×

කොරෝනා හරඹයට ඕස්ට්‍රේලියානු සටන්කාමියකු පෙරට!

වෛරසය මර්දනය කිරීම සඳහා මෙය යෝධ පියවරක් ගනු ඇති බවට විශ්වාසයයි..


මේ දින වල පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පළමු වරට එහි ව්‍යාප්තිය මන්දගාමී කරන ප්‍රතිජීවකයක් නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් ව ඇති බවට වාර්තා වේ.

මෙම පුවත වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙනි.

චීනයෙන් පිටත පළමු වරට වුහාන් වෛරසය ප්‍රතිවලිත කරවා නිපදවූ ප්‍රතිජීවකයක් මඟින් ආසාදිත පුද්ගලයකුගේ රෝග ලක්ෂණ මතුවීමට ප්‍රථම වෛරස ව්‍යාප්තිය මන්දගාමී කිරීමට සමත් බවට තොරතුරු වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නුවර පීටර් ඩොහර්ටි ඉන්ස්ටිටියුට් ෆෝර් ඉමියුනිටි නම් පර්යේෂණ ආයතනය විසින් පසුගිය අඟහරුවාදා (28) දින මෙම සොයාගැනීම සිදුකර ඇත.

මෙකී ප්‍රතිජීවකය කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සඳහා සිදුකරන ප්‍රතිකර්ම නව මාවතකට රැගෙන යනු ඇති බවට එම ආයතනයේ වෛරස හඳුනාගැනීමේ රසායනාගාර ප්‍රධානී ජුලියන් ඩෘෘස් මහතා සඳහන් කළේය.

මේ අනුව බලන කළ, වෛරස ප්‍රතිවලිතයක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල තුළ සැබෑ වෛරසයේ ක්‍රියාකාරීත්වය, පාලිත තත්ත්ව, සංවේදීතාවයන් හා මර්දනය අධ්‍යයනය කිරීම පහසු වනු ඇති බවත් ඒ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ලොව පුරා වාර්තාගත කොරෝනා ආසාදිතයින් හය දහසක් පමණද, මරණයට පත් පුද්ගලයින් 132 වශයෙන්ද සටහන් වී තිබුණ මුත් නිල නොවන මට්ටමින් මෙම සංඛ්‍යාවන් පුරෝකථනය කිරීමට කිසිවකුත් නොදනී.

ලොව පුරා වෛද්‍ය පර්යේෂකයන් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විවිධ ප්‍රතිකර්ම අත්හදා බලමින් සිටින වාතාවරණයක් තුළ ඒ බොහෝ පර්යේෂණ අසාර්ථක වී තිබෙන්නේ සජීවී වෛරස සාම්පලයක් ලබා ගැනීමේ නොහැකියාව හේතුවෙනි.

මීට ඉහත දී චීනයේ රසායනාගාරයක වූහාන් වෛරසය ප්‍රතිවලිත කිරීමට සමත් වූ බවට විදෙස් පුවත් වාර්තා කර තිබුණ ද, එය පර්යේෂණාගාරයෙන් පිටත අත්හදා බැලීමට සමත් වී නොතිබිණි.

කෙසේවෙතත්, වෛරස ජිනෝමය (ඒකගුණ න්‍යෂ්ඨියක අඩංගු සමස්ත ඩීඑන්ඒ ප්‍රමාණය) වෙන්කර හඳුනා ගැනීමට එම පර්යේෂකයන් සමත් වී තිබූ බවද වාර්තා වී තිබිණි.

දැනට වාර්තා වන අන්දමට, ඕස්ට්‍රේලියාවේ පීටර් ඩොහර්ටි ඉන්ස්ටිටියුට් ෆෝර් ඉමියුනිටි ආයතනය සිදු කළ නව සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දීමට නියමිත ය.

ඒ අනුව, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා යෝධ පියවරක් ගනු ඇති බවට විශ්වාසය තබා ගත හැකි බවට විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ පීටර් ඩොහර්ටි ඉන්ස්ටිටියුට් ෆෝර් ඉමියුනිටි ආයතනයේ ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය මයික් කැට්න් මහතා ප්‍රකාශ කළ පරිදි මෙම යෙදුම මඟින් සැබෑ වෛරසය මිනිස් ශරීරයට පහර දෙන අන්දම සූක්ෂමව අධ්‍යයනය කිරීම පහසු කරවනු ඇත.

ඒ අනුව මිනිස් ප්‍රතිදේහ සඳහා සිදුකරනු ලබන පරීක්ෂාවකින් රුධිරයේ වෛරසය ක්‍රියාත්මක වන ආකාරය හා ප්‍රතිවලිත වන ආකාරය මෙම යෙදුම ඔස්සේ අධ්‍යයනය කිරීමට පහසු වනු ඇති බවට හෙතෙම සඳහන් කරයි.

කොරෝනා වෛරසය මිනිස් ශරීරයට මාරක තත්ත්වයෙන් බලපාන්නේ කුමන අවධියේදී ද යන්න පවා මින් හඳනා ගත හැකි වනු ඇති බවට වෛද්‍ය මයික් කැට්න් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙල්බර්න් පර්යේෂණාගාරයේ විද්‍යාඥයින් විසින් මෙම වෛරසයේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා ආසාදනය තහවුරු වූ රෝග වාහකයකුගේ සාම්පල ලබා ගෙන තිබේ.

මෙම රෝගියා පසුගිය ජනවාරි 24 වන දින පීටර් ඩොහර්ටි ඉන්ස්ටිටියුට් ෆෝර් ඉමියුනිටි ආයතනයට ඇතුලත් කර ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෛරස ආසාදිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ බොහෝ දෙනා පැමිණ සිටින්නේ චීනයේ සිට බවද වාර්තා වේ.

වෛරසය ආසාදනය වී දින 14ක පමණ කාලයක් දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් සිදු නොවන අතර වෛරස තක්සේරු කාලය ලෙසින් හැඳින්වෙන එම කාලසීමාව තුළ මෙම ප්‍රතිජීවකය ක්‍රියාත්මක කරවිය හැක්කේ නම් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව විශ්වාසයයි.

මීට අමතරව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පසුගිය බදාදා (29) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ,

චීනයේ වූහාන් නගරයේ සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයන් නිරුපද්‍රිතව ගෙන්වා පරීක්ෂා කිරීම සඳහා ඉන්දියානු සාගරයේ ක්‍රිස්මස් දූපතේ නිරෝධායන මධ්‍යස්ථානයක් විවෘත කරන බවටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි