×

සොරකම් කළ වත්කම් එංගලන්තයේ සැඟවූ කසාක් නායකයන්ටත් වඩා ලංකාවේ උන්දැලා ඉදිරියෙන්!

දූෂිත පාලකයන් සිටින රටවල පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ඩිමොක්‍රසි නොවේ. 'ක්ලෙප්ටොක්‍රැසි' (Kleptocracy) ය.


මේ ග්‍රීක වචනයේ අරුත ‘බලයේ සිටින්නා විසින් රටේ සම්පත් හොරකම් කිරීම’ යන්නයි. එවිට ඩිමොක්‍රසි, නිතැතින්ම ‘ඩිමොක්‍රේසි’ බවට පත් වේ.

ලෝකයේ බොහෝ රටවල කතාන්දරය එයයි. ශ්‍රී ලංකාවේ ද කතාව එයයි. මේ වන විට 6000 කට අධික පුරවැසියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන, පුටින්ගේ හස්තයෙන් ජන විරෝධය කුඩු පට්ටම් කර දමන කසාක්ස්ථානයේ ද කතාන්දරය එයයි.

මෙයට වසර 5කට පෙර එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ඩේවිඩ් කැමරන්, දූෂණ විරෝධී ප්‍රතිඥාවක් ජනතාවට ලබාදුන්නේය. එයින් කියැවුණේ රහස් අක්වෙරළ හිමිකාරිත්වයන් හිමි දේපළ සඳහා ලන්ඩනයේ දේපළ වෙළඳපොළේ ඉඩක් නැතිකරන බවට ය. නමුත් එම ප්‍රතිඥාවන්, කිසිදාක නීති බවට පත් නොවුණි. එහි ප්‍රතිඵලය ලෙසට කසාක්ස්ථානයේ වත්මන් අර්බුදයට එක්සත් රාජධානිය ද සැලකිය යුතු මට්ටමකින් වග කිව යුතු බවට චෝදනා නැගෙමින් තිබේ. එරට ෂැඩෝ විදේශ ලේකම්වරයා වන ඩේවිඩ් ලැමී මෙසේ කියයි. ”පුටින්ගේ රෙජීමයට එරෙහිව දැඩි වචන පාවිච්චි කිරීම හෝ කසාක්ස්ථානයේ මානව හිමිකම් ගැන කතා කිරීමෙන් පලක් නෑ. මොකද, ඒකාධිපති පාලකයන්ගේ ධනය ගොඩ ගැසීමට සහ ඒවායින් තවත් ලාභ ඉපැයීමට ඉඩ දී තිබෙන්නේ අපමයි. අප දැන්වත් මෙය නතර කිරීමට නව නීති ගෙන ආ යුතුයි..”

කසාක්ස්ථානය ක්ලෙප්ටොක්‍රැසි රාජ්‍යයක් බවට පත් කිරීමේ වගඋත්තරකරුවා, දශක 3 ක් එරට පාලනය කළ ර‌ටේ පළමු ජනපතිවරයා වූ නූර්සුල්තාන් නසාර්බයෙව් ය. (කියවන්න – Analysis: දුටු තැන මරා දමනු! පිටුපස කතාව) මේ වන විට ලන්ඩනයේ සහ දකුණු දිග එංගලන්තයේ තිබෙන පවුම් මිලියන සිය ගණනක වත්කම්, නූර්සුල්තාන්‌ගේ සහ ඔහු වටා සිටි ධනවත් ප්‍රභූ පැළැන්තියේ බවට සොයාගෙන තිබේ. මේ ධනය උපයාගෙන තිබෙන්නේ බොහෝදුරට, කසාක්ස්ථානයේ ස්වභාවික සම්පත් අපයෝජනය කිරීම මගිනි. බලයෙන් ආඩ්‍ය කිහිප දෙනෙකු විසින් සොරකම් කළේ රටේ මහජනතාවට අයිතිව තිබූ මුදල් ය.

එංගලන්තයේ සහ වේල්සයේ අක්වෙරළ සමාගම්වලට අයත්, කළු සල්ලි සුදු කරන කොම්පැනි 90,000 ක් පමණ රහසිගත ලෙස පවත්වාගෙන යන බවත් මේ සමග අනාවරණය වී තිබේ.

The UK’s Kleptocracy Problem යනුවෙන් පසුගිය මාසයේ චැතම් හවුස් thinktank මගින් ප්‍රකාශනය කළ වාර්තාවකට අනුව 1998 සිට 2002 වසර දක්වා කසාක් රෙජීමයේ ප්‍රභූ පැළැන්තිය විසින් එක්සත් රාජධානියේ දේපළ 34 ක් මිලට ගෙන තිබේ. ඒවායේ වටිනාකම පවුම් මිලියන 530 කි. මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ, එක්ස්ටර් සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ජෝන් හෙදර්ෂෝ මෙසේ කියයි.

”මේ දේපළවලින් වැඩි කොටස නූර්සුල්තාන් පවුලට හෝ පාලක ප්‍රභූ පන්තියේ සාමාජිකයන්ට හෝ ඔවුන්ට සමීප අයවලුන්ට අයත්..”

මේ කාරණා ද මහා අයිස්බර්ගයක ජලයෙන් ඉහළට මතු වී පෙනෙන කුඩා කොටසක් පමණක් විය හැකිය. ඒ, අක් වෙරළ ෂෙල් සමාගම් විසින් ඒවායේ සැබෑ ප්‍රතිලාභීන් කවුදැයි බොහෝ විට හෙළිදරව් නොකරන නිසා ය.

කසාක්ස්ථානයේ වත්කම්වලින් භාගයක් පුද්ගලයන් 162 ක් අත!

ලන්ඩනය ගෝලීය මූල්‍ය කේන්ද්‍රය (financial hub) කි. තවද ගෝලීය කොස්මොපොලිටන් (cosmopolitan) පුරයකි. ලොව දස දෙසින්ම ජනතාව එහි ඇදී එති. වසංගත සමයේදී ඔවුන් එසේ නාවත් මූල්‍ය ගනුදෙනු පෙර පරිදිම සිදු වේ. කසාක් නායකයන්ට ලන්ඩනය සමග සමීප සබඳතා පවත්වා ගැනීමට තවත් හේතු තිබේ. ටෝනි බ්ලෙයාර් සහ ඇන්ඩෲ කුමරු නූර්සුල්තාන්ගේ පුද්ගලික මිතුරන් ය!

නූර්සුල්තාන්ගේ කාලයේදී කසාක් ප්‍රභූ පන්තිය ලන්ඩනයෙන් මිලදී ගත් දේපළ අතරට, ඇන්ඩෲ කුමරුගේ වෛවාහක නිවස ද අයත් විය. 2007 වසරේදී පවුම් මිලියන 15කට එය මිලදී ගන්නේ ප්‍රකෝටිපති තිමූර් කුලිබයෙව් විසිනි. තිමූර් යනු අන් කිසිවෙකු නොව, නූර්සුල්තාන් හිටපු ජනාධිපතිගේ බෑණා ය.

නූර්සුල්තාන් නසර්බයෙව්ගේ දියණියගේ නම දාරිගා නසර්බයේවා ය. ඇය සහ ඇගේ පුත්‍රයා විසින් ලන්ඩනයේ පවුම් මිලියන 80 ක දේපළවල හිමිකාරිත්වය දරන බව 2020 වසරේදී හෙළිදරව් විය. ජාතික අපරාධ ඒ්ජන්සිය විසින් හෙළිදරව් කළ පරිදි මේ වත්කම්වලට ලන්ඩන‌යේ මිලෙන් අධිකම දේපළ සහිත බිෂොප් ඇවනියු හි මන්දිරයක් ද, චෙල්සියා හි මහල් නිවාසයක් ද, උතුරු දිග ලන්ඩනයේ මහා මන්දිරයක් ද අයත් ය. මේ හෙළිදරව්ව මත ජාතික අපරාධ බියුරෝව නඩු පවරන්නට උත්සාහ කළත්, විනිසුරුවරයෙකු විසින් එය නිෂ්ප්‍රභා කර දමන්නේ මෙම වත්කම් මිලදී ගැනීම සහ අපරාධ අරමුදල් අතර සෘජු සම්බන්ධයක් ගැන තොරතුරු සැපයීමට ඒජන්සිය අසමත් වී ඇත යන කාරණය මත ය. KPMG වාර්තාවකට අනුව කසාක්ස්ථානයේ සමස්ත වත්කම්වලින් භාගයක්ම පවතින්නේ පුද්ගලයන් 162 දෙනෙකු අත ය!

පසුගිය සතිය වන තෙක්ම කසාක්ස්ථානයේ බලගතු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ නසර්බයෙව් දැන් ආගිය අතක් නැත. 81 හැවිරිදි ඔහු රටෙන් පළා ගියා වන්නට ද පුළුවන.

බාගවිට ලන්ඩනයේ ඔහුම මිලදී ගත් මන්දිරයක සැපෙන් ජීවත් වනවා වන්නට ද පුළුවන…!

ලංකාවේ උන්දැලා කසාක්වරුන්ටත් ඉදිරියෙන්!

මේ කතාවේ සමස්තය කුමක්ද? කසාක් නායකයන් සිය රටේ සම්පත් සොරකම් කර, අල්ලසෙන් හා දූෂණයෙන් ඒවා යටි මඩි ගසමින් නිශ්චල‌ හෝ චංචල දේපළ ලෙස එංගලන්තයේ ගොඩ ගසා තිබේ. ඒ අර්ථයෙන් ගත් කල ලංකාවේ නායකයන් කසාක් නායකයන්ට ද වඩා සිටින්නේ ඉදිරියෙනි. ලංකාවේ නායකයන් වසර 76 ක් මුළුල්ලේ සොරකම් කළ දේවල් සනාථ කිරීමට මගක් නැත. ඒවා ‘කටකතා’ හෝ ‘කයි කතන්දර’ ලෙස පමණක් පොදු අවකාශයේ සංසරණය වේ. දත්ත නැත. සංඛ්‍යා ලේඛන නැත. තහවුරු කළ හැකි නිශ්චිත තොරතුරු ද නැත.

සොරකම, විචිත්‍ර වයිරසයකි. එය සීඝ්‍ර යෙන් සමස්ත සමාජ දේහය පුරාම පැතිර යයි. සොරකම් කළ අය තට්ටු පිට තට්ටු ගසනු ඇස් පනා පිට පෙනේ. හත්මුතු පරම්පරාවකට අවශ්‍ය ධනය හරි හම්බ කරන හැටි ඇස් පනා පිට පෙනේ. ‘ගුරා ඇවිදිමින් කරන දේ ගෝලයා දුව දුවා කරනවා” යන්න අපේ ජන වහරේ ඇති යෙදුමකි. නායකයන් සොරකම් කරන්නේ තණ්හාව නිසා ය. පවුල සහ බලය රැක ගැනීම සඳහා ය. මේ අතර දුප්පතා සොරකම් කරන්නේ දිවි රැක ගැනීම සඳහා ය. තමන්ගේ හෝ තම පවුලේ කුසගින්න නිවීම පිණිස ය. වරද සමාන වුවත්, සන්දර්භයන් හාත්පසින් වෙනස් ය. චේතනාව හෙවත් අපරාධයේ මානසිකාංගය ද සහමුලින් වෙනස් ය. නමුත් විචිත්‍ර වෛරසයේ පැටව් ගැසීම හරහා නොදැනුවත්වම මුළු සමාජ දේහයම ඉක්මනින් කුණු වනු නිසැක ය. එවැනි රටවල පුරවැසියා ද නායකයන් මෙන්ම ‘ගේමක් ගසා ගොඩයාම’ සාර්ථකත්වය යැයි සිතති.

සිය දරුවා වෙනුවෙන් සුපිරි වෙළඳ සැලකින් ළදරු සබන් සහ පුයර බෝතලයක් සොරකම් කළ හදවත් රෝගී දුප්පත් තාත්තා සියතින් ගෙළ කපාගෙන මැරෙන තත්වයට ලංකාවේ පුරවැසි සංජානනය ද පහළ වැටී තිබේ. සහකම්පනයට හෙණ වැදෙමින් තිබේ. ලෝකයේ කොහේ සිදුවුණත් ක්ලෙප්ටොක්‍රැසිවල අවසන් ප්‍රතිඵලය මෙය ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි