×

බ්‍රිතාන්‍යයේ දෛනික කෝවිඩ් ආසාදන ගණන 50,000 පනිද්දී වැක්සින් මාත්‍රා දෙකම ගත් සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා!

එක්සත් රාජධානියේ දෛනික කෝවිඩ් ආසාදන සංඛ්‍යාව 2021 ජනවාරි මාසයෙන් පසු ප්‍රථම වතාවට පණස් දහස ඉක්මවා ගියේය.


මේ අතර ගතවූ දින 28 තුළ, පරීක්ෂණවලට පොසිටිව් රෝගීන් 49 දෙනෙක් ද මරණයට පත් ව තිබේ.

මෙය, සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් විසින් කළ අනාවැකියක් සත්‍ය වීමකි. ඔහු මීට පෙර පවසා තිබුණේ ජූනි 19 වන විට දිනකට රෝගීන් 50,000 බැගින් වාර්තා වීම ඇරඹෙනු ඇති බවයි. තවද ගිම්හානයේදී මෙම සංඛ්‍යාව 100,000 ඉක්මවා යා හැකි බවට ද ඔහු විසින් කියා තිබේ.

මහා පරිමාණ එන්නත්කරණයෙන් පසුව රෝහල්ගතවීම් 2/3 කින් අඩු වී තිබුණත්, මේ අනුව ඩෙල්ටා වේරියන්ට් සඳහා එන්නත්තරණයේ ප්‍රතිචාර දැක්වීමේ ගුණය ද ප්‍රශ්න කෙරෙමින් පවතියි.

සජීඩ් ජාවිඩ් පොසිටිව් වෙයි

සිය අනාවැකිය හරි ගියත්, එම ආසාදිතයන් අතරට තමන් ද අයිති වේ යැයි සෞඛ්‍ය ලේකම් සජීත් ජාවිඩ් සිතන්නට නැත. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ධුරය සම කළ හැක්කේ ලංකාව වැනි රටවල සෞඛ්‍ය ඇමති ධුරයට ය. පසුගිය මාසයේදී සජීඩ් ජාවිඩ් මෙම ධුරයට පත් කෙරුණේ හාදුවක් නිසා ගැටළු රැසකට මැදි වූ මැට් හැනොක්ගෙන් පසුව ය.

ඔහු වැක්සින් දෙකම ලබාගත් අයෙකු වීම ද විශේෂත්වයකි. නමුත් සෙනසුරාදා රාත්‍රියේ සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කෝවිඩ් පොසිටිව් වී ඇති බවයි.

මේ වන විට සිය නිවසේ හුදෙකලාකරණයට ලක්ව රාජකාරි කරන ඔහු, සිය තත්වය බරපතළ නොවන බව පවසිය.

පොසිටිව් බව තහවුරු වීමට පෙර දිනයේ, එනම් සිකුරාදා දිනයේ සජීඩ් ජාවිඩ් අගමැති බොරිස් ජොන්සන් හමුවී ඇත. ඒ අනුව අගමැතිවරයා ද නිරෝධායනයට ලක් කළ යුතු දැයි කතා බහක් පවතියි.

එන්නත්කරණයෙන් පලක් නැතිද?

නිල දත්තවලට අනුව එක්සත් රාජධානිය තුළ ලබාදෙන ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගත් විට 88%ක  ආරක්ෂාවක් ලැබෙන අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් විට 60%ක ආරක්ෂාවක් ලැබේ. කෙසේ නමුත් එන්නත් ලබාගත් විට කෝවිඩ් නොවැළඳෙන බවක් අදහස් වන්නේ නැත. එන්නත් ගෙන තිබියදී වුවත් ඩෙල්ටා වේරියන්ට් ප්‍ර භේදය ආසාදනය විය හැකි ය. නමුත්, නිව්මෝනියාව වැනි බරපතළ තත්වයකට පත් වීම එයින් වළක්වන බව පැවසේ. එන්නත්කරණයෙන් පසුව එක්සත් රාජධානිය තුළ රෝහල්ගත වීම් කැපී පෙනෙන ලෙස අඩු වී තිබීමෙන් ද මේ බව තහවුරු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇති පරිදි, මෙම ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා එකම මග, පූර්ණ එන්නත්කරණයයි.

ප්‍රධාන ඡායාරූපය – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් (EPA)

පෙර ලිපි

ප්‍රශ්නය හාදුව නොවුණත්, ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි

ප්‍රශ්නය හාදුව නොවුණත් – ඇමතිකම අහිමි කළ හාදුව කතා කරයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි