×

ග්‍රීසිය වැක්සින් නොගත් අයට දඬුවම් දීම අරඹයි – දඬුවම මාසිකව යූරෝ 100 ක දඩයක්!

ග්‍රීසියේ ජීවත් වන, වයස අවුරුදු 60 ට වැඩි, කෝවිඩ් වැක්සින් නොගත් අයට මාසිකව දඩ ගැසීමේ වැඩපිළිවෙළක් ග්‍රීසිය ආරම්භ කළේය.


මේ අනුව එන්නත්කරණයට ලක් නොවූ ග්‍රීසියේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්, මාසිකව යූරෝ 100 ක දඩ මුදලක් බැගින් ගෙවිය යුතු වේ.

ජනවාරි මාසයේදී මෙය යූරෝ 50 ක් පමණක් වන අතර, ඒ අනුව එය ඔවුන්ට ලබාදෙන සහන කාලයකි. පෙබරවාරි මාසයේ පටන් දඩ මුදල යූරෝ 100 දක්වා ඉහළ නැවීමට තීරණය කර ඇත.

ග්‍රීසියේ ජනගහනය මිලියන 10.7 කි. එයින් 2/3 ක් පමණ මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් ව සිටිති. මුළු යුරෝපා සංගමය ම සලකා බැලුවද, එන්නත්කරණය සම්පූර්ණ කළ ජනගහනය තවමත් පවතින්නේ 70%කට වඩා මදක් වැඩි අගයක ය.

කෙසේ නමුත් ග්‍රීසිය මෙම දඬුවම් දීමේ ක්‍රමය වෙත පිවිසෙන්නේ ඔමික්‍රෝන් හේතුවෙන් රෝහල්ගතවීම් අධික වීමත් සමග ය. රෝහල්වල දැඩිසත්කාර ගිලන් ඇඳන් වල ධාරිතාවය අවසන් වෙමින් පවතියි. ග්‍රීක සෞඛ්‍ය අමාත්‍යවරයා කියා තිබෙන්නේ බදු කාර්යාලවලට දඩ මුදල් ගෙවිය හැකි බවත්, ඒවා රෝහල්වලට අරමුදල් වශයෙන් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ය.

ග්‍රීසියේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනය 530,000 ක් වන අතර, මේ දක්වා එයින් එන්නත්කරණයට ලක් ව තිබෙන්නේ 41.5%ක් පමණි. දෙසැම්බර් අග ග්‍රීසිය වයස 60 ට වැඩි අය සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කළේය.

ග්‍රීසිය පසුගිය වසරේදී සෞඛ්‍ය සේවකයන් සඳහා වැක්සින්කරණය අනිවාර්ය කළේය.

මේ අතර, පෙබරවාරි 1 වැනිදා පටන් වැඩිහිටියන්ගේ වැක්සින්කරණ කාඩ්පත්, බූස්ටරය ලබා නොගතහොත්, මාස 7 ක් ඇතුළත අවලංගු වේ.

මේ අනුව ග්‍රීසිය විසින් මේ වන විට වැක්සින්කරණය මෙන්ම බූස්ටරය ද අනිවාර්ය කර තිබේ.

ග්‍රීසිය ද, ශ්‍රී ලංකාව මෙන්ම අධික ණය බරෙන් පීඩා විඳින රටකි. දැන්, බූස්ටරයෙන් පවා පුරවැසියන්ගෙන් දඩ මුදල් වශයෙන් අය කිරීමට ඔවුන්  සූදානම් ය. ඇතැම් රටවල පාලකයන්, ජනතාව පීඩනයෙන් මුදවා ගනු වෙනුවට ආර්ථික වශයෙන් කඩා වැටී ඇති කාලවලදී පවා පසුම්බියේ ඇති අන්තිම ශතයත් රජයට ලබාගැනීමට මාන බලන බව පැහැදිලි ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි