Camera Obscura වර්ගයේ මෙම තර්මල් කැමරාව මගින් බාල් ගිල් නමැති මෙම 41 හැවිරිදි කාන්තාවගේ සිරුරේ ඡායාරූපයක් ගැනීමට අවස්ථාව උදා වූයේ එඩින්බර්ග් හි ‘වර්ල්ඩ් ඔෆ් ඉලූෂන්‘ උත්සවය නැරඹීමට ගිය අවස්ථාවේදී ය.
එහිදී ලබාගත් ඡායාරූපයේ, ඒ වන විටත් පියයුරු පිළිකාවක් වැළඳී තිබූ ඇගේ ළයෙන් නිකුත්වන අසාමාන්‍ය තාප තරංග කදිමට සටහන් වී තිබිණි.
ඇය ඒ පිළිබඳව අවධානය යොමු කළේ ඒවා රතු පැහැති ලප මෙන් දිස්වන නිසා ය. එම කැමරාවෙන් ඡායාරූප ලබාගත් අනෙක් කිසිවෙකුගේ එවැනි ලක්ෂණයක් දක්නට ලැබුණේ නැත.
ඔන්කොලොජිස්ට් ශිල්පීන්ට, එසේත් නැතිනම් පිළිකා රෝග විශේෂඥයන්ට මෙම තාප කැමරා තාක්ෂණය රෝග හඳුනා ගැනීමට ඉඩ සලසන බව ඇය අසා තිබිණි. අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳ සෝදිසි කළ ඇය, කුතුහලය නිසාම සිය වෛද්‍යවරයා හමුවූවාය. අවසානයේ වෛද්‍යවරයා නිගමනය කළේ ‘පිළිකාවේ මූලික අදියරේ‘ ඇය පසුවන බවයි.
එය අතිශයින්ම ‘සුව කළ හැකි මට්ටමේ‘ පසුවන බව ද ඇගේ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ඇය මේ ප්‍රදර්ශනය නැරඹීමට නොගියා නම් විටෙක පිළිකාව උත්සන්න වන තෙක්ම ඇයට එය සොයාගැනීමට නොහැකි වනු ඇත.
අවසානයේ බාල් ගිල්, Camera Obscura සමාගමට ස්තූති කරමින් ලිපියක් ලීවාය. ඇයට එයට පිළිතුරු ලෙස හැරෙන තැපෑලෙන් ලිපියක් ලැබිණි. එහි සඳහන් වූයේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සහ, නුදුරු අනාගතයේදීම ඇයව මුණ ගැසීමට අපේක්ෂා කරන බව ය.
2018 වසරේදී ද නව පිළිකා රෝගීන් මිලියන 2කට වඩා අලුතෙන් හඳුනා ගැනුණු බව මේ අතර ලෝක පිළිකා පර්යේෂණ අරමුදල සඳහන් කරයි. ඉතින්, බාල් ගේ දිවි බේරාගත්තේ කැමරාවක් විසින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.