×

බකිංහැම් මාළිගය අසල සුපිරි හෝටලයක රු.35,000 කට රස බලන ලංකාවේ තේ කෝප්පය

මෙය අප එකවර හැඬිය යුතු සහ සිනාසිය යුතු කතාන්දරයකි. ජේම්ස් ටේලර්ගේ සිට ගෝල්ඩන් ටිප්ස් දක්වා ලංකාවේ තේ කතාව


සුදු ජාතිකයන් තේ පානය ගැන ඉතාම බරපතළ ආකාරයෙන් සිතන බව ලොවට රහසක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි යටත් විජිත ඒ ගැන හොඳින්ම දනියි. පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේ 1824 වසරේ වාණිජමය නොවන පරමාර්ථයෙන් සිටවූ බව කියන පළමු තේ පඳුරේ කතාව, 1867 වසරේදී ලූල්කඳුර වතුයායේ අක්කර 19 ක් පුරා ව්‍යාප්ත කළ ජේම්ස් ටේලර් නිසා සදහටම වෙනස් වුණේය. 1872 දී පළමු සිලෝන් ටී කන්ටේනරය ඔහු යැව්වේ ද ලන්ඩනයට ය.

ෂර්ලොක් හෝම්ස් ලියූ සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක – බ්‍රිතාන්‍ය නවකතාකරු ආතර් කොනන්ඩොයිල් වරක් මෙසේ කියයි.”…the tea fields of Ceylon are as true a monument to courage as is the lion at Waterloo” – ‘‘ලංකාවේ තේ යායන්, වෝටර්ලූ සිංහයා මෙන්ම ධෛර්යයේ සැබෑ සිහිවටනයකි.“

යටත් විජිත යුගය බිඳ වැටී සුදු ජාතිකයන්ට යටත් විජිතවලින් නොමිලේ ලැබෙන තේ කන්ටේනර් ගැන අදහස අත් හැරගන්නට සිදුවුවද ඔවුන් ට අදටත් තේ යනු ඉතාම ‘සීරියස්‘ පානයකි. මේ සංස්කෘතිය ඉදිරියට ගෙන යමින් ලන්ඩනයේ බකිංහැම් මාළිගය අසල පිහිටා තිබෙන සුපිරි හෝටලයක් එක්සත් රාජධානියේ මිලෙන් අධිකතම තේ කෝප්පය පාරිභෝගිකයන්ට පිළිගන්වයි.

ද පැලස් ප්‍රදේශයේ පිහිටා ඇති ‘ද රූබන්ස්‘ The Rubens නමැති මේ හෝටලය දුර්ලභ ගණයේ තේ වර්ගයකින් සිය පාරිභෝගිකයන්ට සංග්‍රහ කරන්නේ සිත් ගන්නාසුලු නිමැවුමක් ලෙස ය. ඒ තේ පෝච්චියක මිල ඩොලර් 620 කි. ඒ අනුව දළ වශයෙන් එම තේ කෝප්පයක මිල ඩොලර් 200 කි. එනම් ලංකාවේ මුදලින් දළ වශයෙන් රු. 35,200 කි.

මේ කතාවේ හොඳම හරිය එය නොවේ. මේ තේ වනාහී, ශ්‍රී ලංකාවේ කඳුකරබද තේ වතුවල නිපදවන Golden Tips තේ වර්ගයයි.

මේ පිළිබඳ ලිපියක් පළ කරමින් සීඑන්එන් පුවත්සේවය මෙසේ පවසයි.
‘‘Golden Tips is hand-picked by expert tea-pluckers and sundried on a velvet cloth, which turns the buds from silver to gold.‘‘

‘‘ගෝල්ඩන් ටිප්ස්, විශේෂඥ තේ දළු නෙළන්නන් විසින් අතෙන් නෙළා – හිරු එළියේ විල්ලුද රෙද්දක් මත එළීමෙන් පසු රිදී පැහැයෙන් රන් පැහැයට හැරුණු තේ දළු ය.‘‘

Expensive blend

Golden Tips tea served at The Rubens at the Palace for £500 per pot
ඈතින් පෙනෙන බකිංහැම් මාළිගය නරඹමින් මේ තේ කෝප්පයක රස විඳිය හැකිය.
Courtesy The Rubens

රාජකීයයෙකු මෙන් එම තේ කෝප්පයක රස විඳිය හැකි බව ද මේ සුපිරි හෝටලය තවදුරටත් පවසයි.

රාජකීය සංග්‍රහයක්

Golden Tips tea served at The Rubens at the Palace for £500 per pot

ගෝල්ඩන් ටිප්ස් තේ බඳුනක් පිරිනැමෙන්නේ රාජකීයත්වය හඟවන කදිම තේ කට්ටලයකිනි. මේ තේ කෝප්පයක මිල ඉතා අධික යැයි ඔබ සිතනවා නම් මදක් අන්තර්ජාලය පිරික්සන්න. එහි මිල අධික බවට හේතු ගණනාවක් ඔබට සොයාගත හැකි වනු ඇත. අතීතයේ පවා ගෝල්ඩන් ටිප්ස් තේ කොළ රාත්තලක මිල ඩොලර් 1500 ක් බව සඳහන් වේ.

ග්‍රෑම් 20 ක් ඩොලර් 20 කට අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි ගෝල්ඩන් ටිප්ස් තේ දළු ගැන කතා කළ යුතු දේ බොහෝ ය. එක් අතකින්, ලංකා පොළොවේ වැවෙන තේ දල්ලකට මෙතරම් ඉහළ මිලක් නියම වීම සතුට දනවන කාරණයකි. අනෙක් පසින්, ‘විල්ලුද පලස මත තේ වේළන- තේ දළු නෙළන විශේෂඥ අත්‘ ගැන මොහොතකට සිතන්න. පූර්ණ කාබනික, අඩු ප්‍රමාණයකින් පමණක් නිපදවන, ඒ නිසාම ඉහළ වෙළඳපොළක් හිමි කර ගෙන තිබෙන මේ තේ දළු නෙළන අත්වලට අවසානයේ ලැබෙන දවසක වැටුප රු. 1000 කිරීම පවා පසුගිය සමයේදී ජාතික ප්‍රශ්නයක් බවට පත් ව තිබුණේය. ලංකාවේ වතු කම්කරු වැටුප් ප්‍රශ්නය තවමත් එලෙසම ය.

අවසාන විග්‍රහයේදී තේ පැළය ලංකාවට ගෙන ආ සුදු මහත්තයා විසින් ලංකා තේවලට එංගලන්තය තුළදී සාධාරණය ඉෂ්ට කර තිබේ. ලංකාව 1948 වසරේදී සුද්දාගෙන් නිදහස නොලැබුවා නම් හොඳ යැයි සිතෙන්නේ මෙවැනි වේලාවලට ය. සැබවින්ම එදා සුද්දා අපෙන් නිදහස් වුණේය. දැන් ඔහු නිදහසේ, ලෝකයේ ඉහළම මිලක් ගෙවමින් ලංකාවේ ගෝල්ඩන් ටිප්ස් තේ කෝප්පයක් සාඩම්බරයෙන් රස විඳිමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි