×

මස් මඩුවේ ලියැවෙන – පවුම් ලක්ෂ ගණන්වලට ඔට්ටු දැමූ රේස් අශ්වයන්ගේ වේදනාකාරී අවසානය

තුරඟ තරඟ සඳහා රේස් දැමීම ධනවතුන්ගේ පමණක් නොව, හදිසි වාසනාව පතන දුප්පතුන්ගේ ද ජනප්‍රිය ක්‍රීඩාවකි.


රේස් ඔට්ටු, සූදු කර්මාන්තය ලංකාවේ පවා අතිශය පුළුල් ලෙස ක්‍රියාත්මක වේ. නමුත් මේ ජවාධිකයන්ගේ අවසන් ඉරණම මස් මඩුව යැයි කිසිවෙකු සිතුවේ නැත.

ලෝකයම සසල කළ මෙම සිදුවීම වාර්තා වූයේ එංගලන්තයෙන් සහ අයර්ලන්තයෙනි. BBC Panorama විමර්ශනයක් හරහා මේ බව හෙළිකරගෙන තිබේ. Animal Aid නමැති සත්ව අයිතිවාසිකම් සංවිධානය විසින් මෙම ස්ථානවල කැමරා සඟවා සැබවින්ම සිදුවන්නේ කුමක්දැයි සොයා බලා ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී අශ්ව පුහුණුකරුවෙකු වූ ගෝර්ඩන් එලියට්, මළ අසෙකුගේ සිරුර මත වාඩි වී ජයග්‍රාහී ලීලාවෙන් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රචලිත විය. Grand National තරගාවලියේ තුන් වරක් ශූරතා දිනූ මෙම පුද්ගලයාව සැප්තැම්බර් 9 වැනිදා දක්වා තුරග තරග තහනමකට ලක් කිරීමට ද ක්‍රියා කෙරිණි. කෙසේ නමුත් ලෝකයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය පිළිබඳ ගවේෂණය කිරීමට තීරණය කෙරිණි.

 

මෙසේ මස් මඩුවට දක්කා ඇති ඇතැම් රේස් අශ්වයන් ගේ හාම්පුතුන් සහ පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබෙන්නේ ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් ඇති අය ය.

අනතුරුව ඔවුන් කළේ තොරතුරු පනත හරහා කළ තොරතුරු ඉල්ලා සිටීමයි. මේ රටවලදී තොරතුරු පනත හැඳින්වෙන්නේ ‘තොරතුරු නිදහස පිළිබඳ පනත‘ (Freedom of information Act) යනුවෙනි. එම තොරතුරු ඉල්ලීම්වලින් ලැබුණු තොරතුරුවලින් පෙනී ගියේ, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය තුළ 2019 වසරේ මුල පටන් මේ දක්වා රේස් අශ්වයන් 4,000 කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බව යි. එයින් බොහෝ දෙනා අයර්ලන්තයේ පුහුණු කළ සතුන් ය.

එංගලන්තයේ රේස් අසුන් මරා දැමීම සඳහාම බලපත්‍ර ලත් ආයතන තිබේ. තුරග තරග තහනම් කළ යුතු බවට දීර්ඝ කාලයක පටන් සටන් කරන Animal Aid සංවිධානය, එවැනි එක් අශ්ව ඝාතකාගාර දෙකක රහස් කැමරා සවි කළේ උන්ට වේදනා රහිත මරණයක් ලබාදෙන්නේ ද යන්න දැන ගැනීමට ය. එම පටිගත කිරීම් 2019 අගභාගයේ සහ 2020 මුල භාගයේදී සිදුකළ ඒවා ය.

එම වීඩියෝව දැක තමන් සලිත වූ බව සත්ව හිමිකම් සංවිධානය පසුව කීවේය. එහි දැක්වුණේ මරා දැමෙන රේස් අශ්වයන්ගෙන් වැඩි කොටස තරුණ වියේ පසුවන සතුන් බව ය. අතීතයේදී පවුම් දහස් ගණන් දිනා දුන් වියපත් රේස් අශ්වයන් ද ඉයුතන්සියා ක්‍රමයට අවසන් ගමන් යන ආකාරය ඒවායින් දැක්විණි. එම අශ්වයන් අතරින් තිදෙනෙක් ඉහත කී ගෝර්ඩන් එලියට් විසින්ම, අයර්ලන්තයේ සිය ඉස්තාලවලදී පුහුණු කළ සතුන් විය.

 

ඉයුතන්සියා හෙවත් සුඛ මරණයේදී වේදනාවක් අත් නොවේ. තවද බ්‍රිතාන්‍ය යේ පවතින නීතිවලට අනුව, අශ්වයෙකු යම් හෙයකින් මෙසේ මරණයට පත් කරන්නේ නම්, එම සිද්ධිය වෙනත් අශ්වයෙකු විසින් නොදැකිය යුතුය. එයින් ඇතිවන කම්පනය මග හරවා ගැනීමට එයින් අදහස් කෙරේ. නමුත් පෙර කී වීඩියෝවේ දැක්වෙන්නේ දින 4 ක් ඇතුළත අශ්වයන් රැසක් එක ගොඩේ දමා උන්ට 26 වතාවක් වෙඩි තබන ආකාරයයි. ඇතැම් සතුන් පණ අදිමින් බොහෝ වේලා ගත කරමින් ඉතාම වේදනාකාරී මරණයක් ලබාගන්නා අයුරු ද එයින් දැක්විණි. තවද වීඩියෝවේ දැක්වෙන පරිදි, මෙම අසුන්ගේ හිස සහ ගෙළ කිසිවකට සිර කර තබා තිබෙන්නට ඇත්තේ, උන් මරණ මංචකයේදී හිස සෙළවීමක් පවා නොකරන නිසා ය. ඈත සිට වෙඩි තබන අවස්ථා 91 ක් වීඩියෝවල පටිගත වී තිබිණි. නමුත් පහසු මරණයක් ලබාදීමට නම් අශ්වයෙකුට කිසිවිටෙකත් දුර සිට වෙඩි නොතැබිය යුතුය. තවද මරා දැමීම සඳහාම අයර්ලන්තයේ සිට මුහුදෙන් සහ පාරවල් දිගේ සැතපුම් 350 ක් දුර අශ්වයන් බ්‍රිතාන්‍යයට ගෙනැවිත් ඇති බව ද හෙළි වේ. ඒ සා දුරක් නොකඩවා දක්කාගෙන එන විට ඕනෑම නිරෝගී සතෙකු නිත්‍ය ලෙස දුබල තත්වයට පත් විය හැකිය.

නමුත් ඔවුන් මේ තාක් කාලයකට ලෝකයට කියමින් සිටියේ ‘ඉතාම මානුෂික ආකාරයට‘ මේ සතුන් අවසන් ගමන් ගිය බව ය.

ගෝර්ඩන් එලියට් මෙම සතුන් පිළිබඳ කිසිදු සානුකම්පිත බවක් දැක්වූයේ නැත. උන් පුහුණු කිරීම්වලදී තුවාල ලැබූ බවත්, මරා දමන විට නීත්‍යානුකූල ලෙස සිය භාරයේ නොසිටි බවත් ඔහු කියා ඇත.

සිය අශ්වයන් මරා දමන ආකාරය තමන් මුල් වරට දුටුවේ BBC Panorama කණ්ඩායම තමන්ව ඇමතූ අවස්ථාවේදී බව ද ඔහු කීවේය. එය අතේ පැළවෙන බොරුවක් බව පසක් වන්නේ ඔහු මළ අසෙකු පිට නැගී වීරයෙකු සේ ගත් ඡායාරූපය දකින විට ය.

ලෝකයම විස්මිත වී බලා සිටින තුරග තරගවල තවත් නිර්ලජ්ජිත අන්ධකාර පැතිකඩක් මේ අනුව නිරාවරණය වී තිබේ. සතුන් ජීවත් විය යුත්තේ මිනිසාගේ අරමුණු වෙනුවෙන් යැයි මිනිසා සිතන තාක්කල්, ගෝර්ඩන් එලියට්ලා බිහිවීම නතර කළ නොහැක. රේස් අශ්වයන්ගේ මේ කතාන්දරය, ඉන්දියාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යොදන ගවයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘වලවෙට්ටුවා‘ ටෙලි නාට්‍යයේ තලගොයි මස් කවමින්, කිරි පොවමින්, අඬුවලට පිහි තල බඳිමින් ඇති දැඩි කරන පොර කුකුළන්ට ද අදාළ විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි