×

වලිගය පාගා ගත් ජර්මානු දුම්රිය සේවයක් පුංචි ග්‍රේටා ට එරෙහි අවි අමෝරා ගනී!

Deutsche Bahn (DB) දුම්රිය සේවය වලිගය පාගා ගෙන දැඟලූයේ ග්‍රේටා 2019 වසරේ පුද්ගලයා නිසා ද?


ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිනියක වන දහසය හැවිරිදි ග්‍රේටා තන්බර්ග් වසරකට ආසන්න කාලයක් පුරා ලොව වටා සැරිසරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ලොවක් අවදි කරවීමට සමත් වූ පුංචි දියණියකි.

පසුගිය කාලය තුළ වරක දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් සමඟ මහමඟට බැස විරෝධතාවයේ නිරත වීමද, එක්සත් ජාතීන්ගේ සමුළුව, ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් නුවර පැවත් කොප්25 සමුළුව වැනි ජාත්‍යන්තර වේදිකා ඇමතීම තුළින්ද සිය අධිවාචනය පුළුල් කිරීමට සමත් වූ පුංචි ග්‍රේටා ටයිම් සඟරාවේ ලාබාලතම වසරේ පුද්ගලයා යන නාමයෙන් ද පිදුම් ලැබීය. ඒ, දේශගුණික විපර්යාස හා උවදුරු පිළිබඳ පියවූ ලෝක බලවතුන්ගේ නෙත් විවර කිරීමට ඈ සමත් වූ නිසාවෙනි.

මේ සියල්ලන්ට අමතරව, ග්‍රේටා ප්‍රචලිත වීමට හේතුවූ තවත් කරුණක් වන්නේ ඇගේ ට්විටර් ගිණුමයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුංචි ග්‍රේටා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්දමින් නිකුත් කළ ට්විටර් පණිවුඩ වලට ඈ පිළිතුරු ලබා දුන්නේ තුට්ටුවකටවත් ගණන් නොගනිමිනි. මේ වාර්තා වන්නේ ග්‍රේටා මැඩ්‍රිඩ් සමුළුවෙන් පසු නත්තල් නිවාඩුව සඳහා සිය මව් රට බලා නැවත පිටත් වීමට යන අතර වාරයේ සිදුවූ ට්විටර් හරඹයක් පිළිබඳවයි.

මෙයට හේතු වී තිබෙන්නේ ජර්මානු දුම්රිය සේවයක ගමන් කරන අතරතුර ගත් ඡායාරූපයක් සමඟ ඈ පළකල ට්විටර් පණිවුඩයකි. එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි:

“ජර්මනිය හරහා මගී තදබදයෙන් යුතු දුම්රියකින් මා අවසානයේ මාගේ නිවස කරා ගමන් කරමි!” (Traveling on overcrowded trains through Germany. And I’m finally on my way home!)

ඈ සඳහන් කර තිබුණේ එපමණකි.

ඉහත ඡායාරූපයේ ඈ දුම්රිය තුළ සිය ගමන්මළු ද සමඟ බිම වාඩිවී සිටිනු දක්නට ලැබේ.

මෙකී ට්විටර් පණිවුඩයට අදාල ජර්මානු දුම්රිය සේවය ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබිණි. Deutsche Bahn (DB) නම් එම දුම්රිය සේවය ග්‍රේටා මුහුණ පෑ අපහසුතාවයට සිය කණගාටුව පල කිරීමට කාරුණික වී තිබූ අතර, දුම්රිය සේවා වැඩිදියුණු කිරීමට පියවර ගනු ඇති බවට සඳහන් කර තිබිණි.

එහෙත්…….

දිනකට පසු එම අදාල දුම්රිය සේවය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය අතුරුදන් වී තිබිණි. ඒ වෙනුවට Deutsche Bahn (DB) විසින් නිකුත් කර තිබුණේ තරමක සැර ප්‍රතිචාරයකි. එහි දක්වා තිබුණේ මෙවැන්නකි.

හිතවත් ග්‍රේටා, දේශගුණික විපර්යාස වලට එරෙහි ඔබ රැගෙන යන සටන වෙත දුම්රිය සේවකයන් වශයෙන් අප ස්තූතිය පළ කරමු. ඔබ අපගේ ICE 74 දුම්රියක් භාවිතා කරමින් නිවෙස් කරා යෑම පිළිබඳව ද සතුටු වෙමු.. එහෙත් ඔබට පළමු පන්තියේ ආසනයක් ලබා දීම සහ ගමනාන්තය තුළ රැක බලා ගැනීම සඳහා අප සේවක මණ්ඩලය විසින් කටයුතු කළ අන්දම පිළිබඳ ඔබ සඳහන් කළේ නම් මීට වඩා යෝග්‍යය. (“Dear Greta, Thank you for supporting us railroaders in the fight against climate change! We were happy that you travelled with us on Saturday in the ICE 74 … but it would have been even nicer, had you also reported how friendly and competently you were looked after by our team at your seat in the first class.”)

මෙම දුම්රිය සේවයට අනුව සේවක මණ්ඩලය විසින් ග්‍රේටා හට පළමු පන්තියේ ආසනයක් ලබා දීමට කටයුතු කර ඇත. ඔවුන් චෝදනා කරන්නේ ග්‍රේටා සිය ට්විටර් පණිවුඩය හරහා මගී තදබදයක් ඇත්තේ යැයි පවසමින් තම දුම්රිය සේවය අවතක්සේරුවට ලක්කර ඇති බවයි.

කෙසේවෙතත්, මෙම චෝදනාවට ග්‍රේටා අපූරු පිළිතුරක් ලබා දී තිබේ. ඈ අවධාරණය කරන්නේ අදාල දුම්රිය සේවය තමාගේ ට්විටර් පණිවුඩය හමුවේ වැරදි ප්‍රතිරූපයක් ලබා ගෙන ඇති බවය. තමා කිසිවිටක දුම්රිය තුළ ආසනයක් හිමි නොවූ බවට සඳහන් කර නොසිටි බවත් ඈ හට ආසනයක් හිමිවූයේ ‍ග්‍යොතින්ගන් නගරය පසුකිරීමෙන් අනතුරව බවත්, එහෙත් ආසන හිමි නොවීම පිළිබඳව කිසිවිටක චෝදනා නොකළ බවත් ග්‍රේටා අවධාරණය කර සිටියි.

පැය හතරක ගමනක ග්‍රේටා ආසනයක් සහිතව ගමන් කර ඇත්තේ පැය දෙකක කාලයක් පමණි. එහෙත් ඈ ඒ පිළිබඳව කිසිවිටකත් චෝදනාවක් ඉදිරිපත් කර නොතිබිණි. ඈ සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර සිටියේ මගී තදබදයෙන් යුතු දුම්රියක තමා සිය මව් රට බලා පිටත් ව යන බව පමණි.

ඈ දුම්රියේ බිම හිඳගෙන යන ඡායාරූපයක් ද සමඟ නිකුත් කළ ට්විටර් පණිවුඩය අදාල දුම්රිය සේවාව සංජානනය කර ඇත්තේ වැරදි අන්දමටය. ග්‍රේටා අවධාරණය කර සිටියේ දුම්රිය තුළ මගී තදබදයක් පැවතීම සුභවාදී දෙයක් බවත්, ඉන් හැඟවෙන්නේ දුම්රිය සේවාව සඳහා අධික ඉල්ලුමක් පවතින බවත් ය.

දුම්රිය ගමන් වල යෙදෙන ජනතාව මගී තදබදය පිළිබඳ කලාත්මක ඇසින් නිකුත් කරන ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් පෝස්ටු අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එහෙත් ඒවාට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ දුම්රිය සේවයන් කාලය මිඩංගු කරන අන්දමක් අප දැක නැත. ජර්මානු Deutsche Bahn (DB) දුම්රිය සේවය මේ අන්දමට දැරිවියක පළ කළ ට්විටර් පණිවුඩයක අධිසංවේදී වූයේ ග්‍රේටා ගේ රුව ලොවක් හඳුනන නිසා නොවේද? එකී ට්විටර් පණිවුඩයේ කිසිදු චෝදනාවක් හෝ අඩංගු නොවී තිබුණු වාතාවරණයක් තුළ Deutsche Bahn (DB) දුම්රිය සේවය වලිගය පාගා ගෙන දැඟලූයේ ග්‍රේටා 2019 වසරේ පුද්ගලයා නිසා නොවේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි