2013-2015 අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ අගමැති තනතුර දැරූ ටෝනි ඇබොට් දැන් සැරසෙන්නේ එක්සත් රාජධානියේ වාණිජ මණ්ඩලයේ කටයුතු කිරීමට ය. අගමැති බොරිස් ජොන්සන්ගෙන් පසුව මේ තනතුරට ‘සන්තෝසයෙන්‘ පැමිණෙන බව ඔහු කියා තිබේ.
තමන් ‘‘ඉතාම උනන්දුවෙන් යුතුව උදව් කිරීමට බලා සිටින‘ බව ද ටෝනි ඇබොට් කියා තිබේ.
ඒ අනුව එක්සත් රාජධානිය සහ සෙසු රටවල් සමග වාණිජ ගනුදෙනුවටල එළඹීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ වාණිජ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සිදුකරනු ඇත්තේ ටෝනි ඇබොට් විසිනි. ඒ ‘සෙසු රටවල්‘ අතරට ඔස්ට්‍රේලියාව ද ඇතුළත් බව ටෝනි උදාරම් ලෙස කියා තිබේ.
ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රී අයිතිවාසිකම් යනාදිය ගැන කතා කිරීමේදී ඕනෑම කෙනෙකු තුළ සැඟවී සිටින ‘සතා‘ කූඩුවෙන් එළියට පැමිණීම ස්වභාවික සංසිද්ධියකි. ටෝනි ඇබොට් කුමනාකාරයේ ‘සත්වයෙක්‘දැයි වටහාගැනීමට ඔහුගේ පාලන කාලය තුළ කළ පහත ප්‍රකාශ ඕනෑවටත් වඩා සෑහෙයි.
ටෝනි ඇබොට්ගේ මේ ප්‍රකාශ, සම්ප්‍රදායික අධිපතිවාදී පිරිමි කතිකාව ම මිස අන් දෙයක් නොවේ. ‘ගැහැණුන් සහ ලිංගික සුළුතරයන් පහත් යැයි‘ සිතන, ඒ නිසා තමන් උසස් යැයි සිතන – මෙවැනි අධිපතිවාදී මත දරන පිරිමි මේ ලෝකයේ කෝටි ගණනින් සිටිති. ඔවුන් මුල් පුටු- තනතුරුවලට පත් වූ විට ඔවුන්ගේ සත්‍ය තත්වය ලෝකයටම පෙනෙන්නට පටන් ගනියි.
නමුත් ඔවුහු ලෝකයේ විවිධත්වයේ සුන්දරත්වය ග්‍රහණය කර ගැනීමට සමත් නොවෙති. අනෙකාට ඉඩ දීමේ – නිදහස දීමේ සුන්දරත්වය නොදනිති. ඒ වෙනුවට ගැහැණුන්ට සහ විවිධ ලිංගික අනන්‍යතා සහිත මනුෂ්‍යයන්ට වෛර කරන, එයින් නොනැවතී ලෝකයටම වෛර කරන කෝපාවිෂ්ට පිරිමි වශයෙන් ‘ලොකු කම‘ පමණක් සන්තකය ලෙස දරමින් ජීවිතයේ විශ්‍රාම යති.
ඇබොට්ලා ගේ අවුල කුමක්ද? මෙවැනි අය තමන් වරප්රසාදිත යැයි කල්පනා කරමින් සෙසු අයව පහළට දමති. ඔබ සිතන්නේ ඒ ගතිය බලපවත්වන්නේ ගැහැණුන් හෝ සමරිසි ප්‍රජාව විෂයෙහි පමණක් කියාද? එතැනදී ඔබට මාරාන්තික ලෙස වැරදෙයි.
මේ ‘අවුල‘ ඇති මිනිසුන්ගේ මහපොදු සාධකයක් දැකගත හැකිය. එනම්, තමන්ට වඩා බලයෙන් අඩු අයව පාගා දැමීමට ආශා කිරීමයි. එය ප්‍රකට වන්නේ අනුන්ගේ අයිතිවාසිකම් කිසිදු හිරිකිතයක් නැතිව කඩ කිරීමෙනි. එහි ප්‍රතිඵලයක් ලෙසට, ස්ත්‍රීන් සහ ලිංගික සුළුතරයට පමණක් අදාළ නොවන ගෝලීය ප්රශ්නවලදී ද මේ සැඟවුණු හරයාත්මක ගැටළුවම විවිධ වේශයන්ගෙන් පෙනෙන්නට පටන් ගනියි.
‘ගෝලීය උණුසුම ඉහළ යාම නතර වී තිබේ‘‘ යැයි වරක් ටෝනි ඇබොට් පවසන්නේ එනිසා ය. තමන් වරප්රසාදිත බව හැමවිටම හඟින නිසාම ලෝකයට හෙණ ගැහී ගියත් ඔහුට ප්‍රශ්නයක් නැත. මුළු ලෝකයට මිහිතලයේ උණුසුම සෙල්සියස් අංශක 3 කින් අඩු කරගතහැකි ක්‍රමයක් නළල් තල රැළි කරගෙන සොයද්දී ටෝනි ඇබොට්ලා ඒ දෙස බලා සමච්චලයෙන් සිනාසෙන්නේ එනිසා ය.
ඔහු තමන්ගේ ආවේණික අවුල නිසාම යථාර්ථය දැකීමට සහ එය පිළිගැනීමට අසමත් වෙයි.
මේ තත්වය තුළ එක්සත් රාජධානියේ ලේබර් පක්ෂය සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ටෝනි ඇබොට් හට මේ තනතුර ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම පුදුමයට කාරණයක් නොවේ.
එක්සත් රාජධානියේ අන්තර්ජාතික වාණිජ්‍ය කටයුතු පිළිබඳ ලේකම් ලෙස කටයුතු කරන එමිලි තෝන්බෙරි දැනටමත් කියා තිබෙන්නේ ටෝනි ඇබොට් හට මේ තනතුර දැරීමට සුදුසුකම් නැති බවයි. ‘ආක්රමණකාරී/අප්‍රසන්න ප්රකාශයන්ගේ ඉතිහාසය සමග ඔහු එක්සත් රාජධානිය නියෝජනය නොකළ යුතුය‘ යැයි එහිදී ප්‍රකාශ විය.
‘‘He should not be representing the UK given his history of “offensive statements”.
– Emily Thornberry, the shadow international trade secretary
මේ අතර, අධිකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලේබර් පක්ෂයේ මන්ත්‍රී ඩේවිඩ් ලැමී දැඩි සේ ආණ්ඩුවට චෝදනා කරන්නේ ‘ඇබොට් හෝමෝෆෝබික් සහ ස්ත්රීන්ට වෛර කරන කෙනෙක් (misogynist). ඒ ගැන ආණ්ඩුවට කිසිම සැලකිල්ලක් නැහැ.‘‘ යනුවෙනි.
කොහොම නමුත් එක්සත් රාජධානියේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ට ටෝනි ඇබොට් වැනි උපදේශකයෙකු ලැබීම, පුදුමයට කාරණයක් නම් නොවේ.
මෙතරම් වැදගත් තනතුරකට පත් කරන ටෝනි ඇබොට්ගේ ඉතිහාසය ගැන පසුගිය සිකුරාදා බොරිස් ජොන්සන්ගෙන් ඇසූ විට ඔහු ගත් කටටම කීවේ ඔහුට එය ප්‍රශ්නයක් නොවන බව ය!
එපමණක් නොව, ‘‘මෙයා ඔස්ට්‍රේලියාවේ ලිබරල්, ඩිමොක්රටික් මිනිස්සු විසින් නායකත්වයට පත් කරගෙන හිටපු කෙනෙක්..‘ යැයි ද බොරිස් ජොන්සන් කීවේය.
“This is a guy who was elected by the people of the great, liberal, democratic nation of Australia.
මෙතැන තිබෙන බරපතළ තක්කඩි කම නම්, ඔස්ට්‍රේලියාවේ ලිබරල් හෝ ඩිමොක්රටික චින්තනයේ පරම සතුරෙකු වූ ටෝනි ඇබොට්ව, ඔහු ඒ ප්රජාතන්ත්රවාදයට කළ මහා සතුරුකම් සියල්ල අමතක කර දමා එහි නාමයෙන්ම උත්කර්ෂයට නැංවීමයි.
එංගලන්තයේ වාණිජ ගනුදෙනු සහ ටෝනි ඇබොට්ගේ නාරි ද්වේශය හෝ හෝමෝෆෝබියාව අතර කිසිම සම්බන්ධයක් නැතැයි ඔබ තවමත් සිතනවා නම් දේශගුණික විපර්යාසය ගැන ටෝනි ඇබොට් කියා ඇති දේ නැවත කියවන්න..
මේ දෙදෙනා තකට තක බවට උදාහරණ ඕනෑ තරම් ය. ‘ඔක්කොම කුණු බේරෙ වැවට‘ යැයි ලංකාවේ කියමනක් තිබේ. ‘තකට කත‘ යැයි තවත් කියමනක් තිබේ. බලාගෙන යන විට එක්සත් රාජධානියේ වත්මන් දේශපාලන බලාධිකාරියත් ට්‍රම්ප්ගේ බලාධිකාරිය සේම බේරේ වැවකි. එතැනදී එංගලන්තයේ බොරිස් ජොන්සන් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබොට් තකට තක ය.
ඒ බව ඉදිරියේදී තවත් ප්රත්යක්ෂ වීමට නියමිත ය.