×

උගන්ඩාවේ අධික වර්ෂා හේතුවෙන් නායයාම් – 15 ක් මරුට!

බටහිර උගන්ඩාවේ කසෙසෙ දිස්ක්‍රික්කයේ මෙම ආපදාව සිදුව ඇත.


උගන්ඩාවේ බටහිර කලාපයේ මේ දිනවල හටගන්නා අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නායයාම් සිදුව ඇති අතර, මෙම නායයාම් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බව රතු කුරුස සංවිධානය නිවේදනය කරයි.

බටහිර උගන්ඩාවේ කසෙසෙ දිස්ක්‍රික්කයේ මෙම ආපදාව සිදුව ඇත.

නායයාම් හේතුවෙන් නිවාස ඇතුළු දේපල රැසකට හානි සිදුවී ඇති අතර, මඩ ගොහොරුවලට යටවූ සුන්බුන් අතර දිවි ගලවා ගත් පුද්ගලයන් සිටී ද යන්න සොයමින් මෙහෙයුම් දියත් කර තිබේ.

රතු කුරුස සංවිධානය අද (07) දින නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නායයාම් තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් ය.

මේ වන විට ආපදාවෙන් පුද්ගලයන් සය දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව එම සංවිධානයේ උගන්ඩා ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක අයිරීන් නකාසිටා මහත්මිය පවසයි.

බටහිර උගන්ඩාවේ කසෙසෙ දිස්ත්‍රික්කය අධික වර්ෂා හමුවේ නායයාමේ අවදානමක් ඇති කලාපයක් බවට හඳුනාගෙන ඇති අතර, මීට හේතුව නම්, මෙම දිස්ත්‍රික්කය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දේශසීමාවේ රවෙන්සොරි කඳු පාමුල පිහිටා තිබීමයි.

දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙයි.

උගන්ඩාවට දිගු කලක් නියං තත්ත්වයක් පැවත මෙසේ අධික වර්ෂා හට ගැනීම සිදුව තිබෙන්නේ ඉකුත් ජූලි මස පටන් වන අතර, එකී අධික වර්ෂා හමුවේ ගංවතුර ආදී ආපදා රැසක් හට ගෙන ඇත. මින් අස්වනු විනාශ වීම්, නිවාස, යටිතල පහසුකම් ඇතුළු දේපල හානි වීම් මෙන්ම ජීවිත හානි ද වාර්තා වී ඇත.

මීට ඉහත ජූලි මාසයේදී අධික වර්ෂා හේතුවෙන් නැගෙනහිර උගඩන්ඩාවේ ම්බාලේ දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර ගැලීමක් නිසා පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

ඡායාරූප: උගන්ඩා රතු කුරුස සංගමය (ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙනුවෙන්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි