මෙය මොළයේ රෝගී තත්වයක් හෙවත් මස්තිෂ්ක රෝගී තත්වයක් වන අතර, මොළයේ ස්නායු විනාශ වීම මෙහිදී දැකගත හැක.
ජෝ බයිඩන් ජනපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සිදුවූ 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා රාජ්‍ය තාන්ත්‍රිකයන් 20 දෙනෙකුට වඩා මෙයට ගොදුරු වී තිබේ.
මෙම අබිහරස් රෝගය කුමක්දැයි තවම හඳුනාගෙන නැතත්, එය කියුබාවෙන් ඇරඹුණු හවානා සින්ඩ්‍රෝමයදැයි බරපතළ සැකයක් පවතියි.
2016-17 වසරේදී කියුබාවේ සිටි ඇමරිකානු සහ කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන් ද මේ හා සමාන ඉරණමකට ලක් ව තිබිණි. එහිදී ඔවුන්ට දැඩි නිදිමත, ශරීරයේ සමතුලිතතාවය ගිලිහී යාම, ශ්‍රවණ ආබාධ සහ ඇන්සයටි තත්වයන් මතු විය. ඇතැමුන් මෙය විස්තර කළේ ‘‘හැම දෙයක්ම ගන මීදුමකින් වැසී යනවා‘‘ යනුවෙනි. ඔවුන් සියලු දෙනාම පාහේ ඇමරිකානු තානාපති කාර්යාලවල සේවය කළ නිලධාරීන් ය.
හවානා සින්ඩ්‍රෝමය යන නම එයට ලැබීමට හේතු වුණේ ඇමරිකාව සහ කියුබාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින රාජ්‍ය තාන්ත්‍රික විරසකයයි. හවානා සින්ඩ්‍රෝමය ‘සොනික් ප්‍රහාරයක් ලෙස ඇමරිකාව චෝදනා කළේය. 2019 වසර වන විට එම තත්වටය ගොදුරු වූ නිලධාරීන්ගේ ‘මොළයේ අසාමාන්‍යතා‘ ඇති වී තිබෙන බව සොයාගැනිණි. නමුත් කියුබාව මෙම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
හවානා සින්ඩ්‍රෝමයට හේතු සේ සැලකෙන්නේ ක්ෂුද්‍ර තරංගවලට හෝ අතිධ්වනි තරංගවලට නිරාවරණය වීම, කෘමිනාශක හෝ විෂ රසායනවලට ගොදුරු වීම සහ මනෝ ජානමය හේතු ය. ක්ෂුද්‍ර තරංග සහ අතිධ්වනි තරංග මෙයට හේතුකාරක ලෙස සැලකීම නිසා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒවා ‘සොනික් ප්‍රහාර‘ ලෙස සැලකීමේ වරදක් නැත.
වියානාවේදී දැන් සිදුවෙමින් පවතින දෙය මුල් වරට අනාවරණය කළේ සපසුගිය සිකුරාදා නිව් යෝර්කර් සඟරාව හරහා ය. එම සිද්ධි මේ වන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද තහවුරු කර ඇත. ඔවුන් කියා ඇත්තේ මෙම සිද්ධි පිළිබඳව ‘බරපතළ ලෙස විමර්ශනය කරන බව‘ ය.
2015 ඉරාන න්‍යෂ්ටික ගනුදෙනුව නැවත සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන්නේ ද වියානාවයි. ඔවුහු මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමග මෙන්ම ඉරානය සමග ද සාකච්ඡා පවත්වති.
පසුගිය ජූනි මාසයේදී ඇමරිකාවේ රජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් නිවේදනය කළේ මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ සිය නිලධාරීන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ය.
ඔස්ට්‍රියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර, ශීතල යුධ සමයේ පටන් එනම් 80 දශකයේ පටන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික විරසකභාවයක් පැවතිණි. . ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඔස්ට්‍රියාවේ වියානා නුවර බලධාරීන්ව දැඩි සුපරික්ෂාවකට ලක් කරති. විශාල රාජ්‍ය තාන්ත්‍රික පිරිසක් වියනා නුවර රඳවා තැබීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ද මෙම රටවල් විසින් අනුගමනය කරයි. තවද, ලෝක බලවතුන් විසින් වියානාව සලකන්නේ ඔස්ට්‍රියාවේ අගනුවරටත් වඩා චරපුරුෂ සේවයේ (espionage) අගනුවරක් ලෙස ය. කියුබාවේ හවානා නුවර හැරුණු විට ඇමරිකාව විසින් ලෝකයේ වැඩිම චරපුරුෂයන් සංඛ්‍යාවක් රඳවා සිටින්නේ ද වියානාවේ ය.
විශ්‍රාමලත් CIA නිලධාරියෙකු වන මාර්ක් පොලිමෙරොපෝලොස් විශ්වාස කරන්නේ තමන් 2017 මොස්කව් නුවරදී ස්නායු ප්‍රහාරයකට ලක් වූ බවයි. ඔහු එහිදී මුහුණ දුන් රෝග තත්වය ද හවානා සින්ඩ්‍රෝමයට හැම අතින්ම සමාන ය.
වසර ගණනක් මුළුල්ලේ පවතින දැඩි හිසේ කැක්කුමට ඔහු ලක්වූයේ 2017 දෙසැම්බරයේදී දස දින ඇමරිකානු මෙහෙයුමක් සඳහා මොස්කව් නුවරට ගොස් සිටින විට ය. එවිට ඔහුගේ වයස අවුරුදු 49 කි.
‘‘මගේ ඔළුව මුදුනේත් පිටුපසත් දරාගන්නට බැරි තරම් වේදනාවක් ඇති වෙනවා…‘‘
එම තත්වයට ඔහු මුලින්ම මුහුණ පෑ දිනය ද ඔහුගේ මතකයේ රැඳී තිබේ. එදින සිය හෝටල් කාමරයේ නිදා සිටියදී හිටිවනම ඔහු අවදි වූයේ කන් බිහිරි කරවන තරම් දැඩි හඬක් හිස අභ්‍යන්තරයෙන් නිකුත් වන බවක් දැනුණු නිසා ය. මුළු කාමරයම භ්‍රමණය වන්නා සේ දැනිණ. ‘‘මම වැටුණා.. හැම දෙයක්ම වේගයෙන් කැරකැවෙමින් තිබුණා..‘‘
ඔහුගේ මොළයේ අසාමාන්‍ය ලෙස සහ එක්වරම තුවාළ ඇති වී තිබිණි. නැවත සිය රට බලා ගොස් බිරිඳ සහ දරුවන් සමග ජීවත් වීමට උත්සාහ කළ ද ඔහුගේ රෝග ලක්ෂණ දිනෙන් දින උත්සන්න විය. ඔහුට රිය පැදවීමට නොහැකි විය. මතක ශක්තිය පිරිහිණි.
‘‘මම ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුධ කලාපවල සේවය කළා. මට වෙඩි වැදී තිබෙනවා. නමුත් මෙවැනි දෙයක් මට මොස්කව් බලා යන තෙක් සිදුවුණේ නැහැ..‘‘ යැයි ඔහු කියයි.
2017 සැප්තැම්බරයේදී ඇමරිකාව, කියුබාවේ හවානා නුවර පිහිටි තානාපති කාර්යාලයේසේවය කළ සියලු කාර්ය මණ්ඩලය ‘මුදාගෙන‘ සිය රට රැගෙන යන්නේ කියුබාවේ සිටි 25 දෙනෙකු හවානා සින්ඩ්‍රෝමයට ලක් වීමත් සමග ය.
2018 ජූනි මාසයේදී මේ ආකාරයටම, චීනයේ ගොන්ෂු පළාතේ සිටි ඇමරිකානු නිලධාරියෙකු සහ ඔහුගේ පවුල ද ඇමරිකාව බලා ගෙන එනු ලබයි. එම පවුලේ සියලු දෙනාටම ඉහත කී රෝග ලක්ෂණ මතු වී තිබිණි.
හවානා සින්ඩ්‍රෝමයේ සම්භවය ගැන ඇති වූ ජනප්‍රියම මතය වූයේ එය සොනික් හෙවත් අධිබල ශබ්ද තරංගවලින් ඇති වන බවයි. එවැනි ශබ්ද තරංගයක් යමෙකුගේ මොළයට ඉලක්ක කළවිට මස්තිෂ්ක පටක හානි වනු ඇත. නමුත් විද්‍යාඥයෝ එය බැහැර කරති.
‘‘කාමරයකින් පිටත සිට ඒ වගේ සොනික් ආයුධයක් භාවිතා කරනවා නම්, ඩෙසිබල් 130 ක ශබ්ද තරංගයක් භාවිතා කළ යුතුයි. ඒක සමාන වන්නේ ගෙදරක එළියෙන් ජෙට් එන්ජින් 4 ක් නවත්වා තිබීමේ තීව්‍රතාවයට.‘‘
2019 වසරේදී වැනිටි ෆෙයා සඟරාවට එසේ කියන්නේ කියුබානු ජාතික කන, උගුර, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ මැනුවෙල් ජෝර්ජි විලාර් ය. ඔහු අවධාරණය කරන්නේ මෙවැනි සොනික් ප්‍රහාරයක් තනි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන සිදුකළ නොහැකි බවයි. ඒ අවට සිටින අය ද අනිවාර්යයෙන් එයට ගොදුරු විය යුතුය.
මේ අතර 2017 වසරේදී ඇසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ආයතනය, සොනික් ප්‍රහාරයක කොටසක් යැයි ඔවුන් සැක කරන ශබ්ද පටිගත කිරීමක් එළි දැක්වීය. නමුත් විද්‍යාඥයන් එය ද බැහැර කළේ පතංගයෙකු (cricket) සංවාසයේ යෙදෙන විට නිකුත් කරන අධිබල ශබ්ද තරංගයකට එය වඩා සමාන බව කියමිනි.
මේ අතර 2019 වසරේදී තවත් පර්යේෂණයක් යෝජනා කළේ කෘමිනාශක වැනි විෂ රසායන, කෙනෙකු නොමැරී ජීවත් වන සුළු මට්ටම්වලින් ශරීර ගත වූ විට මෙවැනි රෝග ලක්ෂණ ඇති වන බවයි.
ඇතැම්හු, කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව සිදුවන හිස්ටීරියා තත්වයකට සමාන කරති.
නමුත් ප්‍රශ්නය වන්නේ මෙම හවානා සින්ඩ්‍රෝමයට මෙතෙක් ගොදුරු ව තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පමණක් වීම ය. ඔවුන් ද සුවිශේෂී චරපුරුෂ රාජකාරි සඳහා සතුරු රටවලට යැවුණු රාජ්‍ය නිලධාරීන් ය.
දැන්, සතිපතා එක් දිනක් මාර්ක්, වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ආට් තෙරපි සහ කටු චිකිත්සා ප්‍රතිකාර ලබා ගනියි. තමන් ලක් වුණේ ජීවිත කාලය පුරාම විඳවන්නට සිදුවන අවාසනාවකට බව ඔහු දනියි.
ලොව පුරා ඇමරිකානු රාජ්‍ය දූත සහ චර පුරුෂ සේවාවන් හි යොදවා සිටි ඇමරිකානු නිලධාරීන් 130 දෙනෙකු පමණ මෙම ප්‍රහාරවලට මෙතෙක් ලක්ව ඇති බව පැවසේ. කියුබාව, චීනය, රුසියාව සහ ඇමරිකාවේදී පවා ඔවුන් මෙම ප්‍රහාරයන්ට ලක් ව ඇති අතර, දැන් මේ ලැයිස්තුවට අලුතින් එක්වන රට බවට ද ඔස්ට්‍රියාව පත් ව තිබේ.
ජනපති ජෝ බයිඩන්, මේ වන විට හවානා සින්ඩ්‍රෝමය ගැන පූර්ණ වශයෙන් පරීක්ෂා කිරීම සඳහා මණ්ඩල දෙකක් පත් කර ඇත. ඒ, මේ වසර මුලදී ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 21 දෙනෙකු විසින් ලියූ ලිපියකින් පසුව ය. තමන්ගේ රෝග ලක්ෂණ වලට නිසි වෛද්‍ය සැලකිල්ලක් යොමු නොවන බව ඔවුන් එයින් පවසා තිබිණි.