×

ඉන්දියාවේ ග්ලැසියර පාතනය – මොකද වුනේ?

විවාද මැද ජීවිත ගණනාවක් දැනටමත් අහිමී වී අවසන්.. ඒ අතරම මෙම සිදුවීම දේශගුණික අර්බුදය පිළිබඳව අපට ලබා දුන් රතු නිවේදනයක් ද යන්න අප දන්නේත් නැහැ!


ඊයේ (07) දවසේ වාර්තා වී තිබුණා උතුරු ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරක් සම්බන්ධව.

මේ වන විට වාර්තා වෙන්නේ සිදුවීමෙන් පුද්ගලයින් 18ක් වත් ජීවිතක්ෂයට පත්ව 200 පමණ අතුරුදන් ව සිටින බවයි.

මෙම සංඛ්‍යාවන් ඉදිරියේදී වෙනස් වේවිද කියන්න මා දන්නේ නැහැ. ඊයේ දින වාර්තා වී තිබුණේ මිය ගිය පිරිස 10 දෙනෙකු සහ අතුරුදන් වූ පිරිස 150 පමණ යනුවෙන්.

මෙම අනතුර වාර්තා වුණේ ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ චමෝලි දිස්ත්‍රික්කයෙනි.

නන්ද්‍රාදේවි කඳුශිඛරයට අයත් ග්ලැසියරයක් කඩා වැටීම නිසා ධෝලිගංගා ගංගාවේ වේල්ලකට බරපතල හානි සිදුව තිබූ අතර, සිදුවීමෙන් ආපදාවට පත්වූයේ එම ගංගාවේ ජල විදුලි යෝජනා ක්‍රම ව්‍යාපෘතියක සේවයේ යෙදෙමින් සිටි කම්කරුවන් පිරිසක්.

මේ වනවිට ආපදා සහන කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ධෝලිගංගා ගංගාවේ වේල්ලට හානි සිදුව තිබීම හේතුවෙන් ගංවතුර තත්වයක්ද ඇතිව තිබෙනවා.

තවමත් ආපදා ගැලවුම් කණ්ඩායම් විසින් සොදිසි මෙහෙයුම් දියත් කරමින් තිබෙනවා. අනතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමට මහත් පරිශ්‍රමයක් යොදමින් සිටිනවා.

මේ අතර, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශයක් සිදුකරමින් උත්තර්කන්ඩ් ප්‍රදේශය පිළිබඳව තමා විමසිලිමත් ව සිටින බවත්, ආපදාවට පත්වූ පුද්ගලයින් ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය සියළු කටයුතු සිදුවෙමින් පවතින බව පවසා තිබුණා.

ඊයේ දින සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සිදුවූ හානිය තවමත් තක්සේරු කර අවසන් බවක් පෙනෙන්නට නැහැ.

මගේ මතය කිව්වොත්, මට නම් මෙම සිදුවීම ඇසූ මොහොතේ ඇඟ සිරිවැටී ගිය බව පැවසිය යුතුයි.

ඒ, ඇතැම් විට ලංකාවේ කිසිම පුද්ගලයකු ට නැති මට්ටමේ භීතිකාවක් ගෝලීය පාරිසරික විපත් සම්බන්ධව මට තිබෙනා නිසා වෙන්න ඇති.

පරිසර ආපදා ගැන මම හිතන තරමට මට මිනිසුන් හිනා වුණු වාර ගණන අනන්නයි; මගේ හිත මිත්‍රයින් පවා. කොහොම වුණත්, ග්ලැසියර දියවීම, සාගර ජල මට්ටම් ඉහළ යාම ගැන මම මීට කලිං කතා කරලා තිබුණා මගේ ලිපියක් කියෙව්වා නම් ඔබට මතක ඇති.

ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රදේශයේ සිදුවූ මෙම ග්ලැසියර පාතනය ට හේතුව පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම ය, මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූවා යැයි පූර්ව නිගමනයකට එන්න මම සූදානම් නැහැ.

මොකද ජීවිත ගණනාවක් අහිමි වෙලා තවත් පිරිසක් විපතට පත්වෙලා ඉන්න මේ වෙලාවේ මිනිසුන් ගේ පැත්තටම ඇඟිල්ල දිගු කරන්න මට අවශ්‍ය නැති නිසාත්, ඉන්දියානු බලධාරීන් විසින් තවමත් මෙම සිදුවීම විමර්ශනය කරමින් පවතින නිසා ඒ ගැන කිසිවක් පැවසීමට අපිට හැකියාවක් නැති නිසාත්.

ඒත් ඇත්තට ම මොකද්ද මේ වෙන්න ඇත්තේ? මට ඒ ප්‍රශ්ණය ලොකුවට ම ඔලුවට වද දෙනවා.

ඡායාරූපය: බීබීසී

උත්තර්කන්ඩ් පොලීසිය පවසා තිබුණේ, ග්ලැසියරය කඩා වැටීම නිසා ධෝලිගංගා ගංගාවේ ජලය උතුරා ගොස් තපෝවන් ප්‍රදේශයේ තවත් බලශක්ති ව්‍යාපෘතියකට හානි පමුණුවා තිබූ බවයි. ඒ තුළින් තපෝවන් ප්‍රදේශයේ ගම්මාන 13ක් සම්බන්ධ කරන පාලමක් ද විනාශ වී ඇති බවට පොලීසිය වැඩිදුරටත් පවසනවා..

ඒක නිකම් හරියට අර චිත්‍රපට වල අප දකින චේන් රියැක්ෂන් එකක් වගේ නේද? එක් තැනක හටගත් සිදුවීම පුරා කලාපයක් තුළ විහිදී ගිහිං නොසිතු විරූ ප්‍රතිඵල ඇතිවීම?

මගේ හිතට වද දෙන්නේ මෙතනදී.. දේශගුණික අර්බුද කියන්නේ ම දාම ප්‍රතික්‍රියා නැත්තම් චේන් රියැක්ෂන් මත හටගන්නා විපත් ම තමයි!

මෙම හිමාල ග්ලැසියරය කඩා වැටීමට නිශ්චිත හේතුවක් තවමත් පවසා නැහැ. නමුත් අදාළ කලාපය තුළ සිදුවූ උෂ්ණත්ව ඉහළ යාමක් මත දැවැන්ත අයිස් කුට්ටි පුපුරා ගොස් අධික ජලධාරාවක් පිටතට මුදාහරින්නට ඇති බවට පරිසරවේදීන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

ඒ අනුව කඩා වැටුණු අයිස් තට්ටු හිමකුණාටුවක් මෙන් දස අතේ විහිදී යන්න ට ඇති බවයි ඔවුන් උපකල්පනය කරන්නේ. එය කොපමණ භයානකද කියනවා නම් පස්තට්ටු හා ගල් පවා කඩා බිඳගෙන යාමට තරම් ප්‍රභල ධාරාවක්!

අතිවිශාල අවසාදිත ප්‍රමාණයක් එකවර කඩා වැටීම නිසා ප්‍රභල බලපෑමක් ඇති කරන්නට සමත් වන්නට ඇති බවට ග්ලැසියර අධ්‍යයන විද්‍යාඥ ඩීපී ඩෝබාල් උපකල්පනය කරනවා.

එමෙන්ම, ග්ලැසියර ආශ්‍රිතව හටගන්නා ග්ලැසියර ජල උල්පතක් වෙත මෙම කඩා වැටුණු අයිස් තට්ටු පතිත වීම නිසා විශාල ජලධාරාවක් පිටතට මුදා හැරෙන්නට ඇති බව ද ඇතැම් විද්‍යාඥයින් සැක පළ කරනවා.

හැබැයි දැන් මේක විවාදයක් බවට පත්ව තිබෙන බවටයි තොරතුරු කියවන විට මා හට වැටහී ගියේ.

ඒ කියන්නේ ග්ලැසියර ජල උල්පත් සිද්ධාන්තය අතර ඇතැම්හු වාද කරනවා මෙය භූකම්පනයක් මත හටගත් සිදුවීමක් වන්නට ඇති බව..

ඒ කොහොම උනත්, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ උත්තර්කන්ඩ් වැනි පාරිසරික අධිසංවේදී ප්‍රදේශ වල බලශක්ති ව්‍යාපෘති දියත් කිරීම කිසිසේත්ම නුවණට හුරු නොවන කරුණක් බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් උත්තරාකන්ඩ් අභ්‍යවකාශ යෙදුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එම්පීඑස් බිෂ්ට් අවධාරණය කර තිබෙන්නේ විපත හටගත් ප්‍රදේශයේ හිමකුණාටු සහ භූකම්පන යන සංසිද්ධීන් දෙකම සුලභව හට ගන්නා බවයි.

ඒ අනුව, හිමකුණාටු සහ භූකම්පන සිද්ධාන්ත දෙකම එක හා සමානව විවාදයට බඳුන් වී තිබෙනවා.

හැබැයි, විවාද මැද ජීවිත ගණනාවක් දැනටමත් අහිමී වී අවසන්.. ඒ අතරම මෙම සිදුවීම දේශගුණික අර්බුදය පිළිබඳව අපට ලබා දුන් රතු නිවේදනයක් ද යන්න අප දන්නේත් නැහැ!

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි