×

නොනිමි විරෝධතා මැද හොංකොං නායිකා ජාතික දින සැමරුමට චීනයට!

ඔක්තෝබර් 1 වන දින චීන ජාතික දින සැමරුම් උත්සවය සඳහා හොංකොං නායිකා කැරී ලැම් බීජිං බලා පිටත් වීමට නියමිතයි!


ඔක්තෝබර් 1 වන දින චීන ජාතික දින සැමරුම් උත්සවය සඳහා හොංකොං නායිකා කැරී ලැම් බීජිං බලා පිටත් වීමට විරෝධය පාමින් වීදි බැසි විරෝධතාකරුවන් වෙත පොලිසිය කඳුළු ගෑස් සහ ගම්මිරිස් දියර ඉසින ලදී. 

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ජනතාව වීදි බැසීම නිසා හොංකොං නගරයේ කලක පටන් හට ගෙන තිබූ නොසන්සුන්කාරී වාතාවරණය පසුගිය කාලවකවානුව තුළ විවිධ අවස්ථා වල උස්පහත් වෙමින් පැවතිණි. රජයට විරෝධය පාමින් විරෝධතාකරුවන් වීදි බැස කලහකාරී අන්දමින් හැසිරීමත් එයට පොලිසිය ප්‍රතිචාර දැක්වූ ආකාරයත් සමඟ මාධ්‍ය ආවරණය පිරී ඉතිරී ගියේ ආසියාව තුළ මෙන්ම ඉන් පිටත ද සෑම ප්‍රවෘත්ති සිරස්තලයක් වෙතම හොංකොං අර්බුද පිළිබඳ පුවත් එක් කරමිනි.

හොංකොං හි ව්‍යවස්ථාදායකය වන බීජිං ප්‍රධාන සම්බන්ධතා කාර්යාලය වෙත හා පොලිසිය වෙත පෙට්‍රෝල් බෝම්බ හෙලීම, හොංකොං ගුවන්තොටුපළ අත්පත් කර ගැනීම, උමං දුම්රිය ස්ථාන විනාශ කිරීම හා වීදි වල ගිනිගොඩවල් ගැසීම වැනි විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට චීන-විරෝධීන් කටයුතු කර තිබිණි.

හොංකොං වෙතින් වාර්තා වන නවතම වාතාවරණයට අනුව නායිකා කැරී ලැම් එළඹෙන ඔක්තෝබර් 1 වන දින චීනයේ ජාතික දින සැමරුමට බීජිං බලා පිටත් වීමට නියමිත බව රජය නිවේදනය කර ඇති අතර, ඒ සමඟ කුපිත වූ විරෝධතාකරුවන් කලහකාරී අන්දමින් වීදි වල හැසිරීම නිසා පොලිසිය හා විරෝධතාකරුවන් අතර නානාවිධ ගැටුම් හටගෙන ඇත.

මෙම තත්ත්වය නිසා අද (29) දින කෝස්වේ බේ සාප්පු සංකීර්ණ වසා දැමීමටත්, මොනොරේල් දුම්රියපළවල් වල ඇතැම් සේවාවන් අත්හිටුවීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ. 

මීට අමතරව, චීන-විරෝධී විරෝධතාකරුවන් නිව් ටෙරටොරීස් සාප්පු සංකීර්ණය අසබඩ විවිධ සටන්පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ අතර, චීන රජයට පක්ෂපාතී කණ්ඩායම් පිරිසක් ද වික්ටෝරියා පීක් අසබඩ එක්රැස් වී චීනයේ ජාතික ගීය ගායනා කරනු දක්නට ලැබිණි.

රතු කමිස වලින් සැරසී 200ක් පමණ වූ පිරිසක් ඒකරාශී වූ මෙම චීන-හිතවාදී කණ්ඩායම් චීන ජාතික ගීය ගායනා කිරීමට අමතරව “මම චීනයට ආදරෙයි!” (I love China!) යනුවෙන් හඬ නැගූහ.

කෙසේ වෙතත් හොංකොං නායිකා කැරී ලැම් එළඹෙන ඔක්තෝබර් 1 වන දින සැලසුම් කළ පරිදි බීජිං නගරය බලා පිටත් වීමට නියමිතය.

පසුගිය සතියේ පැවති විවෘත සංවාදයකින් පසුව පැය ගණනක් ගෘහස්ත ක්‍රීඩාංගනයක සිරවී සිටීමට ලැම් හට සිදුවිය. ඒ ඈ වෙත විරෝධතාකරුවන්ගේ විරෝධය එල්ල වීම නිසාවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි