×

COP25 සමුළුවේදී පුංචි ග්‍රේටා යළි හඬ අවධි කරයි

දේශගුණික විපර්යාස නිසා මේ මොහොතේ දුක් විඳිමින් මියයන මිනිසුන් මෙලොව සිටිනා බව තන්බර්ග් සිහිපත් කර සිටියාය.


දහසය හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් නුවර පැවති එක්සත් ජාතීන්ගේ COP25 සමුළුවේ දී දෙවන දින ද හඬ අවධි කළාය.

මෙදින සමුළුව තුළ සාකච්ඡාවට බඳුන් වූයේ තිරසාර ආර්ථිකය දේශගුණික විපර්යාස වෙනුවෙන් යොදාගන්නා අන්දම පිළිබඳවයි.

ආරම්භක කතාවකින් පසුව තන්බර්ග් ලොව නන්දෙසින් පැමිණ සිටි අනෙකුත් තරුණ පරිසර ක්‍රියාකාරීන් හට වෙඩිමුරය ලබා දුන්නාය. ස්වීඩනය මෙන්ම ලොව වෙනත් පෙදෙස් වලද දේශගුණික විපර්යාස පිළිබඳ ඔවුනට ද පැවසීමට කතාවක් ඇති බව පෙන්වා දුන් ග්‍රේටා තන්බර්ග් එකී කතා බෙදා ගැනීම වැදගත් බව පවසා සිටියාය.

දේශගුණික හදිසි තත්ත්වයන් අනාගතය පිළිබඳ ගැටළුවක් නොවන බවත්, වර්තමානය තුළ මේ මොහොතේ බලපාන ගැටළුවක් බවත්, ඉන් දුක් විඳිමින් මියයන මිනිසුන් මෙලොව සිටිනා බවත් තන්බර්ග් සිහිපත් කර සිටියාය.

විවිධ රටවල ස්වදේශික ප්‍රජා පාරම්පරිකව දේශගුණ තත්ත්වයන් ට හා සොබාදහමට සංවේදී බවත් එය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ ආකාරයත් පැහැදිලි කළ ග්‍රේටා අවධාරණය කර සිටියේ ඔවුන් හට මේ පිළිබඳ දැනුම අන් සැමට වඩා තිබෙනා බවය.

ග්‍රේටා ඉදිරි දින තුළ යුනිසෙෆ් සංවිධානයේ සහය ඇතිව දියත් කරන “දේශගුණික විපර්යාසයට එරෙහි දරුවන් සහ තරුණයින්” ව්‍යාපාරයට සහභාගී වීමට නියමිතය. මේ සඳහා චිලි රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැචලෙට් සහ අයර්ලන්තයේ හිටපු ජනාධිපති මේරි රොබින්සන් ද සහභාගී වීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි