×

ටාගේරියන් දරුවන් මකරුන් පිට ඉගිල්ලෙද්දී HBO නාලිකාවට චෝදනාවක්!

HBO, අදහස නම් හොඳයි.. ඒත් පට්ට කලුවරයි.. මේ විගඩම නවත්වන්න..


ලෝකප්‍රකට ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතාමාලාවේ පූර්වගාමී කතාමාලාවක් ලෙස මේ දින වල HBO නාලිකාවේ විකාශය වන ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ හි සත්වන එපිසෝඩය ඉකුත් දින (ඔක්තෝබර් 02) විකාශය කෙරිනි. ප්‍රේක්ෂක හුස්ම පොද මොහොතකට නවතාලමින් දුක, සන්තාපය සහ ඇතැම් විට කේන්තිය පවා ඇතිකරලමින් අවසාන වූ ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ කතාමාලාවේ සිදුවීම් දාමයට සියවස් දෙක හමාරකට පමණ ඉහත දී සප්ත මහා රාජධානිය පාලනය කළ ටාගේරියන් රජ පෙළපතේ කඩා වැටීම ආරම්භ වීමට හේතු වූ ටාගේරියන් සිවිල් යුද්ධය හෙවත් ‘මකරුන්ගේ රංගනය’ පැවති කාලසීමාව පිළිබඳව ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ කතාමාලාවෙන් කියවෙන අතර, මෙය ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ කතාමාලාවට පාදක වූ ‘අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්’ කෘති මාලාව රචනය කළ ජේ.ආර්.ආර්. මාර්ටින් ගේ ‘ෆයර් ඇන්ඩ් බ්ලඩ්’ කෘතිය පාදක කරගෙන නිර්මාණය වී තිබේ.

‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ කතාමාලාවට පාදක වන ප්‍රබන්ධාත්මක යුගයේ දී මකරුන් ලොවින් නෂ්ට වී ගොස් සිටි අතර, ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ යනු මකරුන් අවම වශයෙන් පහලොස් දෙනෙකුවත් සප්ත මහා රාජධානියේ විසූ යුගයකි. මෙම මකරුන්ට අයිතිවාසිකම් කියන්නේ ටාගේරියන් රජ පෙළපත සහ වැලේරියා රජ පෙළපතේ ලෙයයි. ඒ අනුව, එකී රජ පෙළපත් වල උරුමය ඇති දරුවන් මකරුන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුනට අයිතිවාසිකම් කිව යුතු අතර, මකරුන්ගේ විශ්වාසය දිනාගැනීම හමුවේ එකී මකරා අදාළ දරුවාට අයිති වීම සම්ප්‍රදායයි.

මකරුන් යනු ඉතා බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් ලෙස සැලකෙන අතර, මකරකුගේ පිට නැඟ යාමට උගේ විශ්වාසය දිනා ගැනීම යනු රජ පෙළපතක දරුවකුට පමණක් නොව සාමාන්‍ය වැසියකුට පවා අයත්විය හැකි ඉහළම ගෞරවයක් සේ සැලකේ. ඉකුත් දින HBO නාලිකාවේ විකාශය වූ ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ සත්වන එපිසෝඩයේ ටාගේරියන් රජපෙළපතේ දරුවකු එසේ මකරකුගේ විශ්වාසය දිනා ගනිමින් එම මකරා පිට නැඟී අහසේ ගමන් කරන දසුනක් පෙන්වයි. කෙසේවෙතත්, මෙම එපිසෝඩය පිළිබඳ HBO නාලිකාව නරඹන්නන් සහ ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ රසිකයන් ගෙන් ලැබුනේ නම් යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.

ඊට හේතුව මෙම එපිසෝඩයේ පෙන්වන එම රජ දරුවා මකරා පිට ඉගිල්ලී යාම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් පෙන්වන දසුන් කිහිපයක්ම අතිශය අන්ධකාරයේ පෙන්වීම මත ප්‍රේක්ෂක ඇසට එය නැරඹීමට අපහසු වීමයි.

මෙම එපිසෝඩය පිළිබඳව HBO නාලිකාවේ නිල ෆේස්බුක් පිටුවේ පළවූ ඡායාරූපයකට ප්‍රතිචාර වශයෙන් මෙම විවේචන රසිකයන් විසින් ඉදිරිපත් කර ඇති අතර, මෙම විවේචනය පළමුවෙන්ම පාහේ මතුකළ ඇලී හැන්සන් නම් රසිකයකුගේ කමෙන්ටුවකට දහසකට ආසන්න ලයික් ප්‍රමාණයක් වැටී ඇති අතර එම මතය අනුමත කරමින් තවත් රසිකයන් රාශියක් ප්‍රතිචාර දක්වා තිබේ.

ඇලී හැන්සන් නැමති රසිකයා පෙන්වා දෙන්නේ මෙම එපිසෝඩයේ පෙන්වූ සිදුවීම් දාමය විශිෂ්ට මුත් සමස්ත එපිසෝඩය පුරා පැවති අන්ධකාරය හමුවේ එය නැරඹීම ඇසට අපහසු වූ බවයි.

කෙසේවෙතත්, එම මතයට විරුද්ධ මතයක් දරමින් අන්ධකාරය පිළිබඳ විවේචනය බැහැර කරමින් එපිසෝඩයේ අනර්ඝත්වය ඇගයීමට එක් රසික පිරිසකුත්, මෙම අන්ධකාරය ඇසට අපහසු නොවූ බව පැවසීමට තවත් රසික පිරිසකුත් කටයුතු කර තිබේ.

මේ අතර අන්ධකාරය හැඟවෙන මීම්ස් නිර්මාණය කර කමෙන්ටු වශයෙන් පළකිරීමට ද ඇතැම් රසිකයන් කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් HBO නාලිකාව නිල ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්නා නොවුනමුත්, අධික ප්‍රේක්ෂක පිරිසක් මෙම විවේචනය අනුමත කිරීම හරහා එකී එපිසෝඩයේ යම් අඩුපාඩුවක් තිබූ බවට සාධාරණ මතවාදයක් ගොඩනැඟී තිබේ.

ඔබත් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ මෙන්ම ‘මකරුන්ගේ රංගනය’ පෙන්වන ‘හවුස් ඔෆ් ද ඩ්‍රැගන්’ හි රසිකයෙක් ද? මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඡායාරූප: අන්තර්ජාලය / HBO නිල ෆේස්බුක් පිටුව



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි