×

ඉපදී නැති අයටත් ප්‍රොෆයිල් පින්තූර: AI තාක්ෂණයෙන් බිහි කළ චීන ප්‍රොපගැන්ඩා ජාලයක් ගැන ප්‍රබල හෙළිදරව්වක්

AI හෙවත් කෘත්‍රිම බුද්ධිය අනාගත ලෝකයේ හැඩරුව හොඳට මෙන්ම නරකට ද වෙනස්කරමින් සිටියි.


BBC පුවත් සේවය අනාවරණය කරන පරිදි මේ වන විට චීන ප්‍රොපගැන්ඩාව ශක්තිමත් කිරීම සඳහා, අතිශයින්ම තාත්වික යැයි පෙනී යන ව්‍යාජ ප්‍රොෆයිල 350කට වැඩි සංඛ්‍යාවක් සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.

එවැනි ප්‍රොෆයිල ලක්ෂ ගණනක් තිබිය හැකි නමුත් පර්යේෂණයක් මගින් මෙම ෆේක් ප්‍රොෆයිල නිවැරදිව හෙළිදරව් කරගෙන ඇති අතර, ඒවා නිර්මාණය කරන ආකාරයත්, නඩත්තු කරන ආකාරයත් හසු කරගෙන ඇත.

Centre for Information Resilience (CIR) ආයතනය මගින් සිදුකළ අධ්‍යයනයකින් මේ තොරතුරු හෙළි වේ.

තමන් ගැනම පාපොච්ඡාරණය කරන ෆේක් ප්‍රොෆයිල

මෙම ෆේක් ප්‍රොෆයිල ඇතැමක් සිය සමාජ මාධ්‍ය ජීවිතය ගත කරන්නේ තමන් කළ වැරදි ගැන පාපොච්ඡාරණය කරමිනි. එවැනි අය අතර, අකටයුතුකම් නාද කරන්නන් හෙවත් විෂ්ල්බ්ලෝවර්ස්ලා ලෙස සැලකුණු ලී මෙන්ග් යැන් සහ පසුගියදා අත්අඩංගුවට ගැනුණු සමාජක්‍රියාකාරී ව්‍යාපාරිකයෙකු වූ ගුවෝ වෙන්ගුයි මෙන්ම ට්‍රම්ප් හා ඔහුගේ ආධාරකරුවන් වන ස්ටීව් බෙනන් වැන්නන්ද වෙති. ඔවුන් තමන් කළ වැරදි ගැන කියමින් කාටුන් නිකුත් කරති!

ව්‍යාජ පුවත් පැතිරවීම ගැන ඔවුහු තමන්ටම දොස් පවරා ගනිති. කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පැතිරවීම ද ඒ අතර වේ.

ඇමරිකාවේ දුර්වල මානව හිමිකම් වාර්තාව මෙම ප්‍රොෆයිලවල පොදු ලක්ෂණයකි. ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන නොකඩවා හඬ නැගීම ඇතැම් ප්‍රොෆයිලයක ලක්ෂණයයි. ආසියානුවන්ට එරෙහිව බටහිර ජාතීන් විසින් කුමන්ත්‍රණ කරන බව පැවසීම ද ජනප්‍රිය කතිකාවකි.

පහත ප්‍රොෆයිලය ට්විටර් සමාජ ජාලය ඔස්සේ පළ කරන්නේ, 2020 සැප්තැම්බර් මාසයේ පටන් ඇමරිකාවේ ගිනි අවි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 20,000 කට අධික පිරිසක් මරණයට පත් ව ඇති බව ය. චීන සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඒ බව පළ කරයි.

මේ සමහර ප්‍රොෆයිලයක් Twitter, Facebook, Instagram සහ YouTube වැනි සියලුම සමාජ මාධ්‍යවල පවතින අතර, ඒ අනුව කිසිවෙකුට ඒවායේ සැක සහිත බවක් අනුමාන කිරීමටවත් නොහැකි ය.

බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් චීනය සුද්ද කිරීම

බටහිර ජාතීන් කුමන්ත්‍රණකාරී බව කියමින් චීනය හරි බව කීම, මේ ප්‍රොපගැන්ඩාවේ පොදු ලක්ෂණයකි.

ඒ අනුව ඇතැම් ප්‍රොෆයිලවල එකම අරමුණ වී තිබෙන්නේ චීනයේ සින්ජියැන්ග් පළාතේදී මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සුදුහුණු ගෑමයි. නිරීක්ෂකයන්ට අනුව මෙහි මිලියනකට අධික මුස්ලිම්වරුන් පිරිසක් සිය කැමැත්තට එරෙහිව රඳවා තබාගෙන සිටියි. නමුත් මේ ප්‍රොපගැන්ඩා ජාලයට අනුව එය එක හෙළාම ඇමරිකාව සහ බටහිර විසින් ගොතන ලද බොරුවකි.

මීට පෙර සමාජ මාධ්‍ය විශ්ලේෂණයේ යෙදෙන Graphika ආයතනය විසින් මේ හා සමාන ලක්ෂණවලින් යුක්ත “Spamouflage Dragon‘‘ නමැති ප්‍රොපගැන්ඩා ජාලයක් හඳුනාගෙන තිබිණි. විශේෂඥයන්ට අනුව මෙවැනි ප්‍රොපගැන්ඩා ජාලවලට මුදල් පොම්ප වන්නේ කොතැනින් ද යන්න සොයාගැනීම පහසු නැත. තවද ඒවා චීන ආණ්ඩුවට හා සම්බන්ධ බවට ද සෘජු තොරතුරු හෙළි නොවේ.

AI තාක්ෂණයේ අලුත්ම සෙල්ලම

 

AI හෙවත් ‘ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්‘ කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වයි. සාමාන්‍ය යෙන් ෆේක් ප්‍රොෆයිලයක් සාදා ගැනීමේදී මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වන්නේ ප්‍රොෆයිල් පින්තූරයක් සොයාගැනීමයි. ඉහත කී ව්‍යාජ ප්‍රොෆයිලවල ඇති විශේෂත්වය වන්නේ ඒ සියලුම ප්‍රොෆයිල් පින්තූර AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඒවා (AI generated photos) වීමයි.

ඒවා සත්‍ය ඡායාරූප කිහිපයක් මිශ්‍ර කර සාදා ගන්නා අතර, StyleGAN නමැති නවතම තාක්ෂණයක් එයට යොදා ගනියි. මෙහි ප්‍රතිඵලය ලෙසට, ෆොටෝ ෂොප් වැනි ඡායාරූප වෙනස්කරන මෘදුකාංග කිසිවකින් කළ නොහැකි තරම් සූක්ෂම සහ නිවැරදි ලෙසට, සිතාගැනීමටවත් නොහැකි තරම් තාත්වික ලෙසට අලුත් ප්‍රොෆයිල පින්තූර ලැබේ.

StyleGAN යොදාගත් විට සිදුවන්නේ, ඡායාරූපයක සත්‍යාසත්‍ය බව මනින ‘රිවර්ස් ඉමේජ් සර්ච්‘ වැනි කිසිදු ක්‍රමයකින් ඒවායේ වංචාකාරී බවක් නොපෙන්වීමයි.

අල්ලා ගත් හැටි

මෙම අධ්‍යයනය සිදුකළ CIR, මේ හෙළිදරව්ව කිරීම සඳහා විවිධ තාක්ෂණයන් යොදාගත්තේය. එහිදී ඔවුන්ට පෙනී ගියේ, මෙම ව්‍යාජ ප්‍රොෆයිල හැම එකකම ඇස්, පිහිටා තිබෙන්නේ එකම මට්ටමක බවයි. එවැනි තවත් සාධක ගණනාවක් ද ඔවුන්ට සොයාගැනීමට හැකි ව තිබේ. කොණ්ඩය වටේ බොඳ වූ ස්වභාවයන්, අසාමාන්‍ය කෝණයන්ගෙන් යුතුව පිහිටා තිබෙන දත් සහ මුහුණ වටා ඇති පසුබිම මද වශයෙන් හෝ බොඳ වී තිබීම ඒ අතර වේ.

පහත දැක්වෙන්නේ මේ ලෝකයේ ජීවත් ව නැති, කිසිදා සිටියේ ද නැති එවැනි කිහිප දෙනෙකුගේ ප්‍රොෆයිල ය. ඒවා ව්‍යාජ ප්‍රොෆයිල් පින්තූර යැයි කිසිවෙකුට කිව නොහැකි ය.

BENJAMIN STRICK / CIR

YouTube ප්‍රොපගැන්ඩාව වසර ගණනක් ඉවසා කල් යල් බලා කළ දෙයක්

මෙම චීන ප්‍රොපගැන්ඩා නෙට්වර්ක් එක මගින් YouTube හරහා එම ප්‍රොපගැන්ඩාව පතුරුවා තිබෙන්නේ ඉතාම සියුම් ලෙස ය. ඉංග්‍රීසි හෝ ජර්මානු භාෂාවෙන් මීට පෙර අන්තර්ගතයන් පළ කළ මේ ගිණුම්, වසර ගණන් ඒ අන්දමින් හැසිරී අනතුරුව චීන භාෂාවෙන් අන්තර්ගතයන් පළ කිරීමට පටන් ගෙන තිබේ. හදිසියේම එම ගිණුම් සියල්ලම, චීන නිල ගුවන් විදුලියේ පුවත් වලට වැඩි ඉඩක් ලබා දී තිබේ.

තවද CIR විසින් පෙර අනාවරණය වී තිබූ චීන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණවල හෑෂ්ටැග් මේවාට ද යොදාගන්නා බව සියුම් සෝදිසියකින් පසුව අනාවරණය කර ගත්තේය. මේ පිළිබඳ සැකය ප්‍රබල වී තිබෙන්නේ එයිනි.

ට්විටර් සෙල්ලමත් හෙළි කර ගනියි

 

මේ අතර, ට්විටර් සමාජ ජාලය හරහා ස්පෑම් ලෙස හඳුනාගත හැකි ක්‍රියාකාරකම් ගණනාවක මෙම ප්‍රොෆයිල යෙදී තිබේ. වාර්තාවෙන් හෙළි වන පරිදි, එකම අන්තර්ගතයක්, එකම දිනකදී ව්‍යාජ ගිණුම් සිය ගණනකින් අප්ලෝඩ් කර ඇත. මෙම අධ්‍යයනයෙන් පසුව ට්විටර් සමාජ ජාලය , මේ සියලු අන්තර්ගතයන් ‘ස්පෑම්‘ ලෙස වර්ගීකරණය කර ඉවත් කර දැමුවේය.
ෆේස්බුක් ද එයම කළේය.

යූ ටියුබ් සමාජ ජාලය, community guidelines උල්ලංඝනය වූ බව සඳහන් කරමින් මේ සියලු ගිණුම් අවසන් කර දැමීමට කටයුතු කළේය.

නමුත් චීනය Wolf warrior diplomacy හැර වෙනත් ක්‍රමයක් දන්නේ නැත. එදා ලෝකයෙන් භාගයක් භෞතික යුද්ධ මගින් අල්ලාගත් ජෙංගීෂ් ඛාන් චීන අධිරාජ්‍යයාගේ පුනරාවතාරය ලෙස සැලකෙන්නේ චීන ජනපති ෂී ජින් පින් ය. ඔහු ආක්‍රමණය සඳහා යොදාගන්නා ආයුධය පමණක් වෙනස් කර තිබෙන සෙයකි.

කතාව ඉවර නැත!

පහත ග්‍රැෆික් ඡායාරූපය මගින් පෙන්වන්නේ හෙළිකර ගත් ව්‍යාජ ප්‍රොෆයිල එකිනෙකාට සම්බන්ධ වෙමින් සිය මූල ප්‍රොපගැන්ඩාව ශක්තිමත් කරගත් ආකාරයයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, එම ප්‍රොෆයිල විසින් අනෙක් ව්‍යාජ ප්‍රොෆයිවලට කමෙන්ට් කිරීම හෝ ෂෙයා කිරීම මගින් එකිනෙකාව ඔසවා ගත් ආකාරයයි. මෙහිදී එක් එක් කුඩා තිතක් මගින්, එක් ට්විටර් ගිණුමක් නිරූපණය වේ.

BENJAMIN STRICK / CIR

හෙළි වූ ව්‍යාජ ගිණුම් තුන්සිය පණහේ කතාව අපට කියා දෙන්නේ චීන ප්‍රොපගැන්ඩාව පමණක් නොව විවිධ ප්‍රොපගැන්ඩාවන් විවිධ වේශයන්ගෙන්, නවීන තාක්ෂණයන් යොදාගෙන සමාජ මාධ්‍ය විකෘතිකාරී ලෙස ආක්‍රමණය කරමින් සිටින බව ය. මැතිවරණ අත ළඟට පැමිණි පසු පමණක් නොව, එයට වසර ගණනකට පෙර සිටම ට්‍රොල් හමුදා යොදමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රතිරූපය නංවාගත් දේශපාලකයන් ලංකාවේ අපට ද අලුත් නැත.

නමුත් ප්‍රවේශම් වන්න!

ජන මතය හෝ රැල්ල යන අත කෘත්‍රිමව ප්‍රේරණය කරන, හෙළි නොවූ ගිණුම් ලක්ෂ ගණනක් අප අතර තවමත් තිබෙනවා විය හැකිය. ඒවා කිසිවෙකුගෙන් වැටුප් හෝ දීමනා හෝ වෙනත් වාසි ලබමින්, කිසියම් පක්ෂග්‍රාහී දේශපාලන මතයක් පොම්ප කරමින් ඔබේ තොරතුරු අයිතිය හසුරුවනවා විය හැකිය. සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් හට වේගයෙන් සිය තොරතුරු නිදහස අහිමි වෙමින් තිබේ. සමාජ මාධ්‍ය හරහා ඔබට ඔබ අහිමි විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි