×

Huawei මූල්‍ය ප්‍රධානියා කැනඩාවේදී අත්අඩංගුවට. චීනය කැළඹෙයි – මානව හිමිකම් ගැන කතා කරයි.

ලෝ ප්‍රකට චීන ජංගම දුරකථන උපාංග නිෂ්පාදන සමාගමක් වන හුආවෙයි (Huawei) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වන මෙන් වැන්ෂු (Meng Wanzhou) කැනඩාවේදී අත්අඩංගුවට ගෙන ඇත.


දෙසැම්බර් 1 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ කැනඩාවේ වැන්කුවර් හිදී ය.

මෙය ‘මානව හිමිකම් උල්ලංඝනයක්‘ බව පවසන චීනය, මේ පිළිබඳ වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඇමරිකාවට සහ කැනඩාවට කියා ඇත. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කිසිදු හේතු දැක්වීමකින් තොරව මේ අන්දමින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. වහාම ඇයව මුදා හරින ලෙස ද ඔවුන් විසින් කියා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ආසියාව පුරාම යුරෝපා සමාගම්වල කොටස් මිල වසර දෙකකින් පසු පහළම අගයට ඇද වැටුණේය.

කැනඩාව, ඇයව අත්අඩංගුවට ගත් බව සනාථ කරයි. ඇයට ඇප ලබාදිය හැකිදැයි සිකුරාදා දිනයේදී සලකා බලනු ඇත. මේ අතර, ඇමරිකාව විසින් ඇයව සිය රටට උදර්පණය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද සඳහන් ය. එසේම අධිකරණ නියමය පරිදි, ඇය පිළිබඳ වැඩිදුර විස්තර ප්‍රකාශයට පත් නොකිරීමේ පිළිවෙතක් ද මේ වන විට කැනඩාව විසින් අනුගමනය කරයි.

මේ අතර, ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන් වැන්ෂු අත්ඩංගුවට ගැනීමත් සමග ඇමරිකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද තීරණාත්මක ලෙස බාධා එල්ල වෙමින් තිබේ. මේ වන විට ඇමරිකාව සහ චීනය, දෙරට අතර අප්‍රකාශිත වෙළඳ යුද්ධයක් පවත්වාගෙන යන්නේ බිලියන ගණන් බදු එකිනෙකාගේ නිෂ්පාදන මත පනවමිනි. නමුත් පසුගියදා පැවති G20 සමුළුවේදී ඔවුන් දින 90 ක සමථ කාලයකට එළඹීමට පිළිණ දී සිටියහ. මෙම ගැටළුව ඇතිවන්නේ ඒ අතරවාරයේදී ය.

ඇමරිකාව කැනඩාවට කෘතඥ වෙයි.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව හුආවෙයි සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය ද වන ප්‍රධාන විධායක නිලධාරිනී මෙන්ව, මෙසේ අත්ඩංගුවට ගෙන තිබෙන්නේ ඉරානයට එරෙහි සම්බාධක උල්ලංඝනය කිරීමට එරෙහි ව ය. ඇමරිකානු නීති සාධන ඒජන්සි, හුආවෙයි සමාගමේ ක්‍රියාවන්, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බවට පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ එම උපාංගවල ඇති තාක්ෂණය චීන ආණ්ඩුව විසින් ඔත්තු බැලීම සඳහා යොදාගන්නා බවයි. නමුත් හුආවෙයි සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන් ඇමරිකාව සහ යුරෝපය තුළ ව්‍යාපාර කරන්නේ එම රටවල නීතිවලට සම්පූර්ණයෙන්ම අනුගත ව බවයි.

අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු සෙනෙට් සභික බෙන් සාසේ (Ben Sasse) විසින් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත්සේවයට කර ඇති ප්‍රකාශය ද මෙහිදී වැදගත් ය. ඔහු පවසා තිබෙන්නේ මේ සම්බන්ධයෙන් ඇමරිකාව, කැනඩාවට කෘතඥ වන බවයි.

Huawei හරහා ඔත්තු බැලීම?!

එසේම මෙම අත්අඩංගුවට ගැනීමට සමගාමීව මේ වන විට බටහිර රටවල හුආවෙයි උපාංග හා තාක්ෂණය සීමාකර තිබීම ද විශේෂත්වයකි. එක්සත් රාජධානිය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් විසින් මේ වන විට නව 5G මොබයිල් ජාල සඳහා චීන සමාගමේ උපාංග අවහිර කර තිබේ. පසුගියදා ඔස්ට්‍රේලියාව හුආවෙයි පමණක් නොව ZTE උපාංගද රට තුළ තහනම් කළේය.

මේ වන විට ඇමරිකාව විසින් හුආවෙයි සමාගමට එරෙහිව නඩු ගණනාවක් පවරා ඇත. ඒවා ඉරාන සම්බාධක සහ, සයිබර් ආරක්ෂාව උල්ලංඝනය කිරීමට අදාළ නඩුකරයන් ය.

ඉරාන සම්බාධකවල අදාළත්වය

පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2015 වසරේදී අහෝසි කර තිබූ ඉරාන සම්බාධක නැවත පැනවීය. මේ යටතේ ඇමරිකාව විසින් ඉරානයට පනවා තිබූ සියලුම සම්බාධක නැවත සක්‍රිය කිරීම සිදුව තිබේ. ඉරාන ආර්ථිකයේ ප්‍රධාන අංශ වන තෙල් ආනයනය, නෞකා හා බැංකු අංශවලට එයින් විශාල බලපෑමක් සිදුව ඇත. ඉරානයේ මිතුරෙකු බවට ද චීනයට දිගින් දිගටම චෝදනා එල්ල වේ.

දෙවැනි වන්නේ සැම්සුන් සමාගමට පමණයි

Huawei සමාගම, ලෝකයේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාලතම උපාංග හා සේවා සපයන්නන් අතරින් එක් අයෙක් වන අතර, එය පසුගියදා ඇපල් සමාගම ද පසු කරමින් ලෝකයේ දෙවැනුවට විශාලතම ස්මාට් වර්ගයේ ජංගම දුරකථන නිපදවන්නා බවට පත්විය. මේ වනවිට හුආවෙයි සමාගම දෙවැනි වන්නේ සැම්සුන් සමාගමට පමණි.

චීනයට මේ සිදුවීමත් සමග මානව හිමිකම් සිහිපත් වීම ද මේ වන විට ජාත්‍යන්තර ශීර්ෂපාඨ මවා ඇත. එයට හේතුව, චීනය මානව හිමිකම් කඩ කරන්නෙකු වශයෙන් දරණ අපකීර්තිමත් වාර්තාවයි. ඇම්නේස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) විවිධ අවස්ථාවලදී වාර්තා කරන ආකාරයට චීනය තුළ පවතින්නේ විසම්මුතියට ඉඩ අවකාශයක් නොමැති, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් සිදුවන වාතාවරණයකි.

චීනුන්ගේ බටහිර විරෝධය

මේ අතර, ට්විටර් තහනම් චීනයේ ට්විටර් ආදේශකය වශයෙන් පවතින Sina Weibo සමාජ ජාලයේ අද දිනයේ ජනප්‍රියම මාතෘකාව බවට පත්ව ඇත්තේ ද මෙම අත්අඩංගුවට ගැනීමයි. අද උදෑසන මෙම පුවතට මිලියන 33 කගේ පමණ ප්‍රතිචාර ලැබී තිබිණි. ඒවායින් පැහැදිලිවම පෙනී යන්නේ චීන ජනතාව, මේ සම්බන්ධයෙන් ඇමරිකාවට දෝෂාරෝපණය කරන බවයි. මෙය විජාතික කුමන්ත්‍රණයක් බව ද ඔවුහු කියති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි