හෝමෝ නියැන්ඩතාලෙන්සිස් (Homo neanderthalensis or Homo sapiens neanderthalensis) එසේත් නැතිනම් ‘නියැන්ඩතාල් මානවයා‘ ලෙස කෙටියෙන් හඳුන්වන්නේ අපේ පූර්වජයෙකි. එසේත් නැතිනම් මුතුන්මිත්තෙකි.
අද වන විට ‘නියැන්ඩතාල් මුහුණ‘ යනාදී වශයෙන් මේ දේහ ලක්ෂණ සමාජය තුළ ගර්හාවට සහ සමච්චල් සහගත යෙදුමක් ලෙස යොදා ගැනුණත්, විද්‍යාඥයන් පවසන්නේ අප සෑම කෙනෙක් තුළම, එනම් නූතන මානවයා තුළ අනිවාර්යයෙන්ම 2%ක නියැන්ඩතාල් DNA තිබෙන බව ය.
එපමණක් නොව, මේ ලෝකයේ ජීවත් වන නූතන මානවයාගේ ජාන ගෙනෝමයේ (ජිනෝමයේ) එනම් ජාන සමූහයේ තිබෙන නියැන්ඩතාල් ජාන සියල්ලම ප්‍රහේලිකාවක කොටු මෙන් එකතු කළහොත්, අපට නියැන්ඩතාල් මානවයාගේ ගෙනෝමයෙන් 40%ක් 0 50% ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එක්රැස් කර ගැනීමට ද පුළුවන්කම තිබේ!
මානව හා පරිණාම විද්‍යාඥයන් පවසන අන්දමට ලොව පුරා නියැන්ඩතාල් ජාන සංසරණය වීම සිදුව තිබෙන්නේ පුදුම සහගත ලෙසය.
අපේ මුල් මුතුන්මිත්තන් අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වීම ආරම්භ කරන්නේ වසර 70,000කට පමණ පෙර ය. නමුත් ඔවුන් පැමිණියේ තනිව නොව, නියැන්ඩතාල් ජාන ද සමග ය. ඒ කාලය වන විට යුරේසියානු භූමියේ අවම වශයෙන් තවත් මානව විශේෂ 2 ක් ඇවිද යමින් සිටියහ. ඔවුන් නම් නියැන්ඩතාලයන් සහ ඩෙනිසොවනුවන් ය. යුරේසියාව තුළ නියැන්ඩතාලයන් සහ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ප්‍රජනනයේ යෙදීම හරහා ජාන මිශ්‍ර වන්නට ඇත. ලොව පුරාම සිදුවූයේ මෙයයි. පසුකලෙක පෙර කී මානව විශේෂ 2ම වඳවී ගියත් නූතන මානවයා තුළ ඔවුන්ගේ ප්‍රවේණික උරුමය රැකී තිබේ. ඇතැම් පර්යේෂණයකට අනුව මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නියැන්ඩතාල් ඩීඑන්ඒ (ප්‍රවේණික අණු) අද ද ඒ අන්දමින්ම දැකගත හැක. එයින් සිදුවන්නේ පරිසරයට ඔරොත්තු දෙන මානවයන් බිහිවීමයි. මේ නිසාම, මේ මිහිමත ඇවිද යන හැම මානවයෙකුම නියැන්ඩතාලයන්ට ණයගැති යැයි ද කිව හැක.
නමුත් නියැන්ඩතාල් ප්‍රවේණික උරුමය නිසා මිනිසාට අවාසිසහගත දේ ද සිදුවිය. නියැන්ඩතාලයන් උග්‍ර දඩයක්කරුවන් වු හෙයින් සහ වනගත ජීවිත ගත කළ අය වූ හෙයින්, තුවාළ ආදිය සිදුවූ විට ඉක්මනින් ලේ කැටි ගැසීම අවශ්‍ය විය. ඔවුන්ගේ නියැන්ඩතාල් නහරවල ගලා ගියේ, ඉක්මනින් කැටි ගැසෙන රුධිර ධාතුවයි. මෙය, නූතන මානවයා තුළ විවිධ රුධිරගත රෝග තත්වයන් ඇති කිරීමට ද අනියමින් දායක වී ඇත.
කෙසේ නමුත් එක් පැහැදිලි සත්‍යයක් වන්නේ, මිනිසුන් කොයි කාගේත් ලේ නහර තුළ, නියැන්තාල් ලේ ද ගලා යන බව ය!