×

මරණයට මුරණ්ඩු වූ මිනිසා

ඔවුන්ට ඩොලර් හතළිහක් ලැබුණේ දිනක් හෝ දෙකක් ඔහු සමග සිට ඔහු මැරුණු පසු වළලා දැමීම සඳහා ය. නමුත් ඔහු මිය යාමට අසමත් විය. එවිට...


හතළිස් හැවිරිදි හග් ග්ලාස් ඕනෑම කඳුකර මිනිසෙකුට වඩා නිදහස් ය. එමෙන්ම මුරණ්ඩු ය. 1823 හි එම දෛවෝපගත අගෝස්තු උදයේදී ඔහු තවත් මිනිසුන් දස දෙනෙකු සමග සංචාරයක නිරත වෙමින් සිටියේය. ඔවුන් පසුකරමින් සිටියේ අද දකුණු ඩැකෝටාව යනුවෙන් හඳුන්වන පඳුරුවලින් ගහණ බිම් කඩයි. රොකී කඳුකර වනාන්තරයේ වෙසෙන සතුන්ට උගුල් ඇටවීමට නම් දකුණු ඩැකෝටාව හරහා ගලන ග්‍රැන්ඩි ගංගාව තරණය කළ යුතුය.

All That's Interesting
හග් ග්ලාස්| All That’s Interesting

කණ්ඩායමේ නායක, ඒ නිසාම ඉදිරියෙන් ගිය ග්ලාස් එකවරම දුටුවේ අළු පැහැති දේහ පර්වතයක් තමා වෙතට පැමිණෙන ආකාරයයි. ඉන්පසු ඔහු ඒ කැලෑ වලසාගේ දිදුලන නෙත් දෙක ද දිටීය. වලසා පහර දීම ඇරඹුවේය. ග්ලාස්ගේ මුහුණට කෙළින්ම සත්වයාගේ ඉදිරි ගාත්‍රයක් විය. පිරිවර කණ්ඩායම වලසා දෙස පිහිය මානාගෙන ඌට පහර දෙන්නට උත්සාහ කරන ග්ලාස්ගේ රුව දුටුවේ එකම එක වරක් පමණි. ඉන්පසු දැවැන්ත වලස් සිරුරට ඔහුව මුළුමනින්ම වැසී ගියේය. ගොරවන, මස් ඉරාකන, වේදනාවෙන් විලාප දෙන හඬ, පොරය ඇති තැනින් නිකුත් වන්නට විය. මිනිස්සු වලසාට සිය රයිෆලය එල්ල කළහ. එකවර හය හත් දෙනෙකු තැබූ වෙඩි උණ්ඩවලින් පමණක් වලසාව පසු බැස්සවිය හැකි විය. ගොරවමින් පිරිස දෙස රවා බැලූ වලසා කැලෑව තුළට වැදී නොපෙනී ගියේය.

මිනිසුන් පුදුමයට පත් වූයේ ග්ලාස් තවමත් ජීවතුන් අතර සිටීම පිළිබඳව ය. ඔහුගේ ඉළ ඇට කැඩී තිබිණි. ගෙළෙහි තිබූ ගැඹුරු සිදුරකින්, ඔහු හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා ලේ දහරා විද්දේය. එම තුවාළ පහළොවෙන් එකක් පමණක් වුවත් මිනිසෙකුව මරණයට පත් කිරීමට සෑහෙයි. මිනිස්සු මද වශයෙන් සිනා පෑහ. අනතුරුව දුක්මුසු ලෙස තම හිස් බිමට නැඹුරු කර ගත්හ. ඔහුට ජීවත් වීමට ඇත්තේ තව මිනිත්තු කිහිපයක් පමණි. ඔවුන් කතිකා කර ගත්තේ යළිත් කඳවුරට යාමට ය. අවම වශයෙන් හරිත කඳවුරේදී සාමදානයෙන් සැතපීමට ඔහුට හැකි වනු ඇත.

Wikipedia
වලසා සමග සටන |Wikipedia

එහෙත් පසුදින උදෑසන වන විට ද මහලු ග්ලාස් ජීවතුන් අතරම සිටියේය. මේ අතර සියලු දෙයම විනාශයට පත් වීමේ ලකුණු නුදුරින්ම පෙනෙන්නට තිබිණි. ඉන්දියානුවන් එයට දින දෙකකට පෙර ඔවුන්ගේ කඳවුර සුණු විසුණු කර තිබිණි. ඒ, සහචර කඳුකර මිනිසුන් දෙදෙනෙකු ද මරා දමමිනි.

කණ්ඩායමේ තාවකාලික නායකයා බවට පත්වූ මාජ් ඇන්ඩෘෘ හෙන්රි කළ යුතුව තිබූ දෙය කළේය. මිනිසුන් නව දෙනෙකුගේ ජීවිත, මරණය පැමිණෙන තෙක් බලා සිටින මරණීය තුවාල ලැබූ දහවැන්නෙකු වෙනුවෙන් අවදානමට ලක් කළ හැකිද? ඔවුන් වහා තම කඳවුර දමා පළා යා යුතු අවස්ථාව එළඹ තිබිණි. ඉන්දියානුවන් යළිත් පැමිණෙනු ඇත. ස්වෙච්ඡා සේවකයන් දෙදෙනෙකුට ඔහු ග්ලාස් ව භාර කළේ සියලු වත්පිළිවෙත් හා යුතුකම් ඉටු කරමින් ඔහුව මහා වනාන්තරයේ මිහිදන් කිරීමේ කටයුතු සිදුකරන්නට ය.

මේ ස්වෙච්ඡා සේවකයන් දෙදෙනා අතරින් එක් අයෙක් වූයේ දහඅට හැවිරිදි ගැටවරයෙකු වූ ජිම් බ්‍රිජට් ය. අනෙකා, තවමත් නිදාගෙන සිටින ජෝන් ෆිට්ස්ග්රැල්ඩ් ය. ‘‘ඒක අසාධාරණයි‘‘ හෙන්රි සිතුවේය. ඉන්දියානුවන් ඔහුගේ හිස් කබලෙන් සැරසිලි තනනු ඇත්ද? කෙසේ වෙතත් තුවාළකරු සමග නවතින්නට ඔවුන් කැමති නම් එකෙකුට ඩොලර් 40 බැගින් දීමට ඔහු තීරණය කළේය. ඩොලර් හතළිහක් සමාන වන්නේ ඔවුන්ගේ තෙමසක හෝ සිව් මසක වැටුපට ය. කණ්ඩායම නික්ම ගියේ ග්ලාස්, ජෝන් හා ජිම් ව තනි කර දමමිනි.

පසුදින උදෑසනදී ද ග්ලාස් ජීවතුන් අතර සිටියේය. අසරණ ග්ලාස්, ඔවුන් දෙදෙනාව සති ගණනාවක් එහි රඳවා ගනීවිද? සිව් වන දින සන්ධ්‍යාව වන තෙක්ම ග්ලාස් ජීවතුන් අතර සිටීවිද නොසිටීවි ද යන්න අවිනිශ්චිත විය. එදින සන්ධ්‍යාවේ යහපත් තරුණයන් දෙදෙනා තීරණය කළේ ග්ලාස් මිය යන තෙක්ම ඔහු ව හැර දමා නොයන්නට ය. ඩොලර් හතළිහකට වඩා ඉල්ලා සිටීම වෙනම කාරණයකි. අසරණ මිනිසාව දමා පළා යාම වෙනම කාරණයකි.

පසුදින උදෑසන මරණයට මුරණ්ඩු මිනිසා දෑස් විවර කළේය. ඔහු දෑස් විවර කළාට ඔහුට වට පිට නොපෙනෙන්නේය යන්න බ්‍රිජර්ගේ අදහස විය. කෙසේ නමුත් ෆිට්ස්ගර් රැල්ඩ් මෙසේ පැවසීය. ‘‘මම මෙහෙන් යනව යාළුවා.. අපි ඕනෑවටත් වැඩි කාලයක් මෙහෙ හිටියා..“

බ්‍රිජර් කිසිවක් කීවේ නැත. ඒ වෙනුවට ඔහු ඉදිරියට හා පසුපසට වැනෙන හිසින් යුතුව ග්ලාස් දෙස බලා සිටියේය. ‘‘නුඹ එනවාද නැත්ද?“ සෘජු ප්‍රශ්නය ෆිට්ස්ගෙනි.

‘‘මට යන්න බෑ..“ බ්‍රිජර් කෙටියෙන් පිළිතුරු දුන්නේය. ‘‘ඉක්මනට මාරු වෙමු. ‘‘ෆිට්ස් යළිත් පැවසුවේය. ‘‘තුවක්කුව, පිහිය හැම දෙයක්ම ගන්න. නුඹ ඔහුව වළ දැම්මාම ඔහුගෙ ආයුධ මොකුත්ම නුඹට ගන්න බැහැ. මා පස්සෙන් වරෙන්, මෝඩයා..“

ඔවුහු ගමන් ඇරඹූහ. යමක් වීමට පෙර සැතපුම් කිහිපයක් එපිටින් දිස්වන ගැළවුම් ස්ථානය කරා යා යුතු නොවේද? ඔහුට ඉපදුණේ තමන් පිළිබඳම තරහකි. කෙසේ නමත් ඊළඟ මොහොතේ ඔහු ද අසු පිටට පැන්නේය.

අවදි වූ ග්ලාස් සිදුවී ඇති දෙය අවබෝධ කර ගත්තේය. ඔහු පළමු වචන කිහිපය තමන්ටම ඇසෙනා ලෙස මහ හඬින් පැවසුවේ තමන් යළි කතා කරන බව අවබෝධ කර ගැනීමට මෙනි. ‘‘උන් මාව මැරෙන්න දාල පැනල ගිහින්!“

පසුදින උදෑසන වන විට ග්ලාස්, බ්‍රිජර් සහ ෆිට්ස් ගිය මගම යාමට තීරණය කර ගෙන සිටියේය. සිහිය විකල් වූ උණ කාරයෙකු මෙන් ඔහුගේ දුබල සිරුර ගැහෙනමින් තිබිණි.

ග්ලාස් තමන් යා යුතු මග ඉතා අසීරුවෙන් නිශ්චය කර ගත්තේය. ඔහුට නුදුරින් ඇත්තේ හෙන්රි වරායයි. කියොවා වරායට යා යුතු මග බෑවුම් සහිත දුෂ්කර එකකි.

පළමු දිනයෙන් අඩක් ගෙවී යාමට ප්‍රථම ඔහු ගමන් ඇරඹුවේය. තබන තබන අඩියක් පාසා ඔහුගේ තුවාළවලින් යටත් පිරිසෙයින් එක තුවාළයකින්වත් පෑරී ලේ ගලා එන්නට පටන් ගත්තේය. මුළු දිනයම උත්සාහ කළත් ඔහු ගමන් ගත් දුර සැතපුමකට වඩා වැඩි නොවීය. වේදනාවෙන් මෙන්ම දුබල බවින් ද ඔහුගේ සිරුර පෙළෙමින් තිබිණි. කොටළුවෙකු පිට උඩ තබාගෙන ගමන් ගන්නා විට ඇතිවන ආකාරයේ බරැති බවක් ඔහුගේ පිට පෙදෙසින් දැනිණි. දෙවැනි දිනයේ ද ඔහුට ඇවිදගත හැකිවූයේ සැතපුමක දුරක් පමණි. තෙවන දිනයේ ඔහු එයට වඩා මදක් වැඩි දුරක් ඇවිදීමට සමත් විය. කෙසේ වුවත් මේ ආකාරයට සැතපුම් 250කට වැඩි දුරක් ඇවිදීමට ඔහු අපොහොසත් වනු ඇත.

තෙවැනි දින වෘකයන් පිරිසක් ගවයෙකුගේ හිස් කබලක රස බලන ස්ථානයකට ළඟා වීමට ඔහු සමත් විය. ගවයාගේ සිරුරෙන් අඩක් පමණක් වෘකයන් අනුභව කර තිබූ අතර, වෘකයන්ගේ බඩකට හොඳින් පිරී ඇති ආකාරයක් ද දැකගන්නට ලැබුණේය. ග්ලාස් ට කදිම සිතිවිල්ලක් පහළ විය. ඔහු බියපත් හඬක් නික්මෙන ලෙසට උගුරෙන් කෑ ගැසුවේය. කුස පිරුණු කල වෘකයෝ ප්‍රචණ්ඩ නොවෙති. ඔවුහු පළා ගියහ. ගව මළ සිරුර ඉදිරියේ දණ ගසා ගත් ග්ලාස් අසීරුවෙන් එදෙසට නැඹුරු වුණේය. ප්‍රවේශම් නොවුණහොත් ඔහුගේ තුවාළ යළි පෑරෙනු ඇත. දැන්වත් ඔහු තමන්ගේ සිරුරෙන් ගලා ගිය රුධිරය ලබාගත යුතුය. තවත් යමක් නොසිතූ ග්ලාස්, ගව ගාතයෙන් මස් කැබැල්ලක් කඩා ගත්තේය. ‘‘මම ජීවත් වෙන්න යනවා..“ යැයි ඔහු තමාටම කියා ගත්තේය.

දින කිහිපයක් රස්තියාදු වීමෙන් අනතුරුව නිවැරදි මාර්ගයට එළඹීමට ග්ලාස් හට හැකි විය. දැන් හාවෙකු මරා ගැනීමට තරම් ශක්තියක් ඔහු සතුව තිබේ. ඔහුගේ තුවාළ හොඳ අතට හැරෙමින් පවතියි. දිනකට සැතපුම් 10 ක පමණ දුරක් ගමන් කිරීමට ද ඔහුට හැකි ය. මිතුරන් ඔහුව මිය යන්නට තනි කර දමා ගිය ආකාරය ඔහුට අමතක කළ නොහේ.

ඔක්තෝබරයේ දෙවැනි සතියේදී ඔහු කියෝවා වරායට ළඟා වුණේය. වලසා ඔහුට පහර දී ඒ වන විට සති හතක්ම ගත වී තිබිණි. එයින් සති හයක්ම ඔහු හුදෙකලාව ජීවිතය වෙනුවෙන් අරගල කර තිබිණි.

මිදුණු හිම වලින් වැසුණු කඳු මතින් ඔහු තවදුරටත් ගමන් කළේය. බිග්හොෆ් මතින් ඔහු මිදී තිබුණු මිසිසිපි හා යෙලෝස්ටෝන් ගංගා ද තරණය කළේය. සති 12කට අඩු කාලයකදී ඔහු සැතපුම් 600 කට වඩා වැඩි දුරක් ආවරණය කිරීමට සමත් විය.

1823 දෙසැම්බර් 01 වැනිදා රාත්‍රියේ ඔහු හෙන්රි වරායට ළඟා විය. මේජර් හෙන්රිගේ භට කණ්ඩායම ඒ වන විට සිටියේ හෙන්රි වරායේ එළැඹෙන අලුත් අවුරුදු ප්‍රීතිය සැමරීමට සූදානම්ව ය. ග්ලාස් වැනෙමින් ගෙස්, මිනිසුන් ප්‍රීතියෙන් කමින් බොමින් උත්සවකාරී ලෙස හැසිරෙමින් සිටි කාමරයට පිවිසුණේය. ඔහුගේ දසුනෙන් කාමරයේ පැතිර ගියේ මරණීය නිශ්ශබ්දතාවයකි. සැතපුම් දහස් ගණනක් ඈත ඔහු ව තනි කර දමා පැන ආ මිනිසුන් දෙස ග්ලාස් දිදුළන දෙනෙතින් බැලුම් හෙළුවේය.

‘‘මම ග්ලාස්… නුඹලා මැරෙන්න දාල ආව එකා.. උදව් කරනවා වෙනුවට නුඹලා මාව තනිකරලා පැනල ආවා… මම ආපහු ආවෙ නුඹලගෙන් පළි ගන්න..“

ග්ලාස් ඔවුන්ව මරා දැමීමට සූදානම් බවක් පෙනෙන්නට තිබිණි. ඔවුන් පණ පිටින් අපායට යැවීමට වුවත් ඔහු සූදානම් ය. හොල්මනක් දුටු කලෙක මෙන් බියෙන් ද, ලැජ්ජාවෙන් ද හැකිළෙන සිය අතීත සගයන්ගේ මුහුණු දෙස ඔහු නැවත වරක් බැලුවේය.

‘‘මට පේන්නෙ නුඹලට ලැජ්ජයි වගේ…“ ඔහු පැවසීය. ‘‘මම හිතන්නෙ ඉන්දියානුවො නාව නම් නුඹල මාව තනි කරල පැනල එන්නෙ නෑ… මට නුඹලා බය වෙන්න එපා.. අපි ආයෙමත් යාළුවො වෙමු..“

ඔහුගේ වදන් ස්ථිරසාර විය.

සත්‍ය කතාවකි.

  • රීඩර්ස් ඩයිජස්ට් ඇසුරෙන්
  • පසු සටහන – හග් ග්ලාස් නාමය අද වන විට ඉතිහාසයට එක් වී තිබෙන්නේ වලසෙක් සමග සටනකින් පසු මරණය පැරදවූ අසම සම මිනිසා ලෙස ය. ඇමරිකාවේ ඔහු වෙනුවෙන් තැනී ඇති ප්‍රතිමාවක් මේ සමග ඇති ප්‍රධාන ඡායාරූපයෙන් පළ වේ.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි