×

සවුදි ඩ්‍රෝන ප්‍රහාරයට වගකීම භාරගත් හවුතිවරුන්ගෙන් ප්‍රකාශයක්!

යෙමනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරන්න.. එවිට අප විසින් ද සවුදියට ප්‍රහාර එල්ල කිරීම නතර වනු ඇත..


පසුගිය සති අන්තයේ ගෝලීය බලශක්ති හා ආර්ථික සැපයුම් දාමයට ප්‍රභල බලපෑමක් ඇති කිරීමට සමත් වූ සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගත් යෙමනයේ ඉරාන හිතවාදීන් යැයි පැවසෙන හවුතිවරුන් විසින් ප්‍රකාශයක් නිකුත්කොට තිබේ.

මෙම හවුතිවරුන් විසින් ප්‍රකාශ කොට තිබෙන්නේ යෙමනය ඉලක්ක කරගෙන සතුරු සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර දියත් කිරීම වහා නතර කරන්නේ නම්, තම කණ්ඩායම් ද සවුදි අරාබිය ඉලක්ක කොට ගෙන මින් මත්තට මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාර දියත් නොකරන බවයි.  

නිල නිවේදනයක් නිකුත් කරමින් හවුති ව්‍යාපාරයේ නිලධාරියකු පසුගිය සිකුරාදා (20) දින මෙම ප්‍රකාශය සිදු කොට ඇත. 

හවුති ව්‍යාපාරයේ සභානායක මහ්දි අල්-මෂත් ප්‍රකාශ කොට සිටියේ තම දේශපාලන කණ්ඩායමට මේ පිළිබඳ අදහස් දැක්වීමේ අවශ්‍යතාව පැවති බවත්, යුධමය වාතාවරණයකට මුලපිරීම තම අවශ්‍යතාව නොවන බවත් ය. 

පසුගිය දින සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුව වගකිව යුත්තේ ඉරානය බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර සිටියේය. කෙසේ වෙතත්, එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රාජ්‍ය මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි නොමැතිව පාර්ශවයකට චෝදනා එල්ල කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දුන්හ. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි