×

නව යෞවනියක වූ ග්‍රේටාගේ වදන් හමුවේ ලොවක් සසල වෙයි!

"ඔබ ඔබගේ හිස් වචන තුළින් මාගේ සිහින, මාගේ ළමා කාලය උදුරා ගත්තා.. අනාගත සියළු පරම්පරාවන් ඔබ දෙස නෙත් යොමාගෙන සිටින්නේ. ඔබ අපව අසමත් කළහොත් කිසිදාක අප ඔබට සමාව දෙන්නේ නැහැ. ඔබට මෙයින් ගැලවීමක් නැහැ. අප අවධානෙන් පසුවන්නේ."


සංවර්ධිත යැයි කියූ රටවල කාබන් වළළු මැදි ජීවන රටාවන් ගත කරන ජනතාව තම දරුවන් සහ මුණුබුරන් සොඳින් සිටින්නේ දැයි සිතමින් ලත වන මෙවන් කාලවකවානුවක, මිනිසා පරිභෝජනය කරන ආහාර පාන, ජලය හා වාතයට සිදුවන්නේ කිමැයිද, ජීවත් වන නගර, අයත් දේපල හා ආර්ථිකයට තවත් දශකයක කාලසීමාවකින් පසු සිදුවන්නේ කිමැයිද යැයි පැවසීමට සංවර්ධිතම රටේ වසන ධනවත්ම පුරවැසියා පවා නොදනී.

ගෝලීය උණුසුම්කරණය හටගන්නා දේශගුණික විපර්යාස හමුවේ මිහිතලය මත ජීවය තුරන් වී ගියහොත් ජීවිතකාලයක් පුරාවට රැස්කර ගත් ධනයට සිදුවන්නේ කුමක්ද? දරුමුණුපුරන් ගේ අනාගතයට සිදුවන්නේ කුමක්ද?

පැරිස් දේශගුණික ගිවිසුමට (Paris Climate Agreement) අනුව 2050 වර්ෂය වන විට ලොව සම්පූර්ණයෙන් කාබනීකරණයෙන් මුදවා ගැනීමට නම් ලෝක ආර්ථිකය, නිශ්පාදනය, පරිභෝජන සංයුතිය, සංවර්ධන වේගය යනාදී මිනුම් දඬු රැසක් දෙස නැවත හැරී බැලීමට කාලය එළඹ ඇති බවට පසක් වේ. මෙතැන් පටන් තිස් වසරක කාලයක් තුළ කාබනීකරණයෙන් ලොව මුදවා ගැනීමට ඉලක්ක ගත අරමුණු සම්පාදනය වී පැවතිය ද, එය හුදෙක් කඩදාසියකට පමණක් සීමාවන්නේ නම් එවන් සැලැස්මක් සහ බොල්පොළවේ ගැසූ අට්ටාලයක් අතර ඇති වෙනස කුමක්ද යන්න ප්‍රශ්ණ කළ යුතු නොවේද?

පසුගිය දිනක මිලියන ගණනක් වූ තරුණ ජනතාව වීදි බැස හඬ නගා කිවූයේ ඒ අඳෝනාවයි.

දේශගුණික විපර්යාස සම්බන්ධව වහා හදිසි පියවර ගන්නා ලෙස ලොව නන්දෙස මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් එසේ විරෝධතාවල නිරත වීමට පටන්ගෙන දින කිහිපයක් යන්නට මත්තෙන් ලෝක නායකයින් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා රැස්විය. ඒ, කාබන් විමෝචනය මැඬපැවැත්වීම සඳහා තිරසාර ප්‍රයන්තයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ය.

ගෝලීය උණුසුම පසෙක හටගත් මෙම මනුසත් උණුසුමෙන් බිහිවූ ග්‍රේටා තන්බර්ග් නම් තරුණ යුවතිය එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ප්‍රකාශයට පත් කර සිටියේ දේශගුණික අර්බුද හමුවේ ලෝක නායකයින් පිළිපදින නිහඬ ප්‍රතිපත්තිය ලොව තරුණ ප්‍රජාව බිල්ලට දී ඇති බවයි.

“ඔබ තවමත් මෙය පිළිගැනීමට පරිණත වී නැහැ. ඔබ අපව අසමත් කරනවා. නමුත් තරුණ ප්‍රජාව වන අප ඔබගේ පාවාදීම මේ වන විට හඳුනා ගෙන තිබෙනවා,” ඈ පවසා සිටියාය.

ඈ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා සිදුකළ කතාව ඉතාමත් හැඟීම්බර මෙන්ම බොහෝ ඉහළ තනතුරු දරණ රාජ්‍ය හා රාජ්‍ය නොවන නායකයින් හද සසල කරවන්නට ද ඇත.

දේශගුණික ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන ස්වීඩන් ජාතික ග්‍රේටා තවමත් 16 වැනි වියේ පසුවන යෞවනියකි. 

ඈ දිගින් දිගටම පවසා සිටියේ විනාශකාරී දේශගුණික විපර්යාසයන් වළක්වා ගැනීම සඳහා විද්‍යාඥයින් අවශ්‍ය යැයි කියන හරිතාගාර වායු විමෝචන කප්පාදුව සඳහා නව සැලසුම් ඉදිරිපත් කිරීමට මෙම සමුළුව අසමත් වනු ඇති බවට ය.

“ඔබ ඔබගේ හිස් වචන තුළින් මාගේ සිහින, මාගේ ළමා කාලය උදුරා ගත්තා.. අනාගත සියළු පරම්පරාවන් ඔබ දෙස නෙත් යොමාගෙන සිටින්නේ. ඔබ අපව අසමත් කළහොත් කිසිදාක අප ඔබට සමාව දෙන්නේ නැහැ. ඔබට මෙයින් ගැලවීමක් නැහැ. අප අවධානෙන් පසුවන්නේ,” ඈ හැඟීම්බරව ප්‍රකාශ කර සිටියාය.

සමුළුව අමතමින් කතාකළ ජාතික නියෝජිතයින් 60 දෙනෙකු අභිබවා පුංචි ග්‍රේටා කළ කතාව කාගේත් අවධානයට යොමුවිය. මිහිතලයේ අනාගතය පිළිබඳ ඈ කළ පුරෝකතනය සපථ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පුනර්ජනනීය බලශක්ති ඉහල නැංවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත්කරමින් පවසා සිටියේ දේශගුණික විපර්යාස හමුවේ හුදෙක් කතා බස් පමණක් සිදුකිරීම නතර කිරීමට කාලය දැන් එළඹ ඇති බවයි. කෙසේ වෙතත් මෝදි ගේ ප්‍රකාශය තුළ ද කාබන් තොර පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයක් පිළිබඳ කිසිදු සැලැස්මක් ඉදිරිපත් වී නොතිබිණි.

දේශගුණ විපර්යාස මත මතුව ඇති අර්බුද කෙරේ පිළියම් යෙදීම පිළිබඳ චීනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර සිටියේය.

ජර්මානු චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කෙල් ප්‍රකාශ කර සිටියේ 2038 වන විට තම රාජ්‍යයේ ගල්අඟුරු භාවිතය අවසන් කරනා බවයි. මේ සඳහා දිගු කාලරාමුවක් ඉල්ලා සිටීම පරිසරවේදීන්ගේ නොසතුටට හේතුවූ අතර, එය පුංචි ග්‍රේටා ගේ අනාවැකිය තවදුරටත් සපථ කරවන්නක් විය.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර සිටියේ යුරෝපා සංගමය අමතා විමෝචන කප්පාදුව තවදුරටත් දැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත්, පැරිස් දේශගුණික ගිවිසුමට අත්සන් නොකළ කිසිදු රටක් සමඟ වෙළඳ ගනුදෙනු සිදු නොකරන බවත් ය. අනාගත දරු පරපුර විනාශ කර දැමීම තම අරමුණ නොවන බවට මැක්‍රොන් අවධාරණය කර සිටියේය.

මෙම සමුළුව තුළ ඇමරිකාව හා බ්‍රසීලය නියෝජනය නොවූ අතර, ඊට හේතුව වූයේ දේශගුණික අර්බුද කෙරේ තිරසාර හා සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වීමයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳු දින පැවති මෙම දේශගුණික සමුළුවට හිස දා බැලීමට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ගේ කතාව ඇසීම සඳහා පමණි. මන්ද, එදිනම පැවති ආගමික නිදහස පිළිබඳ පැවති රැස්වීමකට ට්‍රම්ප් සහභාගී විය. කෙසේවෙතත්, ග්‍රේටා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟ මාධ්‍යවේදීන් ට්‍රම්ප් වෙත පිවිසෙමින් අදහස් විමසන අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

පුංචි ග්‍රේටා ගේ තර්කය 100% වලංගු ද?
16 හැවිරිදි දේශගුණික ක්‍රියාකාරිනියන වන ග්‍රේටා ගෙන එන තර්කය නියත වශයෙන්ම නිවැරදිය. “පැරිස් දේශගුණික ඉලක්ක” කරා ළඟා වීමට ලෝකය ගමන් කරන්නේ ඉබි ගමනින් ය. දේශගුණික අර්බුද විසඳීම කෙරේ අප පෙන්වන මෙම මන්දගාමී ස්වභාවය විද්‍යාඥයින් අර්ත දක්වන්නේ පෘථිවියට ආපසු හැරවිය නොහැකි හා විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවයි. මෙම අනතුර පිළිබඳ මූලික පුරෝකතන නිකුත් වූයේ දැනට දශක තුනකට එහා විසි හොඳම විද්‍යා පර්යේෂකයින් විසිනි. එතැන් පටන් අද වන තුරුත් සමාව ලබා දිය නොහැකි අන්දමේ ප්‍රගතියේ දුර්වලතාවයකට ලොව මුහුණ පා තිබේ.

කෙසේ වෙතත්, අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් ද ඇත. මේ වන විට එක්සත් රාජධානිය සහ ජර්මනිය ලොව පුරා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා විශාල ආයෝජන යොදවන බවට නිවේදනය කොට ඇත. එමෙන්ම මේ වන විට 2050 වන විට කාබන් උදාසීනකරණ ව්‍යාපෘති දියත් කිරීමේ මුඛ්‍ය පරමාර්තය හමුවේ මුදල් ආයෝජනය කිරීමට ඇපකැප වී සහතික වූ ආයෝජකයින් ගෙන් යුත් සන්ධානයක් බිහිවී තිබේ.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය සමාප්ති දේශනයේදී මෙම අර්බුදය හමුවේ මේ වන විට ලොව ළඟා කර ගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව ද ඉස්මතු කළේය. 2050 වන විට රටවල් 77 ක් ශුද්ධ කාබන් උදාසීනකරණයට කැපවී සිටින අතර ඒ තුළ කලාප 10 ක් සහ නගර 100 කට වඩා තිබෙන බවට ඔහු අවධාරණය කර සිටියේය.

තවද, ගෝලීය බැංකු අංශයෙන් තුනෙන් එකක් (බැංකු 130 ක්) පැරිස් දේශගුණ ගිවිසුම් ඉලක්ක සමඟ පෙලගැසීමට මේ වන විට ප්‍රතිඥා දී තිබේ.

මෙම ප්‍රගතිය පරිපූර්ණ නොවන බවට ද ඔහු පිළිගත්තේය. මන්ද ඇමරිකාව හා ජපානය ආදී රාජ්‍යයන් පරිසර දූෂණය අතින් ඉතාමත් ඉහල ස්ථානයක මේ වන විට පසුවෙයි. එවන් වාතාවරණයක් තුළ මෙම ඉලක්ක අතිවිෂිශ්ට නොවන බවට පිළිගත යුතු බවට ඔහු අවධාරණය කර සිටියේය. 

එබැවින්, ග්‍රේටා දැරිය රැගෙන ආ “ලෝක නායකයින් මේ පිළිබඳ කිසිවක් සිදුකර නැහැ” යන තර්කය 100% වලංගුද යන පැණය හට ගනී. කෙසේ වෙතත්, 16 හැවිරිදි පාසල් වියේ පසුවන ග්‍රේටා දැරිය තම හැඟීම්බර වදන් තුළින් ඉතාමත් හොඳ රතු නිවේදනයක් ලෝක නායකයින් හට ගෙන හැර පෑවේ යැයි කිවහොත් එය සියයට පන්සියයක් වලංගුය. 

ග්‍රේටා තන්බර්ග් පසුගිය සඳුදින ඈගේ කතාවෙන් පසු තවත් දරුවන් 14 දෙනෙකු සමඟ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ විධිමත් පැමිණිල්ලක් ද ඉදිරිපත් කළාය. ආර්ජන්ටිනාව, මාෂල් දූපත්, ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවලින් පැමිණි තරුණ තරුණියන් මෙයට ඇතුළත් විය. එම පැමිණිලිකරුවන් කියා සිටින්නේ දේශගුණික අර්බුදයට විසඳුම් ලබා දීමට රටවල් අපොහොසත් වීම ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි