×

2020 ගෝලීය අවදානම් වාර්තාව – පාරිසරික විනාශයන් ගෝලීය ආර්ථිකය තවදුරටත් අඩපණ කරනු ඇත!

ලෝකයේ රටවල් මේ වන විට එකිනෙකා සමග හවුල්කරුවන් ලෙස නොව වෛරී තරගකරුවන් ලෙස ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ලෝක ආර්ථිකය බිඳ වැටීම් ගණනාවකට ලක්ව ඇති බව 2020 ගෝලීය අවදානම් වාර්තාව (Global Risks Report 2020) පෙන්වා දෙයි.


මෙහි සමස්තය ලෙස සිදුව ඇත්තේ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයට තර්ජන ඇති වීමයි.

දශක ගණනාවක් මුළුල්ලේ, රටවල් අතර වෙළඳාම විසින් ලෝක ආර්ථිකය වර්ධනය කෙරිණි. එමගින් එකී රටවල ජනතාවගේ ජීවන තත්වය ද වැඩි දියුණු වී තිබේ. නමුත් දැන් එය එන්න එන්නම මන්දගාමී වෙමින් පවතියි. මෙසේ වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ බලවත් රාජ්‍යයන් විසින් සිය ප්‍රතිමල්ලවයන් හට නව සීමාවන් සහ බදු හඳුන්වා ඔවුන් අවරෝධනයට ලක් කිරීමයි.

ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40%ක්

innovolvo.co.uk

ලෝකයේ විශාලතම ආර්ථිකයන්වලට හිමිකම් කියන රටවල් 2 වන්නේ ඇමරිකාව සහ චීනයයි. ඇමරිකාව සහ චීනය, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40%කට වග කියයි.

නමුත් මෑත කාලයේ දී මේ රටවල් දෙක අතර ඇති ව තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන්, එම ආර්ථික ගාමක බලය සහමුලින්ම පාහේ අඩපණ වී තිබේ.

මේ වන විට දෙරට අතර සිදුවන ආයෝජනයන් සහ තාක්ෂණික හුවමාරු, ඉතිහාසයේ අඩුම වේගය වාර්තා කරයි.

එපමණක් නොව මේ වන විට ඇමරිකාවේ සහ චීනයේ ආර්ථිකයන්, එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වීමේ අවදානමට මුහුණ පා තිබේ. මේ වන විට මේ රටවල් දෙකම තමන්ගේ සැපයුම් පද්ධති, 5G network සහ ආයෝජන ආයතන නිර්මාණය කරමින් සිටියි.

ගෝලීය ආර්ථිකය අඩපණව පැවති අවස්ථාවක සොබාදහමෙන් සිහි කැඳවීමක්

2018 වසරේදී ලෝකයේ ගෝලීය සෘජු විදෙස් ආයෝජනය, 2015 වසරේ එම අගය මෙන් භාගයක් බවට පත් විය.

මේ අතර, චිලී රාජ්‍යයේ සිට ප්‍රංශය සහ ලෙබනනය දක්වාම, රටවල් තුළ අභ්‍යන්තර නොසන්සුන්තාවයන් හටගත්තේ, ආයෝජකයන් තවදුරටත් අධෛර්යමත් කරමිනි. මේ තත්වය ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු කළේය.

2019 වසරේ අග භාගය වන විට ලෝකයේ විශාලතම ආර්ථිකයන් 7න් 6කම වර්ධනය පහළ බැස තිබේ.

2019 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපෝහණය කළේ 3.0%ක ආර්ථික වර්ධන වේගයක් පමණි. මෙය, 2009 වසරෙන් පසු ලෝකය වාර්තා කළ අඩුම ආර්ථික වර්ධනයයි.

2018 වසරේ සිට 2019 වසරේ මුල භාගය වන විට ලෝකයේ සමස්ත වෙළඳාම 2.5%කින් පහළ බැස්සේය.

G20 රටවල ආර්ථිකයන් තුළ මහජන ණය 2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%ක් බවට පත් විය.

එය එදාමෙදාතුර එම කලාපයෙන් වාර්තා වූ වැඩිම ණය බර බවට පත්වූයේ, අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම ආර්ථික අර්බුදයකදී එම ආර්ථිකයන් බිඳ වැටීමේ අවදානම ඇති කරමිනි.

මේ අතර, ලැව් ගිනි ආදී ස්වභාවික විපත් ලෝක ආර්ථිකයට අති දැවැන්ත බලපෑමක් කරමින් සිටියි. මේවා ඒ ඒ රටවල ආර්ථිකයන් හි වැය බර ලෙස අපේක්ෂා කළ දේවල් නොවේ.

ඒ නිසා කළ යුතුව තිබෙන්නේ අනාගතයේ ඇතිවිය හැකි දේශගුණික හදිසි තත්වයන් (climate emergency) නොවැළැක්විය හැකි වැය බරක් ලෙස දකිමින්, සිය ආර්ථිකයන් ශක්තිමත් කර ගැනීමට සෙසු රටවල් සමග සහයෝගයෙන් වැඩ කිරීමයි. කුලල් කා ගැනීමෙන් සිදුවනු ඇත්තේ මිහිතලයේ මරණ වරෙන්තුව ලියැවෙන කාලය ඉක්මන් වීම පමණි.

Read more in the Global Risks Report 2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි