×

හයිටි රාජ්‍යය, රටේ ආරක්ෂාවට ඇමරිකාවෙන් උදව් ඉල්ලයි

මෙයට දින කිහිපයකට පෙර සිදුවූ හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සිදුකළේ කොළොම්බියානු ජාතිකයන් 26 දෙනෙක් සහ හයිටි-ඇමරිකානුවන් දෙදෙනෙකු විසින් බව එරට පොලිසිය පවසා තිබේ.


ජනපති ජොවෙනෙල් මොයිස් ඝාතනය වීමත් සමග රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වී තිබෙන අතර, රට පුරා සන්නද්ධ කල්ලි පිළිබඳ බියක් ද ඇති ව තිබේ. මෙම ඝාතනය සිදුවූයේ කෙසේ ද යන්න පිළිබඳව ද මේ දක්වා පැහැදිලි චිත්‍රයක් නැත.

මේ තත්වය තුළ රටේ යටිතල පහසුකම් රැක ගැනීම සඳහා ඇමරිකාවට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව වරාය, ගුවන්තොටුපොළ, ඉන්ධන කම්හල් ඇතුළු රටේ ප්‍රධාන යටිතල පහසුකම් සහ මර්මස්ථානවල ආරක්ෂාව සඳහා ඇමරිකාවට මැදිහත් වන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද තමන්ට හයිටියෙන් මෙම ඉල්ලීම ලැබුණු බව සනාථ කර තිබේ.

මේ අතර, FBI ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් සහ ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පිරිසක් වහාම හයිටිය වෙත යැවීමට මෙම ඉල්ලීම ලැබෙන විටත් ඇමරිකාව තීරණය කර තිබිණි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් ටෝනි බ්ලින්කන්, හයිටි රාජ්‍යය වෙත සිය සහයෝගය පළ කරමින් ලිපියක් ද යවා තිබේ.

හයිටි ජනපතිවරාය ඝාතනය වන්නේ මාධ්‍ය වේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු ඝාතනය වූ දිනට දින කිහිපයක් ඇතුළත ය. මාස ගණනාවක් තිස්සේ හයිටියේ ආයුධ සන්නද්ධ කොල්ල කල්ලි වල නැගිටීමක් ද දැකගත හැකි විය.

ඇමරිකාව මීට පෙර ද මෙවැනිම අවස්ථාවක හයිටි දේශපාලනය සඳහා මැදිහත් වීම් කර තිබේ.

එවැනි පළමු වැන්න, ජනපති ජීන් විල්බර්න් ගුලියාමේ 1915 වසරේ ඝාතනයට ලක් වූ විට හයිටිය ආක්‍රමණය කළේය. ඇමරිකාව විසින් Jim Crow racial segregation laws හඳුන්වා දුන් අතර, ඒ අනුව හයිටිය වහල් බව තහනම් කළ ලෝකයේ පළමු රට බවට ද පත් විය. ඇමරිකානු හමුදාව 1934 වසර දක්වාම හයිටියේ රැඳී සිටි අතර, හයිටියේ තිබූ සම්පත් මහා පරිමාණයෙන් කොල්ල කෑ බවට මතයක් තිබේ.

ඇමරිකානු හමුදාව 1994 වසරේදී නැවත වරක් හයිටිය වෙත යන්නේ හයිටි ජනපති ජීන් බර්ටෙන්ට් ඇරිස්ටයිඩ් හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කළ විට ය. 2004-2007 අතර කාලයේදී ජගත් සංවිධානයේ සාම සාධක හමුදාවන් (දකුණු ඇමරිකානු සහ ආසියානු සාමාජිකයන් සහිත) හයිටියේ ලැගුම් ගනිති. නමුත් ඔවුන් බරපතළ මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට ද චෝදනා නැගේ. හයිටි වැසියන් දහස් ගණනකට මරු කැඳවූ කොලරා වසංගතයට ද ඇමරිකානු හමුදාවගේ දායකත්වයක් ඇති බව කියැවිණි.

වසර 15 ක් ඔවුන් හයිටි රාජ්‍යයේ රැඳී සිටියද, බලාපොරොත්තු වූ පරිදි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කිරීමට හෝ කාර්යක්ෂම පොලිස් සේවයක් ස්ථාපිත කිරීමට ජගත් සංවිධානයට හැකි වූයේ නැත.

නැවත වරක් ඇමරිකානු හමුදාව හයිටිය වෙත කැඳවීම, ‘තවත් විනාශයකට මග පාදනු ඇත‘යි හයිටියේ විදේශ මැදිහත් වීම් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්වත්හු ප්‍රකාශ කරති.

ප්‍රධාන ඡායාරූපය – Valerie Baeriswyl/AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි