නොබියව බොරිස් ජොන්සන් හට පැවසූ බව ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

රටේ හොඳම බැරිස්ටර්වරුන්ගේ කණ්ඩායමක් සමග බොරිස් ජොන්සන් හට අභියෝග කළ ද, සැප්තැම්බර් 09 වැනිදා මහාධිකරණය පැවසුවේ සති 5කට පාර්ලිමේන්තුව කල් තබමින් බොරිස් ජොන්සන් කළ දේ නීත්‍යානුකූල බව ය. එවිට ඇය ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන ගියාය. එහි අධිකරණමය සමාලෝචනය තවදුරටත් පැවැත්වේ. මෙයට දෙදිනකට පෙර මිනිසුන් ඇයව මරන්නට තරම් කෝපයෙන් රැස්ව සිටියේ ඇය ඒ අධිකරණයෙන් පිටතට එන විට ය.

54 හැවිරිදි මේ කළු ජාතික කාන්තාව, තෙවරක් දික්කසාද වූ අයෙකි. එනිසාම ඇයට අපහාස කරන අය ඇයට ‘බ්ලැක් විඩෝ ස්පයිඩර්‘ යැයි ද කියති! ඇයට පළමු විවාහයෙන් ඉගෙනුම් අපහසුතා ඇති දියණියක සිටියි. අද 28 හැවිරිදි ඒ දියණියගේ අකුරු කියවීමේ මට්ටම 6 හැවිරිදි දරුවෙකු සේ ය. අකුරු ලිවීමේ මට්ටම 4 හැවිරිදි දරුවෙකු සේ ය. ඉතා කෙටි කාලීන මතයක් සහිත නමුත් ඒ දියණියට ‘අසාමාන්‍ය චිත්තවේගී බුද්ධියක්‘ ඇතැයි ජීනා මිලර් කියන්නීය. ඇය මේ දියණිය ඇතුළු දරු තිදෙනෙක් ද සමග අද තමන්ගේ ජීවිතය සැපවත් කර ගැනීමට වෙහෙසෙනවා නොවේ. ඇය වෙහෙසෙන්නේ සමාජ සුබසිද්ධිය වෙනුවෙන් වන පුළුල් අරගලයක් සඳහා ය. වෙනස එයයි.

ඇගේ ජීවිතය කොයි මොහොත්දැයි කියන්නට බැරි ය. ඇය හසුවුවහොත් අල්ලා පොඩි කර මරා දමන තරම් ක්‍රෝධයකින් විරුද්ධවාදීහු පෙළෙති. බ්‍රිතාන්‍ය මහ රැජිනටත් වඩා දැඩි ආරක්ෂාවක් ඇයට සපයන්නට මේ නිසාම බ්‍රිතාන්‍යයට සිදුව තිබේ.

නමුත් ලෝකයේ සමාජ ක්‍රියාධරයන් හට නව අර්ථදැක්වීමක් ලබාදෙන කාන්තාව ජීනා මිලර් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි