දින 2 ක් මුළුල්ලේ රටවල් 50කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම සමුළුව, කිසිදු සුවිශේෂී එකඟතාවයකින් තොරව අවසන් වූ බව එහි සභාපති එක්සත් රාජධානියේ ආලෝක් ශර්මා කණස්සල්ලෙන් යුතුව කියා සිටියි.
මෙම සමුළුවේදී අවසාන වශයෙන් ආලෝක් ශර්මා මෙසේ කියයි.
‘‘ලෝකයේ සියලුම රටවල් ගල් අඟුරු අදියර අවසන් කරන්නට පෙළ නොගැසෙන්නේ නම්, ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වාගෙන යාම අතිශයින්ම අසීරු කාරණයක් වේවි..‘‘
මාස 18කට පසුව එකිනෙකා පුද්ගලිකව මුණ ගැසෙමින් පැවැත්වූ පළමු පරිසර රැස්වීම වූ මෙය, ඵලදායී එකක් වු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පාරිසරික නියෝජිතවරිය වන පැට්‍රීෂියා එස්පිනෝසාගේ මතය වුවත්, ඉදිරි දස වසර ඇතුළත හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කර ගැනීම සඳහා සාමාජික රටවල් සිය දේශීය සැලැස්ම ඉදිරිපත්කර නැති බව ද ඇය පෙන්වා දුන්නාය.
දශක 3 කට ආසන්න කාලයක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ සෑම රටක්ම පාහේ, කාලීන වශයෙන් වැඩිපුරම වැදගත් වන මාතෘකාව බවට පත් ව ඇති දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාව වෙත සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියි. ඒ අනුව ඔවුහු ගෝලීය දේශගුණික සමුළු පවත්වති. COPs යනුවෙන් මෙම සමුළු හැඳින්වේ. COP යන කෙටි නමින් හඳුන්වන්නේ Conference of the Parties’හෙවත් ‘පාර්ශවයන්ගේ සම්මේලනය‘ යන්නයි. මේ අනුව දේශගුණික විපර්යාසය ගෝලීය ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
මේ වසරේ මෙම ‘පාර්ශවයන්ගේ සම්මේලනය‘ 26 වැනි වතාවට පත්වන හෙයින් එය Cop26 ලෙස හැඳින්වේ. මෙවර සමුළුවේ සභාපතිත්වය දරන්නේ එක්සත් රාජධානියයි. එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්වීමට නියමිත ය. රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා ස්කොට්ලන්තය වෙත පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
පාරිසරික විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය හුදෙක් තවත් එක් අන්තර්ජාතික සමුළුවක් නොව, ‘‘සුවිශේෂී ලෙස හදිසි‘‘ සමුළුවක් වන බවයි. නමුත් කණගාටුවට කාරණය නම්, පසුගියදා අවසන් වූ දෙදින නිල සාකච්ඡාවත්, කිසිදු නිශ්චිත එකඟතාවයකින් තොරව අවසන් වී යාමයි.
ලෝක විනාශය සිදුවන්නේ නිසැක වශයෙන්ම දේශගුණික විපර්යාස නිසා ය. එසේ තිබියදීත්, අප දැනටමත් ප්‍රමාද බව පෙනෙන්නට තිබියදීත් ඒ වෙනුවෙන් එක්සත් වන්නට ලෝකයට තවමත් නොහැකි වී තිබේ. Cop26 සමුළුව පවත්වන්නට නියමිත ව තිබෙන්නේ 2021 නොවැම්බරයේ ය.
මේ නිද්‍රාවෙන් අප ඇහැරෙන්නේ කවදාද..?
Cop26 නිල වෙබ් අඩවිය වෙත මෙතැනින් පිවිසිය හැක
දේශගුණික විපර්යාසවල වැඩිම හානිය බලපැවැත්වෙනු ඇත්තේ කුඩා දූපත්වලට බව මෙම රැස්වීමේදී ද අවධාරණය කෙරිණි. පූර්ව කාර්මික යුගවලදී පැවති පරිසර උෂ්ණත්වයට වඩා කැපී පෙනෙන ලෙස දූපත් රාජ්‍යයන්ගේ උණුසුම මේ වන විටත් වැඩි වී තිබේ. COP දේශගුණික විපර්යාස සමුළුවේ AOSIS යනුවෙන් හඳුන්වන වෙනම කණ්ඩායමක් සිටියි. AOSIS හෙවත් කුඩා දූපත් රාජ්‍යයන්ගේ සන්ධානය (Alliance of Small Island States) නියෝජනය කරන්නේ දේශගුණික වෙනස්වීම්වල අවදානමට වැඩි වශයෙන් ලක් වී සිටින දූපත් රාජ්‍යයන්ගේ එකමුතුවකි. එහි ප්‍රධානිත්වය දරන ඇන්ටිගුවා ඇන්ඩ් බාබඩෝස් රාජ්‍යෙයේ කැබිනට් අමාත්‍ය මොල්වින් ජෝසප් මෙසේ කීය.
‘‘කුඩා දූපත් සංවර්ධන රාජ්‍යයන්ට (SIDS) මෙම සමුළුවේ පණිවුඩය හොඳින් ලැබී ඇති බව පෙනෙනවා. විශාල රටවල්වලට අප වැනි රටවල් කෙරෙහි ඇති වගකීම තේරුම් ගනු ඇතැයි සිතනවා.. සියලු පොසිල ඉන්ධන සහ ඒවායේ අනුකොටස් පුනර්ජනනීය බලශක්ති ආයෝජන බවට පත් කර ගත යුතුමයි..‘‘
‘‘දේශගුණික වෙනස්වීම් කුඩා දූපත්වලට අතිශයින්ම යථාර්ථයක්. මේක සැබෑවක්. මේ තත්වය අනාගතයේදී අපේ රටවල ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට දරුණු බලපෑමක් සිදු කරාවි. මේක පාරිසරික යුක්තිය පිළිබඳ ගැටළුවක්..‘‘
මෙම සන්ධානයේ මාලදිවයින, සී ෂෙල්ස් යන රටවල් දෙක පමණක් ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන දූපත් රාජ්‍ය ලෙස මෙම සම්මේලනයට ඇතුළත්ව සිටියි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව මෙහි සාමාජිකයෙක් නොවේ.
මූලාශ්‍රය