×

පක්ෂ පාට වෙළඳාමට එරෙහිව හොංකොං බලධාරීන් ගෙන් අනතුරු ඇඟවීම්!

හොංකොං නගරයේ වානිජ හා අර්ථික සංවර්ධන ආමාත්‍යංශ ලේකම් පළ කළ මෙම අදහස් ඇතුලත් වීඩියෝවක් එම නගරයේ රජයේ නිල ෆේස්බුක් පිටුවක පළ කර තිබිණි.


හොංකොං නගරයේ මතුව පවතින දේශපාලන අස්ථාවරභාවය හා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය හමුවේ ජනතාව දෙකඩ වීම උත්සන්න වූයේ මීට මාස 7කට පමණ පෙරය. එකී බෙදීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විරෝධතාවයේ නිරත වන්නන් කහපටි කරුවන් ලෙසද චීන-පාලිත රජයට සහය දක්වන්නන් නිල්පටි කරුවන් ලෙසද හංවඩු ගැසීම සිදුවිය.

මෙම තත්ත්වය හොංකොං නගරයේ ව්‍යාපාර හා වෙළඳ ලෝකය තුළ ද පැතිර යාමට පටන් ගැණින.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහය දැක්වූ ව්‍යාපාර හා වෙළඳාම් කහ පාටින් සැරසීමට ද , රජයට සහය පළ කළවුන් නිල් පාටින් සැරසීමට ද පෙළඹිනි. ඇතැම් බොජුන් හල් හිමියන්, හෝටල්කරුවන් හෝ වෙනත් සේවා සපයන්නන් හොංකොං රජයට සහය පළ කළවුන් හට සේවා සැපයීම ප්‍රතික්ෂේප කරනු දක්නට ලැබිණි. අරගල කළවුන්ට නොමිලේ ආහාර පාන දෙනු දක්නට ලැබිණි.

කෙටියෙන් කිවතොත් හොංකොං නගරයේ දේශපාලන අර්බුදය වෙළඳ ලෝකය ද දෙකඩ කළේය.

මේ වන විට හොංකොං නගරයේ බලධාරීන් මේ සම්බන්ධව කෝපයට පත්ව ඇති බවක් වාර්තා වේ.

පක්ෂ පාට මත වෙළඳාම් හා ව්‍යාපාර ගෙන යාම පිළිබඳ අදහස් දක්වමින් එරට වානිජ හා අර්ථික සංවර්ධන ආමාත්‍යංශ ලේකම් එඩ්වර්ඩ් යාවු ටැංග්-වහ් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම තත්ත්වය වහා නතර කළ යුතු බවයි. ඔහුට අනුව හොංකොං නගරය අද වන විට පත්ව ඇති තත්ත්වය නිසා තනි වර්ණයක් පමණක් පවතින්නේ නම් සැබවින්ම මෙය හොංකොං නගරයම දැයි යන සැකය මතු වන තත්ත්වයට ම පිරිහී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ නිරත වන්නන් ගේ අරමුණ වී තිබෙන් නේ “කහ පැහැති ආර්ථික කවයක්” නිර්මාණය කිරීම බවත්, ඒ සඳහා වෙළඳ කටයුතු හා ව්‍යාපාර වල නිරත වන්නන් පොළඹවා ගැනීමට උත්සාහ කරන බවත් එඩ්වර්ඩ් යාවු ටැංග්-වහ් මහතා චෝදනා කරයි. මෙමඟින් එකී උද්ඝෝෂකයින් මෙන්ම ව්‍යාපාරකයින් ද සිදුකරන්නේ බරපතල වැරැද්දක් බව පෙන්වා දෙන එඩ්වර්ඩ් යාවු ටැංග්-වහ් මහතා කහ පැහැති ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කිරීමෙන් ඉදිරියේදී ඔවුන්ගේ ව්‍යාපාර වල තිරසාරභාවය හා දීර්ඝ කාලීන පැවැත්මට අභියෝග එල්ල වනු ඇති බවට අනතුරු අඟවා සිටියේය.

හොංකොං නගරයේ වානිජ හා අර්ථික සංවර්ධන ආමාත්‍යංශ ලේකම් එඩ්වර්ඩ් යාවු ටැංග්-වහ් මහතා පළ කළ මෙම අදහස් ඇතුලත් වීඩියෝවක් එම නගරයේ රජයේ නිල ෆේස්බුක් පිටුවක පසුගිය දිනක පළ කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි