×

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ජේම්ස් ස්ටන්ට් රංගධරයකු පමණක් වූ නිසා කිසිදිනක තම මුහුණ ප්‍රසිද්ධියට පත්කළේ නැත.. ඔහුගේ නාමය ලෝකයාට අමතක වී යාවි ද?


ජේම්ස් වින්බර්න් යන නාමය ඇසූ සැනින් බොහෝ දෙනෙකුට නුහුරු විය හැකිය. නමුත් ඔහුගේ නම, ලොව කුමන මුල්ලක ජීවත් වූව ද සැබෑ ‘හැලොවින්’ රසිකයකුට නම් කිසිදා අමතක වන්නේ නැත.  

මන් ද යත්, රිදී තිරයේ ‘හැලොවින්’ භීතිකාවට මුල්ගල් තැබූ පළමු ‘මයිකල් මයර්ස්’ ඔහු වීමයි.

ජෝන් කාර්පෙන්ටර් ගේ ‘හැලොවින්’ යනු සංත්‍රාස චිත්‍රපට කාණ්ඩයේ අති දැවැන්ත සන්නාමයක් දිනා සිටින චිත්‍රපට පෙළක් වන අතර, එම චිත්‍රපට මාලාව වඩාත්ම කැපී පෙනෙන්නේ, එහි සිටින පිහියක් අතැතිව මුහුණ වසාගත් මනුෂ්‍ය ඝාතකයකු වන ‘මයිකල් මයර්ස්’ නිසා ය.

පළමු හැලොවින් චිත්‍රපටය නිකුත් වූයේ 1978 වන අතර, මෙම චිත්‍රපටයේ මුහුණ වසාගත් ඝාතකයා මයිකල් මයර්ස් ට පණ පොවන්නේ ජේම්ස් වින්බර්න් ය. ඔහු ප්‍රවීණ රංගධරයකුටත් වඩා චිත්‍රපටවල ත්‍රාසජනක දසුන් සඳහා පෙනී සිටින ‘ස්ටන්ට්’ රංගධරයෙකි.

ජේම්ස් වින්බර්න් ගේ අභාවය අද (22) දින මාධ්‍ය විසින් තහවුරුකර ඇති අතර, මිය යන විට ඒ මහතා 85 වන වියේ පසුවූ බවට සඳහන්. වින්බර්න් යම් අසනීප තත්ත්වයකින් පසුව ඇති බවට වාර්තා පළවන අතර, අසනීප තත්ත්වය කුමක්ද යන්න පැහැදිලි වාර්තාවක් නොමැත.

1978 වර්ෂයේ නිකුත් වූ පළමු හැලොවින් චිත්‍රපටය පුරාවටම ඝාතක මයිකල් මයර්ස් ලෙස පැමිණෙන වින්බර්න් ගේ මුහුණ පැහැදිලිව ප්‍රේක්ෂකාගාරයට පෙන්වන්නේ නැති අතර, මුළුමහත් හැලොවින් චිත්‍රපට මාලාව පුරාම මයිකල් මයර්ස් නම් චරිතයේ විශේෂත්වය වී ඇත්තේ ද එයයි. ඔහු අනන්‍යතාවය හෙළිනොකරන ලද, පෙනුම කෙබඳුද යන්න කිසිවකුත් නොදන්නා වෙස් මුහුණකින් මුහුණ වසාගත් මනුෂ්‍ය ඝාතකයෙකි.

වින්බර්න් 1981 වර්ෂයේ නිකුත් වූ හැලොවින් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටයේ ද මයිකල් මයර්ස් ගේ චරිතයට පණ පොවන අතර, එහිදී ද ඔහුගේ මුහුණ පිළිබඳ අනාවරණයක් සිදුවන්නේ නැත.

ඒ අනුව, ප්‍රවීණ රංගධරයකුටත් වඩා ස්ටන්ට් රංගධරයකු ලෙස හොලිවුඩය තුළ භූමිකාවක් ඉටුකළ වින්බර්න් ට දැවැන්ත රසික එකමුතුවක් නොසිටින්නට ඇත. නමුත් සැබෑ හැලොවින් රසිකයකුට නම් ඔහුගේ අභාවය නිසැකවම කම්පනයක් වනු ඇත.

මුල් හැලොවීන් චිත්‍රපට දෙකට අමතරව, වින්බර්න් හොලිවුඩයේ එස්කේප් ෆ්‍රොම් නිව් යෝර්ක්, ට්‍රෝන්, කලර්ස්, ද නයිට් ස්ටෝකර්, ග්ලෝරි, ද කවුච් ට්‍රිප්, වැනි විවිධ චිත්‍රපටවල ත්‍රාසජනක දසුනු සඳහා ස්ටන්ට් නළුවකු ලෙස රංගනයෙන් දායක වී ඇත.

ඡායාරූප: Daily Mail



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි