×

ලෝකය බේරාගන්නට තව වසර 20 යි ! ඉලක්කය : හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම

මිහිතලය උණුසුම් කරන හරිතාගාර වායු විමෝචනය සම්පූර්ණයෙන්ම නතර නොකළහොත් අනාගත පරම්පරා රත් වූ තාප ගෝලයක සිරකරුවන් වනු ඇතැයි අනාවැකි කිහිපයක්ම මීට පෙර පැවසී තිබුණේය.


මේ අතර නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ ඒ මහා ලෝක විනාශය නවත්වාගන්නට අපට තව ඇත්තේ දශක දෙකක් හෙවත් වසර 20 ක් පමණක් බවයි. එනම්, හරිතාගාර වායු විමෝචනය ශුන්‍යයක් බවට පත් කළහොත් පමණක්, එනම් එය සහමුලින්ම කපා හැරියහොත් ගෝලීය උණුසුම ස්ථාවර මට්ටමකට පවත්වා ගන්නට හැකි වනු ඇති බවයි.

සුබ ආරංචියක් මෙන්ම අසුබ ආරංචියක් ද වන මේ තත්වය හෙළිදරව් වූයේ Greater committed warming after accounting for the pattern effect යනුවෙන් නේචර් ක්ලයිමේට් චේන්ජ් හි පළ වී ඇති නවතම පර්යේෂණයක් හේතුවෙනි. (එම පර්යේෂණ පත්‍රිකාව මෙතැනින් කියවන්න )

දේශගුණික විද්‍යාඥයන් අනාගත ලෝකයේ උෂ්ණත්වය ගැන අනාවැකි කියන්නේ විවිධ මොඩලයන් (ආකෘතීන්) මගින් අනාගත වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අනුමාන කිරීම මගිනි. එනම් නිශ්චිත කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයන් මත පදනම්ව ය.

ලෝකයේ රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් කාබන් විමෝචනය ශුන්‍යයක් බවට පත් කරන්නට පැරිස් සම්මුතිය හරහා ප්‍රතිඥා දී තිබේ. නමුත් ඔවුන්ගේ ප්‍රතිඥාව වන්නේ වසර 2050 වන විට එසේ කරන බව ය. එහෙත් මිහිතලයට ඒ තාක් කල් ඉවසා ගත නොහැක. තව දශක දෙකක් යනු 2050 නොව 2040 වර්ෂයයි. ඒ අනුව ලෝකයට පාරිසරික ඉලක්ක වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත.

කාබන් විමෝචනය ශුන්‍ය කළ හැක්කේ කොහොමද?

කාබන් විමෝචනය ශුන්‍ය කිරීම යනු, වායුගෝලයට එක් එක් රටවල් විසින් මුදා හරිනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එයින් ඉවත් කිරීමයි. උදාහරණයක් වශයෙන් ගස් රෝපණය කිරීම මගින් මෙය කළ හැකිය. එක්සත් රාජධානිය, ජපානය සහ යුරෝපා සංගමය මේ ඉලක්කය වෙත ගමන් කරමින් සිටින අතර, බයිඩන් පරිපාලනය යටතේ ඇමරිකාව ද ඒ සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

නමුත් මෙය ගෝලීය වශයෙන් සපුරා ගත යුතු ඉලක්කයක් බවත් අප අමතක නොකළ යුතුය.

ලෝකයේ වැඩි වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඒවා වායුගෝලයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබෙන්නේ වනාන්තර, තෙත්බිම් සහ සාගර ජල පෘෂ්ටවලට ය. ඒ අනුව වන විනාශය සහ තෙත්බිම් විනාශය එයට බෙහෙවින් බලපානු ඇත. 2015 – 2020 අතර කාලය තුළ ලෝකයේ වන විනාශයේ වේගය වසරකට හෙක්ටයාර මිලියන 10 කි. 90 දශකයේ දී එය වසරකට හෙක්ටයාර මිලියන 16 ක් විය. 1990 වසරේ පටන් මේ දක්වා ලොව පුරා වන වැස්ම හෙක්ටයාර මිලියන 80 කින් අඩු වී තිබේ. මේ අනුව පෙනී යන්නේ පැරිස් සම්මුතිය ප්‍රකාරව ගිවිස ගෙන ඇති සෙල්සියස් අංශක 2 ඉලක්කය ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

ඒ අනුව සුබ පුවත වන්නේ කාබන් විමෝචනය ශුන්‍ය කළහොත් අපට වසර 20 කින් පසු ව ගෝලීය උණුසුම අන්තරායකර නොවන අඩවියකට ගෙන ගොස් මිහිතලය ස්ථාවර කළ හැකි බව ය. අසුබ පුවත වන්නේ මේ වසර 20 ත් මේ අයුරින්ම ගත වුවහොත්, අප ඕලාරිකව සිටියහොත් වසර 20 කින් ලෝක විනාශය සිදුවීම නියත බව ය.

එවිට අප ජීවත් වන ලෝකය විනාශ වනු ඇත්තේ පිටසක්වළ ප්‍රහාරයකින්, උල්කාපාත කඩාවැටීමකින් හෝ න්‍යෂ්ටික අවියකින් නොව තාප තරංගවලින්, ගංවතුරෙන් හෝ මහා ලැව්ගිනිවලිනි. ස්වභාවික විපත්වලිනි. එහිදී මහා පරිමාණයෙන් මිනිසුන් අවතැන් වනු ඇත. දමා යා නොහැකිව බදාගෙන සිටින ‘නිජබිම්‘ වෙනුවට ‘මුඩුබිම්‘ පමණක්ම ඉතිරි වනු ඇත. අනාගත ලෝකයේ මහා මිනිස් අවතැන්වීම් සිදුවනු ඇත්තේ ආයුධ අතින් ගත් යුද්ධ නිසා නොව, පරිසරයට වින කැටීමේ සාපය නිසා ය.

* * *
ප්‍රධාන ඡායාරූපය

මේ ඡායාරූපය ෆොටෝෂොප් සංස්කරණයක් නොවේ. මේ, 2020 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර වායුගෝලයම තැඹිලි පැහැති දුමාරයකින් වැසී ගොස් තිබුණු ආකාරයයි.

Photograph: Brittany Hosea-Small/AFP/Getty Images

මූලාශ්‍රය – The Guardian : Global heating could stabilize if net zero emissions achieved, scientists say



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි